“දේශපාලනය රඟමඬලකි. කලින් කලට කරළියට එන චරිත දහසක් පොරොන්දු දී අතුරුදන් වෙති” ප්‍රවීණ නාට්‍යවේදියකු වූ සුගතපාල ද සිල්වා වරක් පැවසීය.


එසේ වුවද කලක් දේශපාලනයෙහි නිරතවූ එහෙත් ජනතාවගේ ප්‍රාර්ථනා සමග සෙල්ලම් නොකළ දේශපාලනඥයන්ද මේ රටේ නොසිටියේ නොවේ.


අමාත්‍ය ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කතානාද සිනමාවේ මුල් යුගයේ රංගනයෙන් අගනා මෙහෙයක් කළ චරිතාංග නළුවෙකි. වී. ටී. ජී. කරුණාරත්න උපප්‍රධාන චරිත රැසක් නිරූපණය කළ නළුවකු වන අතර ඇමැතිවරයකු ලෙස කටයුතු කළේය. මහින්ද රාජපක්‍ෂ ටෙලිනාට්‍ය නළුවකු ලෙස කලක් කලාවේ රැඳී සිටියේය. චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික්‍රමසිංහ යන දේශපාලන චරිතද කලාව හැදෑරූ අය වෙති.


කන්ද උඩරට තුම්පනේ ආයුර්වේද වෙද පවුලක උපත ලබා මහනුවර කච්චේරියේ ලිපිකාර පත්වීමක් ලැබූ ඉලංගරත්නයන් සිංහල බෞද්ධ සාහිත්‍යය, සංස්කෘතිය හා කලාව තුළ වැජඹෙමින් නැටුම් නිර්මාණ දැයට දායාද කළ විශිෂ්ටයෙකි.


සිංහල කවිය, නවකතාව, සිනමාව යන කලා ක්‍ෂේත්‍රයන් තුන තුළම ඉලංගරත්නයන්ගේ ලේඛන හා රංගන කුසලතාව දැකිය හැකිය


බලපුළුවන්කාර දේශපාලනඥයකුවීමට ඔහුට තිබුණු පරිවේණික සුදුසුකම් අවමය. පිටිසරයකුවීමත් කලාකරුවකුවීමත් ලිපිකරුවකුවීමත් ඇත්ත කතා කිරීමත් ඔහුට ඊට තිබු නුසුදුසුකම්ය.


රාජ්‍ය සේවක වැඩ වර්ජනයකට නායකත්වය දුන් සංගමයේ නිලධාරියකු ලෙස කටයුතු කිරීම යන චෝදනාවට රාජ්‍ය සේවයෙන් පහ කර දැමූ ඉලංගරත්න 1956 මහජන බලවේගයට උරදි වැඩ කරන ජනතාවගේ ප්‍රසාදය දිනා ගත්තේ අමාත්‍ය ධුර රැසක වගකීම භාරගනිමිනි. 


මහජන බැංකුව, රක්‍ෂණ සංස්ථාව, තෙල් ජනසතුව වැනි පෙරළි රැසකට මුල් වුණු ඉලංගරත්නට ප්‍රතිගාමි ධනවාදීන්ගෙන් ලැබුණේ දරුණු පළිගැනීම් හා අපහාස උපහාසය. ඉතා සංවේදී මිනිසකු වූ ඉලංගරත්නයන් තම පක්‍ෂයෙන් පවා එල්ල වූ අභූත චෝදනා හා වැරදි අර්ථ කථන නිසා ශෝකයට  පත්ව කඳුළු සැලූ බවත් කාමරයට වැදී කම්පාවෙන් සිටි ඔහු සැනසීමට කිසිදු සහෝදර මන්ත්‍රීවරයකුට නොහැකි වූ බව ද කියති.
විජය සතු දීප්තිමත් අනාගතය ගැන දුරදක්නා නුවණින් දැක ඔහු සමග ශ්‍රී ලංකා මහජන පක්‍ෂය පිහිටුවා ධනවාදි පක්‍ෂවලට එරෙහිව සටන් ප්‍රකාශ කිරීමටත් ඉලංගරත්න එඩිතර වූයේය.

 

එක්තරා ජාතික පුවත්පතක් ඉලංගරත්න  ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය දෝෂදර්ශනයට ලක් කළේය. විරුද්ධවාදීන්ගේ අපහාස උපහාසවලට මුහුණ දී තෙම්පරාදු වූ දේශපාලනඥයකු වන ඔහු මාධ්‍ය  මගින් ද තමාට පහරදීම ගැන කම්පා වී සිටියේය. විශේෂයෙන් එම පුවත්පතේ දේශපාලන කාටුන් ශිල්පියා වූ ජී. එස්. ප්‍රනාන්දු තම මාධ්‍ය මගින් ඔහුට එල්ල කළ උපහාසය නම් දරාගත නොහැකි විය. ජී. එස්. වැනි කලාකරුවකුට ඉලංගරත්නයන් තුළ තිබූ ආදරය ගෞරවය හා විශ්වාසයට ඉන් බලවත් පහරක් වැදුණු බව සිතීය.

 

 

“ජී. ඇස්. හොඳ මනුස්සයෙක්. එයාට දොස් කියලා වැඩක් නෑ. එයා කරන්නෙ රස්සාවක්” ඉලංගරත්න මිතුරන්ට පැවසීය. ඔහු කළේ තැපැල්පතක කවියක් ලියා ජී.ඇස්.ට යැවීමය.


‘මට ගහන ගැහුමින් - ඔබට සැපතක් වේනම්


තව තවත් යහමින් -සැපත ළංකර  ගන්න ගහමින්’ යනුවෙනි.


තම මිතුරු ඉලංගරත්නයන් හිත් වේදනාවෙන් ලියූ මේ කවිය දැක ජී. ඇස්. ගේ නෙතේද කඳුළු පිරුණි.


වහා තැපැල්පතක් ගත් ජී. ඇස්. තම මිතුරාට මෙසේ ලියා යැවීය.


“ලියු සතර පදයෙන

මතුවෙයි මිනිස් මහගුණ

මිනිසත් ගතිය දැන

බැණුම් අසමින් සිනාසෙනු මැන” 


මෙම කවිය දුටු ඉලංගරත්නගේ සිතේ දුක තුරන්වූ බව දැනගන්නට ලැබිණ.


ඉලංගරත්නයන්ගේ කවි, නවකතා හා නිර්මාණ තුළ ඇත්තේ සරල, සුගම, නැවුම් ගැමි ගතියයි.


වරක් මැතිවරණයකදී පරාදයට පත්වූ බව දැනගෙන කච්චේරියේ පියගැට පෙළ බැස යමින් සිටි ඉලංගරත්නයනට අපහාස කරමින් එතුමාගේ හිසට අං තබමින් නටමින් ලේකම්වරයකු පැමිණියේය. හදිසියේම ඉලංගරත්න පසුපස  බැලූ අතර ඔහුගේ හැසිරීම දුටුවේය. ලේකම්වරයා වහා සැඟවුණේය.


පසු කලෙක යළි ජයගෙන අමාත්‍ය පදවියක් උසුලමින් සිටියදී එම ලේකම්වරයා ද අමාත්‍යාංශයේ පදවියකට  ඉල්ලා ඇති බව ඉලංගරත්න දුටුවේය.


ඔහුගේ ලිපිගොනුව බැලූ අමාත්‍යවරයාට අයදුම්කරු සුදුසුකම් සපුරා ඇති බව පෙනිණි. 


“ඔය අඩුපාඩුකම් තිබුණට මිනිහා දක්‍ෂයෙක් බව පේනවා. මං පසුගිය දේවල් අමතක කළැයි කියන්න ඇවිත් වැඩ බාර ගන්න කියන්න”. අමාත්‍යවරයා හිතවතුන්ට පැවසීය.


තම පරම විරුද්ධවාදියාගේ හොඳ ගුණ වර්ණනා කිරීමට හැකි දුර්ලභ මිනිසකු බව ඉන් පෙනේ. බලයේ සිටි කාලයේ කිසිවකුගේ සිත නොරිදවා තමන් කරන දේ හරිහැටි කිරීමද බලයෙන් ගිලිහුණු දා අනෙකාට යටි උගුල් නොඇද තම ශක්තිය ගැනම විශ්වාස කර සාහිත්‍යකරණයෙහි හා සමාජ සේවයෙහි නියැළිම ද ටී. බී. ඉලංගරත්න ගේ සිරිත විය.

 

 

ඉලංගරත්නයන්ගේ ප්‍රිය බිරිඳ තමරා කුමාරි තුළ තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ප්‍රගතිශීලි කාන්තා දේශපාලනඥවරියගේ ගති පැවතුම්ය. ඉලංගරත්නයන්ගේ දේශපාලන ජය පරාජයෙහිදී ඇය සෙවණැල්ල සේ  සිටියාය. එසේම සැමියාගෙන් ගිළිහුණු ප්‍රගතිශීලි ධජය රැගෙන පාර්ලිමේන්තුවද නියෝජනය කළාය.


1977 දී ඉලංගරත්නයන්ගේ දේශපාලනයට අභියෝග කළේ කොළොන්නාව අසුන තරග කළ එජාපයේ වීරසිංහ මල්ලිමාරච්චිය. වේදිකාව තුළදී උනුනුන්ට දොස් පවරා ගනිමින් තර්ක  විතර්ක ගෙන ආ ඔවුන්ගේ දේශපාලන ඉරණම විසඳුණේ වීරසිංහ මල්ලිමාරච්චි එම අසුන ජයගෙන ඉලංගරත්නයන් ගෙදර යැවීමෙනි.


නිහඬව සාහිත්‍යකාමි දිවිපෙවෙතක් ගත කළ ඉලංගරත්න ඉඳහිට තම පැරණි හිතවතුන් හමුවීමට කොළොන්නාවට ගියේය.


“ගිය සුමානෙ මං කොලොන්නාව පැත්තෙ  ගියානෙ. මල්ලිමාරච්චි ඇමැතිතුමා ආසනේට සෑහෙන්න වැඩ කරලනෙ. කොලොන්නාව අයි. ඩී. එච්. හන්දියට අපූරු සංවර්ධනයක් කරලා. බොහොම හොඳයි”


ඉලංගරත්න තම මිතුරකු වූ සෝමසිරි කස්තුරි ආරච්චිට පවසා තිබිණි. “කවුරු වුණත් ජනතාවට සේවය කරනවනම් එච්චරයි. ඒකට අපි කුලල් කාගන්න ඕන නෑ” ඉලංගරත්නගේ දර්ශනය එසේය.


තමන්ට විරුද්ධව කාටුන් නිර්මාණය කරන ශිල්පීන් ගෙන්වා ප්‍රශ්න කර දේශපාලනඥයන් ගෙන් පත්තර ලෝකයට හොඳ අත්දැකීම් ඇත. වරක් තමා වන සතුන්ට උපමා කළ ජී. ඇස්. වැනි ශිල්පින් ගෙන්වා කරුණු විමසූ සර් ජෝන් කොතලාවල, අගමැති බණ්ඩාරනායක, දහනායක වැනි චරිතද ජේ. ආර්. යුගයේ එකම චිත්‍ර ශිල්පි යුනුස්ගේ නාසය කැපූ මැරවර චරිතද මතකයට නැංවෙන නමුත් තමාට  තෙළි තුඩින් පහර එල්ල කළ ජී. ඇස්. ට බැණුම් අසමින් සිනාසෙමින් මුහුණ දුන් ඉලංගරත්න වැනි චරිත ගැන අසන්නට ලැබීමත් භාග්‍යයකි.

 

 

 


පුෂ්පනාත් 
ජයසිරි මල්ලිකාරච්චි