මෙරට තෙවරක් අග්‍රාමාත්‍ය ධූරය ඉසිලු දිවංගත ඩඞ්ලි ෂෙල්ටන් සේනානායක මහතා ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඩඞ්ලි සහ ඔහුගේ සොහොයුරා වන රොබට් සේනානායක යන දෙදෙනාම පාසලේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නතරවී සිටි අතර රොබට්ට වඩා ඩඞ්ලි ක්‍රීඩාශීලියෙකු සහ විනෝදකාමියෙකු විය.


ඔහු එකල විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට පවා ඇතුළත්ව සිටියේය. තම පුත්‍රයා සහභාගි වන ක්‍රිකට් තරග නැරඹීමට ඩී. එස්. සේනානායක මහතා ද පැමිණ සිටි අතර ඩඞ්ලි හයේ හෝ හතරේ පහරක් එල්ල කළ සෑම අවස්ථාවකදීම සේනානායක මහතා හුනස්නෙන් නැගිට අත්පොළසන් දෙන අයුරු එකල බොහෝ විට දකින්නට ලැබුණේය.


කෙසේ වෙතත් කුඩා කාලයේ සිටම ඩඞ්ලි තුළ එක්තරා දුර්වලතාවයක් තිබුණේය. එනම් පමණ ඉක්මවා ආහාර අනුභව කිරීමයි.


ඇයි දරුවෝ මේ තරං කෑම කන්නේ? ඇඟටත් අගුණයි. ශරීරයත් මහත් වෙනවා..... යි කියමින් ඩඞ්ලිගේ මව තම පුත්‍රයාට කොතෙකුත් අවවාද කළද හෙතෙම ඒ කිසිවක් කනකටවත් නොගත්තේය.


එවැනි බොහෝ අවස්ථාවල දී ඩී. එස්. පුරුදුව සිටියේ කොල්ලො වුණාම එහෙම තමයි. ටිකක් වැඩිපුර කෑම කන්න ඕන..... යි කියමින් තම බිරිඳ අස්වැසීමටය. තම පියාගේ ඒ කතාව ඩඞ්ලිගේ සිතට තවත් අනුබලයක් විය.
මේ කාලයේ ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාරයේ නතරවී සිටි සිසුන්ට සැපයුණේ බටහිර ක්‍රමයට පිසූ ආහාර පානය. එහෙත් ඒවාට එතරම් ප්‍රියමනාපයක් නොදැක්වූ ඩඞ්ලිගේ ප්‍රියතම ආහාරය වූයේ සිංහල ක්‍රමයට පිසූ බත් සහ මාළු පිණිය. එසේත් නැත්නම් ඉදියාප්ප හෝ පිට්ටුය.


ඒ අනුව ඩඞ්ලි ඇතුළු ඔහුගේ සම වියේ මිතුරන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ උදෑසන ආහාරයට ඉදියාප්ප සහ පිට්ටු ද එක් කිරීමට විදුහල්පතිතුමාගේ අනුමැතිය යටතේ නේවාසිකාගාර පාලකවරයා පියවර ගෙන තිබුණේය. එහෙත් බටහිර කෑම වර්ග ද උදෑසන කෑම මේසයට එක්කර තිබුණේ බත් ඉදියාප්ප හෝ පිට්ටු කෑමට ප්‍රියමනාපයක් නොදක්වන සිසුන් වෙනුවෙනි.


දිනක් නේවාසිකාගාර පාලකවරයා නිවාඩු ගොස් සිටි අවස්ථාවක උදෑසන ආහාර ගැනීම සඳහා කෑම ශාලාවට ගිය සිසුන්ට දකින්නට ලැබුණේ පෙර පරිදිම ඉඳියාප්ප, පිට්ටු සහ බටහිර ඌරුවට සකසන ලද කෑම වර්ග කීපයක් මේසය මත තිබෙන අයුරුය. එදින වෙනදාටත් වඩා වැඩි ඉඳියාප්ප ප්‍රමාණයක් එහි තිබෙන බවද ඔවුන්ට පැහැදිලිවම පෙනෙන්නට තිබුණේය.


ඩඞ්ලිට මෙතන තියෙන ඉඳියාප්ප කොච්චර කන්න පුළුවන්ද? සීයක්....


ඩඞ්ලි එහි තිබූ වෙනත් කෑම වර්ග දෙසවත් නොබලා ඉඳියාප්ප තසිම අසලින් හිඳගත් අයුරු බලා සිටි ඔහුගේ මිත්‍රයෙකු එසේ කීවේ විහිළුවටය. තම මිත්‍රයා බොහෝ අවස්ථාවල දී ඉඳියාප්ප වැඩි ප්‍රමාණයක් කිසිදු අපහසුතාවකින් තොරව ගිල දමන අයුරු ඔහු කොතෙකුත් දැක තිබුණේය.


‘බැරිකමක් නෑ. ඒත් මම ඒ තරං ගණනක් කෑවොත් මගේ මේ මිත්‍රයා ඇතුළු වැඩිදෙනෙකුට බඩගින්නෙ ඉන්න සිද්ධ වෙනවායි කී ඩඞ්ලි සේනානායක ශිෂ්‍යයා තම මිත්‍රයන් පිරිස දෙස බලා උපහාසාත්මක සිනාවක් පෑවේය.
නෑ... නෑ.. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඔයා ඉඳියාප්ප සීයකට වඩා කෑවොත් අපි ඔයාට මවුන්ට් ලැවීනියා හොටෙල් එකේ ෆස්ට් ක්ලාස් ලන්ච් එකක් දෙනවා. ඒත් ඔයාට ඉඳියාප්ප සීයක් කන්න බැරිවුණොත් ඔයා අපිට මොනවද දෙන්නේ?


ඩඞ්ලිට එම අභියෝගය ඉදිරිපත් කරමින් ඔහුගෙන් එසේ විමසන ලද්දේ උඩරට වතුකාර පවුලකට අයත් බි්‍රතාන්‍ය ජාතික සිසුවෙකි.


“හරි ප්‍රශ්නයක් නෑ. මම පැරදුණොත් ඔයගොල්ලන්ටත් මවුන්ට් ලැවීනියා හොටෙල් එකේ ඒ ලන්ච් එකම දෙනවා.” යි පැහැදිලි ඉංග්‍රීසියෙන් කී ඩඞ්ලි මුලින් ඉඳියාප්ප පනහක් තම පිඟානට බෙදාගනිමින් ඒ අසල තිබූ කිරිමාළු තසිම ළඟට ඇද ගත්තේය.


හැබැයි මම කන්නේ අතින්. එහෙම නැතුව රස නෑ.. යි කී ඩඞ්ලි සේනානායක වතුර උගුරක්ද බී තම කාර්යය අරඹන ලද්දේ සෙසු සිසුන් පිරිස වටවී බලා සිටින අතරතුරය. අන්තිමේදී ඉඳියාප්ප එකසිය තිහක් ඉතා පහසුවෙන් ගිල දමා අවසන් කළ ඔහු දෑස් උඩ ඉන්දාගෙන තමන් දෙස බලාගෙන සිටි මිතුරන්ගේ අභියෝගය ජයගෙන හුනස්නෙන් නැගී සිටියේ තම සුරතේ  ඇඟිලි ද කටින් සූප්පු කරමිනි. ඒ අතර මේසය මත තිබූ කෝලිකුට්ටු ඇවරියෙන් ගෙඩි දෙකක්ම කඩාගෙන ගිල දැමීමටද හෙතෙම වගබලා ගත්තේය.

 

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර