ප්‍රාථමික පාසල් සමයේ ශාන්ත තෝමස් විදුහලේ දී භාෂා අංශයෙන් ඇන්. ඇම්. උගත්තේ ග්‍රීක් හා ලතින් භාෂාවන්ය. එහෙත් ආනන්දයේ පර භාෂා පිටු දැක තිබුණෙන් ඔහුට ඉගෙන ගන්නට සිදුවූයේ සිංහල භාෂාවය. තරගකාරී අධ්‍යාපන රටාවක් පැවති එකල සිංහල බොදු දහම සුරක්ෂිත කොට ඉදිරි පරපුරට එම දායාදය සකස් කර දෙන්නට විදුහල්පති කුලරත්න මැතිතුමා පියවර ගෙන තිබුණි. 


ඔහු භාෂාවන් කිහිපයක විද්වතෙකු වුව ද තම පාසල් දැක්වීම ප්‍රගුණ කළා පමණක් නොව සිංහල ඉතිහාසයෙහි පෞඪත්වය ද තම පාසල් ළමුන්ට උගැන්වීමට සුදුසු ගුරු මණ්ඩලයක් සකස් කර තිබිණි. නෝන්ජලයකු නොවී ආඩම්බරකාරයෙක් හැටියට ආනන්දය ඇන්. ඇම්. වැලඳ ගත්තේය. උපන් හපන්කම් යළි ප්‍රමුදිත වන්නට පටන් ගති.


ආනන්දයේ බුදු මැදුර ඉදිරියේ අනෙකුත් සහෝදර ශිෂ්‍යයන් වැඳ නමස්කාර කොට ඉක්මන් ගමනින් පන්ති කාමරයට දුවගෙන යද්දී බුදු මැදුර ඇතුළතෙහි සිට භාවනානුයෝගීව තමන් දිනක් පුරා කළ කී දේ සිහිපත් කරන්නට ආනන්ද මෛත්‍රය හිමියන් කෙරෙන් ලද උපදෙස් ඔහු පිළිපැදීය.


තරුණ ජවය ශක්තිමත්ව නැඟී පෙරට එන්නට පටන් ගති. මෝදර මහගෙදර සිට මරදානේ ආනන්දයට මොහොතකින් ඒමට එම කාල වකවානුවේ ට්‍රොලි බස් තිබිණ. සත පහක් ගෙවා ආනන්දයට ඔහු පැමිණියේ එක් දිනයක් පමණි. ඒ ට්‍රොලි බස්වල ස්වරූපය දැකබලා ගැනීමටය. උඩ තට්ටුවට වී ඔහු නිරීක්ෂණයක යෙදුණි. විදුලි රැහැන් සමඟ ගැටෙනා ට්‍රොලි බස්රියෙහි ඇතැම් විට ගිනිපුපුරු නැඟෙයි. 


උදේ පාන්දර බඩ කට පුරා බත් පංගුවක් කෑවත් තම පුතණුවන්ට අමතර වියදමක් දීම ඒබ්‍රහම් පෙරේරාගේ සිරිතක් විය. එයට හේතුකාරක වූ තවත් සිදුවීමක් වූයේ කලින් සිටි පන්තියේදී මෙන් නොව ආනන්දයේ දී තම දරුවා තුළ අමුතු වෙනස්කම් විද්‍යාමාන වීමය. පාසලට යන්නේ මව්පියන්ට වන්දනා කරමිනි. හදවතින් නැගෙන ඒ බිලිඳු හඬ දෙමාපිය ඇස් කඳුළින් පිරූ ඔවුහු තම දරුවාට ආශිර්වාද කළහ.


පනම් අටක් එහෙම නැත්නම් සත පනහක් හැමදාම ඇන්. ඇම්. ගේ දවල් කඩචෝරු කෑමට තාත්තා දීම පුරුද්දක් කරගෙන සිටියත් පාසලට පැමිණෙන සහෝදර ශිෂ්‍යයන් අතුරෙන් ඇතැම් දෙනා උදයට කිසිදු අහරක් නොගෙන එන බව ඇන්.ඇම්. දැන සිටියේය. එහෙත් තමන්ගේ අග හිඟකම් කීමට ඔවුන් අකමැති වුවත් බොහොම යාප්පුවෙන් කතිකාකොට දිළිඳු සගයකුට තාත්තා දුන් පතම් අට දී ‘ඉක්මනට මොනවා හරි ගන්න” යැයි ඇන්.ඇම්. කීවේ නොනිමි සතුටක් එතුළින් මතු වෙමින් තිබියදීය.


“හැතැක්ම දෙකක් තුනක් පයින් යන එක මට ලොකු සතුටක්. මම ආනන්ද මෛත්‍රය හාමුදුරුවෝ කිව්ව දාන පාරමිතාවට එක්කහු වුණා “ඔහු මරදාන ආනන්ද විදුහලේ සිට මෝදර තම නිවහනට යනතුරු තනිවම සිනහ සෙමින් තමන්ගේ දින චරියාව ආවර්ජනය කළේය. බාලදක්ෂයකු හැටියට ඇන්. ඇම්. කළ මෙහෙවර පාසලට අතිශය මෙහෙයක් වන බව දැකගත් විදුහල්පති කුලරත්න මහතා පාසලේ ශිෂ්‍ය නායකකමට ඔහු තෝරා ගත්තේය.


අවුරුදු ගණනාවක් මුළුල්ලේ දිගටම පරාජයට පත්වෙමින් තිබූ ආනන්ද ක්‍රිකට් පිල පළමු වරට ජයග්‍රහණය කළේ 1925 වසරේදී කණ්ඩායමේ නායක ඇන්. ඇම්. ගේ ඇප කැපවීම තුළිනි. ශිෂ්‍ය නේවාසිකාගාරයේ කලබලකාරින් දෙතුන් දෙනකු සිටි අයුරු එහෙත් මෙහෙන් කියන කතාවලින් ඇන්. ඇම්. ට දැන ගන්නට ලැබිණ. ඒ මෙරට සමාජවාදයට අකුරු කියවූ බොරළුගොඩ රාලහාමිගේ පුතුන් දෙදෙනාය. එක් අයකු පිලිප් ගුණවර්ධනය. දෙවැන්නා රොබට් ගුණවර්ධනය. පිලිප් තරමක කල්පනාකාරයෙකු වුවත් රොබට් එයට වඩා තරමක කලබලකාරයකු විය. 


ආනන්දයේ නේවාසිකාගාරය ඒ වන විට ශිෂ්‍යයන් තුළ තරමක නොසන්සුන්තාවක් හටගෙන තිබිණ. ආහාරපාන සකසන්නා තමාගේ හිතුමතයෙන් නේවාසික ශිෂ්‍යයන්ට ලබාදෙන ආහාරපාන කමකට නැතැයි රොබට් ගුණවර්ධන සමඟ කියන්නට පටන් ගෙන තිබිණ.


ඇන්. ඇම්. පාසල පටන් ගනිත්ම පාසලට වී සිටින රොබට් ගුණවර්ධන සතු කාය ශක්තිය හොඳින් දැක බලාගෙන තිබුණි. පරම්පරාගත ජාන ශක්තිය විසින් පිලිප්ට මෙන්ම රොබට් ගුණවර්ධනටත් සම වයසේ පසුවන්නන්ට වඩා දෙගුණයක තුන්ගුණයක කාය ශක්තියක් පිහිටා තිබිණ. කුඹුරු අස්වැද්දීම අවසන් වූ විට තැනිතලාවක් වන අක්කරයක දෙකක කුඹුරු යායෙහි ඒ කොන මේ කොන දැක සෙල්ලම් හුරුපුරුදු වූ ඔහුට ආනන්දයේ කෙළිපිටිය එතරම් අපූරු දෙයක් නොවීය. පිලිප් ළඟට වී සිටි ඇන්. ඇම්. මේ අපූරු දඟකාරයාගේ ක්‍රීඩා විලාසය දැන ගත්හ. ඇන්. ඇම්. එවූ බෝලයකට හයේ පාරක් දුන් රොබට් ස්ටාර්ලයිට් නේවාසිකාගාරයේ වහල මතට තම පන්දුව යොමු කළේය.


“පිලිප් මේක අහනව, රොබට් එක්ක පුළුවන්ද තරගයක් දෙන්න”


“ඒ මිනිහ ගෙදරදිත් එහෙමයි. ඊයේ මම බලාගෙන හිටිය මල්ලව පොර ගහනවා.”


ගුරු මණ්ඩලය හදිසියේ රැස්වුණේ නේවාසිකාගාර ශිෂ්‍ය නායකයකු පත්කර ගැනීම උදෙසාය. ශිෂ්‍යයන්ගේ වැඩි කැමැත්තෙන් එය සිදුකළ යුතු බවට විදුහල්පති කුලරත්න මහතා තීරණය කළේය.


‘රොබට්, රොබට් රොබට් ගුණවර්ධන “සිසුහු මහ හඬ නැඟුහ. එදා හවස්කරයේ නේවාසිකාගාරයේ ශිෂ්‍ය උපදේශක වූ රොබට්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්විණ.


“මල්ලිල මම කියන දේ අහන්න. ඔයගොල්ලන්ට මොනව හරි ප්‍රශ්නයක් තියෙනව නම් මට කියන්න”


“අපි සල්ලි ගෙවල මේ බෝඩිමේ ඉන්නෙ. කන්න දෙනව තමයි. ඒත් අපිට කන්න බැහැ. වතුරයි බතුයි විතරයි අපි කන්නෙ. ලුණු රහක් මිරිස් රහක් කවදාවත් නැහැ”


‘මල්ලිල ළඟ සල්ලි බාගෙ කීයක් විතර තියෙනව ද?”


“සත පනහක් හැටක් විතර”


“එක් කෙනාගෙන් සත දෙකයි. ගෙවන්න පුළුවන් හරිද?”


“හරි අයියෙ හරි”


‘එහෙනම් අද රෑ කෑම මේසෙට ආවම කවුරුවත් කනව එමෙ නෙවෙයි”


“එතකොට හෙට පාන්දර මාර්ච් පාස්ට් එකට බඩගින්නෙ යන්න පුළුවන්ද අයියෙ?”


“සද්ද නැතිව ඉන්නකෝ. මල්ලිල නිදා ගන්න ගියායින් පස්සේ බඩ පිරෙන්න ඉඳිආප්පයි. උණු උණු මාළු හොද්දකුයි. සීනි සම්බෝලයි මම අරගෙන එන්නම්. මරිය කඬේ මේ ළඟනේ තියෙන්නෙ. එතැන ඉන්නව කටකාර අම්මණ්ඩි කෙනෙක්. කොස්ගම අපේ මහගෙදර කලක් හිටියා. මම ඒකට ප්ලෑනක් හදාගෙන තමයි ආවෙ. එක දෙයක් මතක තියාගන්න. හෙට උදෙන් හොස්ටල් එකේ කෑම කනව නෙවෙයි”


රොබට් තම පළමු වෙඩි මුරය දියත් කළේය. බුදු බණ. බුදු ගුණ, පරිත්‍රාණ ධර්ම දේශනා තුළින් ආනන්දයේ මුළු මහත් පරිසරයම නින්නාද වන්නට පටන් ගති. දිනක් මුළුල්ලේ ආහාර වර්ජනයක යෙදුණ ආනන්ද ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි දරුවෝ එදිනත් ආහාර වර්ජනයක නියුක්ත වූහ. 


පළමු වරට ආනන්ද විද්‍යාලයේ පන්ති වැඩ වර්ජනය සාර්ථකව නිමාවට පත් වූයේ රොබට් ගුණවර්ධනගේ ක්‍රියා කලාපය තුළිනි. ඇන්. ඇම්. සිය සුමිතුරු පිලිප් සමඟ කථිකාවකට එළැඹියේය. ආනන්දය හැරදා ඔවුහූ දෙදෙනා උසස් අධ්‍යාපනයක් ලබන අටියෙන් එතෙරට ගමන් කළහ.


“අපි රටක් හදමු. ඒ රට ගොඩනැගෙන්නෙ ආනන්දයත් එක්ක. රොබට් අපිට උදව් කරාවි”


සසල වූ දේශය යළි යළිත් දෝංකාරයෙන් ගිගුම් දෙන්නට පටන් ගති.