ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා වූ ප්‍රාදේශීය සභා මැතිවරණයක් පැවැත්වේ. මෙවර පැවැත්වෙන ප්‍රාදේශීය සභා මැතිවරණය ජනතාවට ඉතා සමීප වන එකක් බවට පත්ව ඇත. මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමයට ප්‍රාදේශීය මන්ත්‍රීවරු පත් කර ගැනීමේදී කොට්ඨාසයකට නියෝජිතයකු පත්කර ගැනීම ජනතාව ලද වාසනාවකි. 


මීට පෙරදී ගම් සභා මැතිවරණ පැවැත්වූ අතර ඒ තුළින් ගමට සභිකයකු පත්කර ගැනීමේ අවස්ථාව උදාවී තිබිණි. 


ප්‍රාදේශීය පාලනය ගැන සොයා බලද්දී ඒ සඳහා ඈත ඉතිහාසයක් තිබෙන බව පැහැදිලිවම පෙනේ. ක්‍රිස්තු පූර්ව 377 දී පණ්ඩුකාභය රජතුමා රට පාලනය කිරීම පහසුව තකා පළමුවරට මුළු රට පුරාම ගම් නගර වශයෙන් සීමා මායිම් වෙන්කර ගම් සභා පිහිටු වූයේය. 


ගමේ එක එක කුලයෙන් කුලයට ජ්‍යෙෂ්ඨයකු බැගින් තෝරාගෙන ඔවුන්ගෙන් සැදුම්ලත් සභාවකට ගමේ පාලනය පවරා තිබු බව සඳහන් වේ. මෙහි ප්‍රධානියා විවිධ නම්වලින් හැඳින්විය. පරුමක, ග්‍රාම භෝජක, ග්‍රාමනීය ආදී නම්වලින් හැඳින් වුවත් උඩරට රාජධානිය මගින් හැඳින්වූයේ ගම් සභාව යනුවෙනි. 


අයබදු එකතු කිරීම ආරවුල් සමස්ථයකට  පත් කිරීම, ඉඩම් පිළිබඳ මායිම් නියම කිරීම පොදු මධ්‍යස්ථාන පාලනය, මාර්ග හා පාලම් වැව් අමුණු පාලනය ආදී සියලුම වගකීම් මෙම ගම් සභාවට පැවරීමට රජු වගබලා ගත්තේය. අනුරාධපුර කැලෑ කෝරලයේ පහළ කැලෑ තුලාන ගමේ පිහිටි හතර වැනි මිහිඳු රජු විසින් පිහිටුවන ලද වේවැල්කැටියේ ශිලා ලේඛනයේ මේ බව සඳහන් වේ. 
ක්‍රිස්තු වර්ෂ 941 දී තුන්වන  උදය නමින් හඳුන්වන ලද සිරිසඟබෝ උදාරජු දවසේ පිහිටුවන ලද බදුලු ශිලා ලේඛනයේ  සොරබොර ප්‍රදේශයේ හෝ පිහිටිගම නමැති ගම්මානය පාලනය කිරීම පිණිස නියෝග පන්තියක් පනවා තිබේ. 


මැදිරිගිරිය වේවැල්කැටිය, කළුදිය පොකුණ යන ස්ථානවලින් හමුවී හඳුන්වන ශිලා ලේඛනවලින් මේ බව වඩාත් තහවුරු වේ. 


එකල සුළු නගර පාලනය ගම් සභාවට පැවරී තිබූ බව බදුලු ශිලා ලේඛනයෙන් පෙනීමෙන් එදා ගම් සභාවට පැවරී තිබූ බලතල ගැන අවබෝධයක් ලබාගත හැකි වනු ඇත. 


ශ්‍රී වික්‍රම රජුගෙන් පසු ශ්‍රී ලංකාවේ රජවරුන්ගේ පාලනය අහෝසි වීමෙන් පසු ඉංග්‍රීසින් විසින් රටේ පාලනය සඳහා ගම් සභා ක්‍රමය ඇතිකර තිබේ. 1871 අංක 26 දරණ ආඥා පනතින් ගම් සභාවට අයත් ප්‍රදේශ පිළිබඳව හා සෑම ප්‍රාදේශීය කරුණක්  පිළිබඳව ක්‍රියාකිරීමේ බලය ගම් සභාවලට පවරන ලදී. 


මුදලිවරුන්ට හා රටේ මහත්වරුන්ට පැවරී තිබූ ගම්  සභාවේ පාලන බලය අහෝසි කොට මහජන නියෝජිතයන්ට ගම් සභාවලට ඇතුළු වී ක්‍රියා කිරීමේ බලය ඉල්ලා ගම් ප්‍රමාණයක  උද්ඝෝෂණයක් රටපුරා ඇති වෙන්නට විය. 


1923 දී රයිගම් කෝරලයේත්, 1924 දී කඳුකර පළාත්වලත්  ඇතිවූ මෙම උද්ඝෝෂණ වලින් අනතුරුව පානදුරේ ආතර් වී දියෙස් මහතාගේ මෙහෙයවීමෙන් ඊ. ඩබ්ලිව්. ප්‍රේරා මන්ත්‍රීවරයා කළ යෝජනාවක් අනුව 1924 දී ගම් සභා පනත සංශෝධනය විය. 


1977 දී බලයට පත් එක්සත් ජාතික රජයේ පළාත් පාලන ඇමැතිවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා විසින් එතෙක් තිබු ගම් සභා ක්‍රමය අහෝසි කර දමන ලදී. 


ඒ වනවිට ගම් සභා පන්සිය හතළිස් නවයක් තිබූ අතර ගම් සභිකවරු හත් දහසකට වැඩි ප්‍රමාණයක් සිටියහ. 1987 අංක 15 දරණ පනතින් ප්‍රාදේශීය සභා පිහිටුවා 1991 දී පළමු වරට ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්විය. 


එහෙත් ගමේ සභිකයෙක් තෝරා ගැනීම වෙනුවට මනාප ක්‍රමයෙන් මැතිවරණ කොට්ඨාසය පුරා තෝරා ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබීය. ඒ ක්‍රමයද වෙනස් කරමින් පැරණි ක්‍රමයට කොට්ඨාස මට්ටමින් සභිකයන් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව උදාවී ඇත. 


පැරණි ගම් සභා පාලනය කළ අයගෙන් දැනට ජීවතුන් අතර සිටිනුයේ අතළොස්සකි. එයින් එක් අයකු වූයේ කොස්ගොඩ ගම් සභාවේ හිටපු සභාපති හා බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඇම්. ජී. ද සිල්වා මහතාය. 


එදා පැවති මැතිවරණ ක්‍රමය පිළිබඳව ඔහු මෙසේ පැවසීය. 


බළපිටිය මැතිවරණ කොට්ඨාසය පාලනයේ පහසුව තකා පළාත් පාලන ආයතන තුනකට බෙදා වෙන්කර තිබුණා. බළපිටිය හා වතුගෙදර සුළු නගර සභා දෙකක්ද කොස්ගොඩගම් සභාවක්ද ඒ අනුව පිහිටුවා තිබුණා. 


කොස්ගොඩ ගම් සභාව කොට්ඨාස දාහතරකින් සමන්විත වුණා. මම නියෝජනය  කළේ අංක 13 ගල්වෙහෙර දකුණු කොට්ඨාසයයි. එයට ගල්වෙහෙර මාකුඹුර කදිරගොන්න, මරදාන, බැබිලමල් පොකුණ ආදී ගම්මාන රාශියක් අයත් වුණා. ඒ වනවිට මුළු ඡන්ද සංඛ්‍යාව එක් දහස් එකසිය තිස් පහයි. ඒ කාලයේ අද මෙන් කණ්ඩායම්  වශයෙන් නොවෙයි ඡන්දෙ ඉල්ලුවේ.  ඕනෑම පුද්ගලයකුට ස්වාධීනව ඡන්දෙ ඉල්ලන්න පුළුවන් වුණා. එක අපේක්ෂයකුට ඇප මුදල වුණේ රුපියල් දහයයි. 


මම මුලින්ම 1966 මැයි 31 වැනිදා පැවති ගම් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයකු ලෙස අත ලකුණින් එවර ජය ගැනීමට හැකිවුණා. මම දෙවැනිවරට ඉදිරිපත් වුණේ 1971 නොවැම්බර් මස විසිහය වැනි දින පැවති ගම් සභා මැතිවරණයටයි. එවර මගේ ප්‍රතිවාදියා ලෙස තරග වැදුණේ හිටපු සභිකයකු වන ඇස්. සලමන් ද සිල්වා මහතායි. ඔහු තරග කළේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරාදිය ලකුණින්. 


නාම යෝජනා භාරදී ඡන්දය පැවැත්වෙන දින තෙක් ගෙන් ගෙට ගොස් ඡන්දය ඉල්ලන්න පුළුවන්. අද වගේ හැම තැනම පෝස්ටර් ඇලවීමක් තිබුණේ නැහැ. අපේ ඉදිරි වැඩපිළිවෙළ සඳහන් ප්‍රකාශන මුද්‍රණය කරලා ගෙවල්වලට බෙදනවා. 


ඡන්ද මධ්‍යස්ථානය වූයේ දැනට වැසී ගොස් තිබෙන ගල්වෙහෙර බාලිකා කනිටු විදුහලයි. පෙරවරු හතට ඡන්දය ආරම්භ වන අතර පස්වරු හතරට නිමා කෙරෙනවා. ඒ ඡන්ද කටයුතු සඳහා එන නිලධාරීන් විසින් එම මධ්‍යස්ථානයේ සිට ඡන්ද ගණන් කර සවස හය හය හමාර වනවිට ප්‍රතිඵල නිකුත් කරනවා. සියලු අපේක්ෂකයන් ඉදිරියේ ඡන්දය ගණන් කරන නිසා විනිවිද භාවයක්  තිබුණා. සොරකමක් වංචාවක් ඇති වුණේ නැහැ. අද වගේ තර්ජන ගර්ජන කිසිවක් නැහැ. 


මම දෙවන වර ඉදිරිපත්වී ජය ගත් පසු වැඩි දෙනාගේ ඉල්ලීම් අනුව සභාපති ධුරයට තරග කිරීමට සිදුවුණා. සභාපතිධුරය සඳහා යෝජනා කර සිටියේ රොබට් ජයසේකර මහතායි. එහු මහාචාර්ය උපාලි ජයසේකර මහතාගේ පියා. එමෙන්ම මගේ ඥාති  සහෝදරයා. අහුන්ගල්ල කොට්ඨාසයෙන් තරග කළ රොබට් ජයසේකර මහතාට එවර ජය අත්වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ සිරිසේන ජයසේකර මහත්තයා ජය ගත්තේ. 


මේ හේතුව නිසා සභාපති ධුරයට තරග කිරිමට මට සිදුවුණා. මගේ ප්‍රතිවාදියා වුණේ කොස්ගොඩ ලක්ෂ්මන් කාබ්‍රෙව් හෙවත් ටොම් මහත්තයා. අපි දෙන්නා හොඳ මිතුරන් ලෙසයි හිටියේ. ටොම් මහත්තයා මගේ වැඩිමහල් සොහොයුරා සමග ඉතාම ළඟින් ඇසුරු කළා. 


එවර සභාපති තරගයේදී මගේ පැත්තට හත් දෙනයි, ටොම් මහත්තයාට හත් දෙනයි හිටියේ. එගොඩදූවේ ඩබ්ලිව්. ඒ. ගුණපාල, ගොඩගෙදර වයිමන් විජේරත්න, මහලදූවේ ඩබ්ලිව්, සීනදාස මාදූවේ ඩබ්ලිව්. විජේදාස ද සිල්වා වැල්ලබඩ බෝටින් මුණසිංහ යන පිරිස මගේ පැත්තට සිටියේ. 


රූපදස්ස පෙරේරා, ප්‍රැන්සිස් ද සොයිසා, සිරිසේන ජයසේකර, එච්. දීසින් ද සොයිසා යන මහත්වරු ඇතුළු හත් දෙනෙක් ටොම් මහත්තයට පක්ෂව සිටියා. 


සම සමව තිබෙන නිසා මහා ආරවුලක් ඇතිවේවි යන සැකය තිබුණා. කොස්ගොඩ ගම් සභා කාර්යාලයේදී සභාපති තේරීම සුදුසු නොවන බව හැගුණු නිසා පළාත් පාලන කොමසාරිස් හමුවීමට අවශ්‍ය වුණා. ඒ අනුව මමත් කොල්වින් ආර්. ද සිල්වා, පළාත් පාලන නියෝජ්‍ය ඇමැතිවරයා වූ නීල් ද අල්විස් සහ බළපිටිය මන්ත්‍රීවරයා වූ පී. ඩී. වීරසිංහ ද සිල්වා යන මහත්වරු සමග ගියා. 
ගාල්ල සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා වුණේ කීර්තිමත් පරිපාලන නිලධාරියකු පර්සි අබේසිංහ මහත්තයා. මෙතන ගැටුමක් ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා සභාපති තේරීම ගාල්ල කාර්යාලයේදී සිදු කරන බව කියා සිටියා. 


ඒ වචන පිට වෙනවාත් සමගම මට ඉවසුම් නැතිවුණා. මම සැණින් නැගිටල කිව්වා ගාල්ලේ තියන්න බැහැ හොඳම තැන තමයි අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය. එතැන තියන්නෙ නැත්නම් මමවත් මගේ සභිකයන් කිසිවෙකු එන්නේ නැහැ යි ඉතා තදින් කිව්වා. 


එහෙම ආරවුලක් කිසිසේත් සිදු වෙන්නේ නැහැ. ඒකට සම්පූර්ණ වගකීම භාර ගන්නා බවත් කිව්වා. 


මා ළඟින්ම සිටියේ වීරසිංහ මහත්තයා. එතුමා මගේ අතින් අල්ලලා ‘වාඩිවෙන්න, වාඩිවෙන්න මහතුන්’ කියල වාඩි කරවා ගත්තා. 


පළාත් පාලන කොමසාරිස්තුමා ඒ වෙලාවෙම අබේසිංහ මහත්තයට කිව්වා හෙට උදේ 10.00 ට රාජපක්ෂ විද්‍යාලයේදී සභාපති තේරීම කරන්න කියලා. ගාල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කතා කරපු පළාත් පාලන කොමසාරිස්තුමා අවශ්‍ය පොලිස් ආරක්ෂාව  දෙන්නත් කියල ඉල්ලුවා. 


අහුන්ගල්ලෙන් පත්වු සිරිසේන මහතා මගේ පැත්තට ගැනීමට නොයෙකුත් උත්සාහ කළත් ඔහු කැමති වුණේ නැහැ. 


පසුවදා  උදේ මම මගේ සභිකයන් හය දෙනා සමග ගල්වෙහෙර  ගෙදර ඉඳල උදේට කිරිබත් කාලා පා ගමනින් ආවා. ඒ වනවිට මගේ පාක්ෂිකයෝ විශාල පිරිසක් පස්සෙන් ආවා. හරියට පෙරහරක් වගේ ආවේ. 


ටොම් මහත්තයත් කොස්ගොඩ හදගල්ලේ ඉඳල එයාගේ සභිකයන් සහ ආධාරකරුවන් පිරිවරා ගෙන පයින්ම ආවා. 


සහකාර කොමසාරිස් පර්සි මහත්තයගේ  දෙපැත්තේ තිබු පුටුවල අපි දෙගොල්ලෝ වාඩි වුණා. දෙපැත්තට සම සමව තිබෙන නිසා ලොතරැයි ඇදීමක් කළ යුතු බවත් පළමුවෙන් ලොතරැයි අදිනකෙනා තෝරා ගැනීමට කාසියක් උඩ දමා  කාසියේ වාසිය බලන බවත් කිව්වා. 


පර්සි මහත්තයා කලිසම් සාක්කුවට අත දමල සත පනහේ කාසියක් ගත්තා. මේ කාසියේ තමන්ට අවශ්‍ය පැත්ත කියන්න කියල කියු ගමන්ම ටොම් මහත්තයා ඒ සැණින්ම ඉදිරිපත් වී තමන්ට සිංහයා පැත්ත අවශ්‍යයි කිව්වා. පර්සි අබේසිංහ මහත්තයා මගේ මුහුණ දෙස බැලූ විට දැන් ඉතින් ඉතිරිවී තිබෙන්නේ  පොල්ල තිබෙන පැත්තනේ. තව වෙනත් පැති නැති නිසා මට ඒ පැත්ත දෙන්න කියලා මම ඉල්ලා සිටියා. 


කාසිය උඩ දැමූ විට පෙරළී ගොස් පුටු කකුලක වැදී පොල්ල පැත්ත උඩට වැටුණා. ඒ අනුව පළමු තුණ්ඩුව ලබාගැනීමේ වාසනාව උදා වුණා. මේ ජයග්‍රහණයත් සමගම මම අනිවාර්යෙන්ම සභාපති වෙනවා යන විශ්වාසය ඇති වුණා. 


තුණ්ඩු කෑලි දාහරකින් එකක සභාපති යනුවෙන් ලියා රෝල් කරල පෙට්ටියක දමා තුණ්ඩු ඇදීමට පළමුවෙන්  මට ඇරයුම් කළා.  ඒ අනුව මම දකුණු අතේ දබරගිල්ලට සහ මැදඟිල්ලට හිරවූ තුණ්ඩුව ගෙන පර්සි අබේසිංහ මහත්තයට දුන්නා. ඒ මහත්තයා  තුණ්ඩුව දිග හැර ‘මෙන්න සභාපති තේරිලා තිබෙනවා’ යැයි තුණ්ඩුව කාටත් පෙන්වමින් කියා සිටියා. 


ඒ වෙලාවේ ඇතිවූ සතුට කියා නිම කරන්න බැරි වුණා. මම ඒ මොහොතෙම ලක්ෂ්මන් තාබ්‍රෙව් මහතාට අතට අත දුන්නා. ඒ මහත්තයත් දැඩි කලකිරීමකට පත්ව සිටියත් මට අතදී සුබ පැතුවා. 
ඒ සැණින් ටොම් මහත්තයා කණ්ඩායම සමග පිටත්ව ගියා. මගේ ආධාරකරුවෝ රතිඤ්ඤා පත්තු කරමින් ජය ඝෝෂා පැවැත්වූවා. කිසිම ගැටුමක් ආරවුලක් නැතිව සාමකාමීව සභාපතිකම තේරීම සිදු කළා යැයිද කීය.

 

 

 

 

 

 

බළපිටියේ එස්. ඒ. වයි ද සිල්වා