හැටේ දශකයේ අවසාන භාගය තුළ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක් වූ එඩිතර කාන්තාවක වන තිලකාවතී සමරසිංහ මැතිනිය 2018 අප්‍රේල් මස ආරම්භයත් සමග කලුරිය කළ අතර ආදාහනය අප්‍රේල් මස 5 වන දින බොරැල්ලේ කනත්තේදී සිදුකිරීමට යෙදුණි. ඇය ගැන මතකය අවදි කරමින් මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ අතීතයට අයත් දේශපාලන දැනුමක් ලබාදීම සඳහාය.


සමරසිංහ මැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් ශ්‍රීල.නි.ප. රජයේ උපඇමතිවරයකු හා පක්ෂයේ ලේකම් ධුරය දැරූ ඩී. ඇස්. සමරසිංහ මහතාගේ බිරිඳ වූවාය. සමරසිංහ මහතාගේ මන්ත්‍රී ආසනය වූයේ කොළොන්නාවයි.


1960 මාර්තු මැතිවරණයේදී කොළොන්නාව ආසනයට ශ්‍රී.ල.නි.පයෙන් ඉදිරිපත් කළ විලියම් ගෝනදූව මහතා ඇපය පවා රාජසන්තක වී පරාජයට පත්විය. ආසනය ජය ගත්තේ ම.එ. පෙරමුණෙන් තරග කළ කේ. ඊ. පෙරේරා මහතාය. මේ නිසාම 1960 ජුලි මැතිවරණයේදී ශ්‍රී.ල.නි. පක්ෂයෙන් කොළොන්නාව ආසනයට ඉදිරිපත් කළේ ඩී. ඇස්. සමරසිංහ මහතාය. ම.එ. පෙරමුණෙන් කේ. ඊ. පෙරේරා මහතාද එ.ජා. පක්‍ෂයෙන් අධිනීතිඥ යූ. ඒ. ඇස්. පෙරේරා (සිරි අයියා) මහතාද තරග කළහ. මෙහිදී සමරසිංහ මහතා වැඩි ඡන්ද 1693 කින් කොළොන්නාව මන්ත්‍රී ලෙස ජයග්‍රහණය කළේය. 1963 මැයි මස සිදු වූ කැබිනට් සංශෝධනයක් සමගම ප්‍රවාහන උප අමාත්‍ය ධුරයට ද සමරසිංහ මහතා පත්විය. මේ අතර 1964 දී ශ්‍රී.ල.නි.ප සම්මේලනයේදී පක්ෂයේ ලේකම් වශයෙන් සිටි ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතා ලේකම් ධුරය අත්හැරීමත් සමගම මෙම ධුරයට පත්වූයේ ඩී. ඇස්. සමරසිංහ මහතාය.


1965 මාර්තු මැතිවරණය පවත්වනවිට ශ්‍රී.ල.නි.ප ලේකම් ධුරය දැරුවේ සමරසිංහ මහතාය. එම මැතිවරණයේදී කොළොන්නාව ආසනයට ශ්‍රි.ල.නි පක්‍ෂයෙන් නැවත වරක් තරග කළේ ද ඒ මහතාය. එ.ජා.පක්‍ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකළ අතර පක්ෂයේ සහාය ලබාදුන්නේ ම.එ. පෙරමුණටය. එම ම.එ. පෙරමුණෙන් ඉදිරිපත් කළේ කලින් එම කොළොන්නාව මන්ත්‍රීවරයෙක්ව සිටි කේ. ඊ. පෙරේරා මහතා නොව නායක පිලිප් ගුණවර්ධන මහතාගේ බිරිඳ වූ කුසුමා ගුණවර්ධන මැතිනියයි. එ.ජා. පක්‍ෂයේ සහාය ලැබුණත් කුසුමා ගුණවර්ධන මැතිනිය පරදවා ඩී. ඇස්. සමරසිංහ මහතා කොළොන්නාව මන්ත්‍රී ලෙස ජයග්‍රහණය කළේය.


එහෙත් ඔහුට විරුද්ධව ප්‍රතිවාදි පිල ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමක් නිසා 1966 අගභාගය වනවිට කොළොන්නාව මන්ත්‍රී ධුරය අහෝසි විය. මැතිවරණ පෙත්සමේ තීන්දුව අනුව නැවත වරක් ආසනය තරග කිරීමටද සමරසිංහ මහතාට නොහැකි විය. ඒ නිසාම ඒ මහතා තැත්කළේ තම බිරිඳ වූ තිලකාවතී සමරසිංහ මැතිනිය ඉදිරිපත් කිරීමටය. එහෙත් ශ්‍රී.ල.නි.ප නායකත්වය ඊට එකඟවූයේ නැත. එහෙත් එම වකවානුව තුළ පැවත්වූ අතුරු මැතිවරණ දෙකකටම ශ්‍රී.ල.නි. පක්‍ෂයෙන් ඉදිරිපත් කළේ හිටපු මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරු ය.


බළංගොඩ ආසනයේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරයකු වූ ක්ලිපර්ඞ් රත්වත්තේ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ බාල සහෝදරයා විය. ඔහුටද විරුද්ධ ඡන්ද පෙත්සමක් තිබුණු නිසා ආසනය අහිමි වුණු අතර බළංගොඩ අතුරු මැතිවරණය 1966-10-24 දින පැවැත්විණ. ඒ සඳහා ශ්‍රි.ල.නි පක්‍ෂයෙන් තරග කළේ ක්ලිපර්ඞ් රත්වත්තේ මහතාගේ බිරිද වූ මල්ලිකා රත්වත්තේ මැතිනියයි. ඇය බළංගොඩ මන්ත්‍රිනි ලෙස ජය ගත්තාය.
ඒ අතර දොඩන්ගස්ලන්ද ආසනයේ මන්ත්‍රීවරයා වූ ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්ෂ (ශ්‍රී.ල.නි.ප) මහතාටද ඡන්ද පෙත්සමක් නිසා ආසනය අහිමි විය. ඒ අනුව 1967-01-15 වන දින දොඩන්ගස්ලන්ද අතුරු මැතිවරණය පැවැත් වූ අතර ශ්‍රී.ල.නි. පක්‍ෂයෙන් ඉදිරිපත් කළේ හිටපු මන්ත්‍රීවරයාගේ බිරිඳ වූ ලැටීෂියා රාජපක්ෂ මහත්මියයි. ඇයද දොඩන්ගස්ලන්ද මන්ත්‍රිනි ලෙස ජයගත්තාය. එනමුත් ශ්‍රී.ල.නි.පක්‍ෂයේ ලේකම් වූ සමරසිංහ මහතාගේ බිරිඳ වන තිලකාවතී සමරසිංහ මැතිනියට කොළොන්නාවට තරග කිරීමට ශ්‍රී.ල.නි. පක්‍ෂයෙන් නාමයෝජනා නොලැබිණ.


1967-02-28 වැනි දින පැවැත්වූ කොළොන්නාව අතුරු මැතිවරණයට ශ්‍රී.ල.නි. පක්‍ෂයෙන් ඉදිරිපත් කළේ පක්‍ෂයේ උපසභාපතිවරයකුව සිටි ටී. බී. ඉලංගරත්න මහතාය. ඔහු 1965 මැතිවරණයේදී ශ්‍රී.ල.නි.පයෙන් “හේවාහැට’ අසුන තරග කළ නමුත් පරාජය ලැබුවේය. ඉලංගරත්න මහතාට ශ්‍රී.ල.නි.පයෙන් කොළොන්නාව අසුනේ නාමයෝජනා දීම ගැන පක්‍ෂයේ ප්‍රබලයෝ දෙදෙනෙක් අකැමති වූහ. එනම් පීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක හා ආර්. ජී. සේනානායක යන දෙදෙනාය.


ශ්‍රී.ල.නි.ප.යෙන් නාමයෝජනා නොලැබුණු නිසා තිලකාවතී සමරසිංහ මැතිනිය කොළොන්නාව අතුරු මැතිවරණයට තරග කළේ ස්වාධීන අපේක්ෂිකාවක ලෙසය. ඇය අභියෝගයක් වූයේ ටී. බී. ඉලංගරත්න මහතාටය.
එකල එ.ජා. පක්‍ෂය හා ම.එ. පෙරමුණ අතර හවුල් රජයක් තිබුණු නිසා අතුරු මැතිවරණයට එ.ජා. පක්‍ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකළ අතර සම්පූර්ණ සහාය දුන්නේ නැවත වරක් ම.එ. පෙරමුණෙන් තරග කළ කුසුමා ගුණවර්ධන මැතිනියටය.


ඉලංගරත්න මහතාගේ මැතිවරණ සටනේ සංවිධායක වූයේ එකල මැදවච්චිය මන්ත්‍රීව සිටි මෛත්‍රීපාල සේනානායක මහතාය. කුසුමා ගුණවර්ධන මැතිනියගේ මැතිවරණ සටනේ සංවිධායක වූයේ එ.ජා. පක්‍ෂයේ හොඳම මැතිවරණ සංවිධායකවරයා වූ එකල ජනසතු සේවා අමාත්‍ය ලෙස සිටි වී. ඒ. සුගතදාස මහතාය.


දේශපාලන නිරීක්ෂකයින් මුලදී සිතුවේ තිලකාවතී සමරසිංහ මැතිනිය ස්වාධීනව තරග කිරීම ඉලංගරත්න මහතාට අභියෝගයක් වේ යනුවෙනි ‘බළංගොඩ” හා “දොඩන්ගස්ලන්ද” යන ආසන සඳහා හිටපු  මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරු සුදුසු නම් තමා නුසුදුසු වූයේ මන්ද? යනුවෙන් සමරසිංහ මැතිනිය තර්ක කළාය. ඒ සමගම පීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතා යන ඉලංගරත්න මහතාගේ රැස්වීම් කතා කිරීම වර්ජනය කළ නිසා තත්ත්වය තවත් උණුසුම් විය. ඉලංගරත්න මහතාට ලැබෙන ශ්‍රී.ල.නි.ප ඡන්ද කැඩීගොස් තිලකාවතී සමරසිංහ මැතිනියට ලැබීම හේතු කොටගෙන ම.එ. පෙරමුණේ කුසුමා ගුණවර්ධන මැතිනිය ජයගනු ඇතැයි සමහරු අනුමාන කළහ.
නමුත් මැතිවරණ දිනය ළඟාවීමත් සමග තත්ත්වය වෙනස් විය. තිලකාවතී සමරසිංහ මැතිනියට තිබූ ජනතා ප්‍රසාදය ක්‍රමයෙන් දියවී යන අයුරුද ඉලංගරත්න මහතා වටා ජනතාව එක්වන බවද දක්නට ලැබිණ. මීට කරුණු 2 ක් හේතුවිය. එයට හේතු වූයේ ඔහු ප්‍රගතිශීලි පුද්ගලයකු ලෙස ජනතාව පිළිගැනීමය. ඔහු නිසා ඇති වූ තෙල් සමාගම් ජනසතු කිරීම, සතොස පිහිටුවීම, අර්ථසාධක අරමුදල, මැයි දිනය නිවාඩු කිරීම ආදී සමාජවාදී කටයුතු ගැන පැහැදීමක් තිබුණි. දෙවන හේතුව වූයේ ඉලංගරත්න මහතා වමට බර පුද්ගලයකු නිසා වාමාංශික පක්ෂ වූ ල.ස.ස පක්‍ෂයේ හා ල.කොමියුනිස්ට් පක්ෂයේ සහාය සම්පූර්ණයෙන්ම මෙන් ලබා ගැනීමය. එපමණක් නොව කොළොන්නාව ආසනය තුළ සිටි සමහර එ.ජා. පක්‍ෂයේ කොටස්වලද සහාය ඉලංගරත්න මහතාට ලැබිණ. කොළොන්නාව අතුරු මැතිවරණයට එ.ජා. පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර ම.එ. පෙරමුණට සහාය දීම ගැන සමහරු අසතුටු වූහ. තවද කොළොන්නාව හිටපු නගරාධිපතිවරයකු වන එ.ජා. පක්ෂයට අයත් ගුණදාස ද සිල්වා වැනි අය සහාය දුන්නේ ඉලංගරත්න මහතාටය.


කෙසේ වෙතත් අවසාන මොහොත වනතුරු තිලකාවතී සමරසිංහ මැතිනිය සටන අත්හැරියේ නැත.


මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී.ල.නි.ප අපේක්ෂක ටී. බී. ඉලංගරත්න මහතා වැඩි ඡන්ද 3363 කින් කොළොන්නාව මන්ත්‍රී ලෙස ජය ගත්තේය. දෙවන ස්ථානය ම.එ. පෙරමුණට ලැබුණු අතර තුන්වන ස්ථානය හිමිවූයේ තිලකාවතී සමරසිංහ මැතිනියට ය.


කෙසේ නමුත් පරාජය ලැබුවත් තිලකාවතී සමරසිංහ මැතිනිය ඉලංගරත්න හා කුසුමා ගුණවර්ධන වැනි දැවැන්තයින් සමග මැතිවරණ සටනට එඩිතරව ඉදිරිපත්වීම අගය කළ යුතුය.


ඉක්බිති ඇය ගැන දේශපාලන ක්‍ෂේත්‍රය තුළ කතාබහක් ඇති නොවීය. ඇසීමට ලැබුණේ මියයාමෙන් පසුවය.

 

 

 

 


නන්දලාල් වාකිස්ට