ජ.වි.පෙ.ට එරෙහි “තුන් වැනි සතුරු හමුදාව”- 02

 

ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය මගින් කප්පම් ලබාගැනීමට 1984 මැයි 11 පැහැරගෙන ගිය ඇමෙරිකන් ජාතික ඉංජිනේරු බ්‍රයිසන් ඇලන් සහ ඔහුගේ ගැබිණි බිරිඳ මේරි.

 

දයාපාල 1977 අගෝස්තු 27 විවාහ වූයේ දෙමළ බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් 1989 සැප්තැම්බර් 21 යාපනේදී මරා දමන ලද යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් සහ යාපනය සරසවියේ මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සමාරම්භක සාමාජිකාවක් වූ ආචාර්ය රාජිනී රාජසිංහම් සමඟය. 


“බිඳුණු තල්රුක” රාජිනී ඇතුළු විද්වතුන්ගේ සංවාදාත්මක කෘතියකි. යාපනයේ ඉපදී කොළඹ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබූ රාජිනීගේ ඝාතනයෙන් පසු දයාපාල සිය දියණියන් දෙදෙනා වන නමර්දා හා ශාරිකාද රැගෙන 1989 දෙසැම්බර් 27 බි්‍රතාන්‍යයට සංක්‍රමණය විය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පදිංචිය. 


ජිනීවා නුවර මානව හිමිකම් කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ ආචාර්ය මනුජාම් මානික්‍යලිංගම් කලක් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සිටියදී සාම කථිකාවේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වශයෙන්ද කටයුතු කළේය. වර්තමානයේ ඔහු නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සරසවියේ ආරාධිත මහාචාර්යවරයෙකි. විකල්ප කණ්ඩායමට එරෙහි නඩුවේ චූදිතයෙකුද වූ සරත් ද සිල්වා හෙවත් පොඩි සිල්වා 1988 අප්‍රේල් 20 නිදහස් වීමෙන් පසු විකල්ප කණ්ඩායමෙන් ඉවත්ව ප්‍රා සංවිධානය 1988 මැයි 18 පිහිටුවා ගත්තේය. 


විකල්ප කණ්ඩායමේ ක්‍රියාවලිය ඔවුන් සිතූ අන්දමින් උණුසුම් නොවීය. ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාව ඇතිකිරීමේ ව්‍යාපාරය (මර්ජ්) සහ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය (ක්‍රොප්), ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය වැනි රාජ්‍ය නොවන සංවිධාන ජාලයක මූල්‍ය සහාය මත අර්ධ සහ පූර්ණකාලීන මට්ටමින් විකල්ප කණ්ඩායම ගොඩනැගී තිබිණි. විකල්ප කණ්ඩායම් ක්‍රියාත්මක වූයේ වාමාංශික අදහස් දැරූ ද්‍රවිඩ බෙදුම්වාදී සංවිධානයක් වන ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නිල නොවන මට්ටමින් දකුණු දිග ශාඛාව වශයෙනි. විකල්ප කණ්ඩායමේ පිරිසකට ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය මගින් තමිල්නාඩුවේදී අවි පුහුණුවක්ද ලබාදුන්නේය. 


පුද්ගලයින් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන්ද ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය නම් දරා තිබිණි. යාපනය ප්‍රදේශයේ ජල සම්පාදන ව්‍යාපෘතියක ඉංජිනේරු උපදේශකයෙකු වූ ඇමෙරිකන් ජාතික ස්ටැන්ලි බ්‍රයිසන් ඇලන් සහ ඔහුගේ ගැබිණි බිරිඳ වන මේරි එලිසබෙත් මේසන් 1984 මැයි 11 පැහැරගෙන යන ලද්දේ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය මගිනි. ඔවුන් නිදහස් කරගැනීමට රුපියල් කෝටි පහක් වටිනා රන් තොගයක් සහ බන්ධනාගාර ගතවූ දෙමළ බෙදුම්වාදීන් වන සිංගරායර් පියතුමා සහ නිර්මලා සත්‍යනාදන් ඇතුළු 20 දෙනෙකු නිදහස් කරන ලෙස කප්පමක් ලෙස ඉල්ලා සිටියහ. එවකට ඇමෙරිකන් ජනාධිපති රොනල්ඞ් රේගන් කියා සිටියේ කිසිදු කප්පමක් ගෙවීමට තමා සූදානම් නැති බවත් ඔවුන් නිදහස් කරන ලෙසත්ය. පසුව ඔවුන් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය මගින් දින 5කට පසු නිදහස් කරමින් කියා සිටියේ ඉන්දීය අගමැතිනි සහ තමිල්නාඩු මහ ඇමතිගේ ආයාචනාවට ගරු කිරීමක් ලෙස ඇලන් යුවළ නිදහස් කළ බවකි. 


ජවිපෙ විසින් විකල්ප කණ්ඩායමද නම් කළේ තුන්වැනි සතුරු හමුදාවක් ලෙසය. එම සංවිධාන සියල්ල 1988 ජනවාරි 25 වැනිදා තහනම් කිරීමේ නියෝගයක් ජවිපෙ මගින් පැනවූ අතර ඔවුන් අතුගා දමන ලෙස ජනතාවගෙන් ඉල්ලමින් 1988 පෙබරවාරි 10 නිවේදනයක්ද ප්‍රකාශයට පත්කරන ලදී.


විකල්ප කණ්ඩායමේ පිරිසක්ද මුදල් සෙවීම සඳහා මංකොල්ලකෑම් කිහිපයක් කර තිබිණි. මින් කිහිපයක් පොලිසිය මගින් හෙළිකර ගත් අතර දෙමළ බෙදුම්වාදී නායක මට්ටමේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු හසුවීමත් සමගම ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයද පොලිසියට අනාවරණය විය. ජවිපෙ මගින් විකල්ප කණ්ඩායමට යොමුකර සිටි ඔත්තුකරුවන් මගින් ද තොරතුරු ලබාගත් අතර ඔවුන් “දඬුවම් කිරීම” සඳහා ජවිපෙද දැල් එළා තිබිණි. 


අත්අඩංගුවට ගත් විකල්ප කණ්ඩායමේ නායකයින් සහ ක්‍රියාකාරීන් 12 දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ දීර්ඝ කාලයක් රඳවා සිටීමෙන් අනතුරුව හදිසි අවස්ථා විශේෂ විධිවිධාන සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සහ වෙනත් අධි චෝදනා 14ක් මත කොළඹ මහාධිකරණය හමුවට යොමු කරන ලදහ. නඩු පැවරීමට පෙර චූදිතයෝ පොලිස් ස්ථාන. පැජට් පාර, සී.එස්.ඩී. කාර්යාලය, 4වැනි තට්ටුව, රොක් හවුස් නාවික කඳවුර ඇතුළු ස්ථාන කිහිපයක රඳවා තබන ලදී. 


රජය පෙරළීමට තැත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ 2වැනි නඩුවේ අධි චෝදනා භාරදීම 1987 ජුලි 8දා කොළඹ මහාධිකරණ විනිසුරු ටී. සුන්දරලිංගම් ඉදිරියේ සිදුවිය. එම චූදිතයින් 23 දෙනාගෙන් 12 දෙනෙකු විකල්ප කණ්ඩායමට අයත්ය. එම 12න් කිහිපදෙනෙකු අත්අඩංගුවේද පසුවිය. ඉන්දු - ලංකා ගිවිසුම 1987 ජුලි 29 ජනාධිපති ජයවර්ධන සහ ඉන්දීය අගමැති ගාන්ධි අතර අත්සන් තැබූ අතර එහි කොන්දේසියක් වශයෙන් මෙම සියලු චූදිතයින් 1988 අප්‍රේල් 22 කොළඹ මහාධිකරණ විනිසුරු අමීර් ඉස්මයිල් විසින් නිදොස් කොට නිදහස් කරන ලදී. එයට හේතුව වූයේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 194 වැනි වගන්තිය යටතේ විත්තිකරුවන්ට විරුද්ධව අපරාධ චෝදනා තවදුරටත් විභාග නොකිරීමට වැඩබලන නීතිපති කේ. එම්. එම්. බී. කුලතුංග තීරණය කිරීමය. මින්පසු රාජ්‍ය විරෝධී කටයුතුවල නොයෙදෙන බවට ලිඛිත පොරොන්දුවක් දීමද එහිදී සිදුවිය. සැඟවී වරෙන්තු පිට සිටි සෙසු චූදිතයින්ද පසුව අධිකරණයට ඉදිරිපත් කර නිදහස් කරගන්නා ලදී. 


ආණ්ඩුව මගින් උතුරු - නැගෙනහිර පළාත් සභා ඡන්දය 1988 නොවැම්බර් 10 පැවත්වූ අතර ඉන් සෙසු ප්‍රධාන කණ්ඩායම් තරඟ නොකළ හෙයින් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය ජය ලැබීය. 


උතුරු - නැගෙනහිර මහ ඇමතිවරයා වශයෙන් වර්ධරාජා පෙරුමාල් පත්වූ අතර එහි සිංහල සහ මුස්ලිම් නියෝජනයක් තිබීම සඳහා ඔවුන් වෙනුවෙන් ඇමතිවරයෙක් පත්කිරීමටද ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය තීරණය කළේය. ඒ අනුව ප්‍රථමයෙන් දයාන් ජයතිලක පත්විය. ප්‍රතිපත්තිමය හේතුන් මත දයාන් පළාත් ඇමති තනතුරෙන් ඉවත්වූ පසු එම පුරප්පාඩුවට වර්ධරාජා පෙරුමාල් පත්කළේ ජෝ සෙනෙවිරත්නය. උතුරු - නැගෙනහිර මහා ඇමති වර්ධරාජා සිවිල් ආරක්ෂක හමුදාවක් නීති විරෝධීව බඳවා ගන්නා විට ජෝ සිය ධූරය අතහැරියේය. එවිට එම අමාත්‍ය ධූරයට මහ ඇමති වර්ධරාජා 1990 පෙබරවාරි පත්කළේ කොමියුනිස්ට් පක්ෂයේ එම්. කේ. අබුයුසුෆ්ය කොමියුනිස්ට් පක්ෂය අබුයුසුෆ්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර 1990 මාර්තු 2 කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් කරන ලදී. 


උතුරු - නැගෙනහිර පළාත් සභාව 1990 මාර්තු 1 ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මන්ත්‍රණ සභාව නමින් නම්කර මහ ඇමති වර්ධරාජා පෙරුමාල් ඊළමක්ද ප්‍රකාශයට පත් කළේය. ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය රජයට ඉල්ලීම් 19ක් ඉටුකිරීමට වසරක් කල්දුන් බවද ඒවා ඉටුකළහොත් නැවත පළාත් සභාව පිහිටුවන බවද මහ ඇමතිවරයා නිවේදනය කළේය. ජනාධිපති ප්‍රේමදාස රජයේ ආශිර්වාදය යටතේ මුදල් සහ අවි ආයුධ ලබාගත් එල්.ටී.ටී.ඊ සංවිධානය ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය වෙත ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු මහ ඇමති වර්ධරාජා ඉන්දියාවට පලාගොස් ඉන්දීය ආණ්ඩුවේ ප්‍රභූ ආරක්ෂාව යටතේ දේශපාලන රැකවරණය ලැබීය. 


මුලදී දියුණුවක් පෙන්නුම් කරමින් දකුණේ තරුණ බුද්ධිමතුන් සහ සමාජ ක්‍රියාකරුවන් කිහිපදෙනෙක් ආධාර කරගෙන ගොඩනැගුණු විකල්ප කණ්ඩායම තම අභිලාශයන්ට ගැළපෙන සේ න්‍යායන් සහ වැඩ කටයුතු සකස් කළා විනා ගැඹුරු අධ්‍යයනයක් මගින් සංයුක්ති වැඩ පිළිවෙළක් සකස්කර ගැනීමට උත්සාහ දරුවේ නැත. එබැවින් විකල්ප කණ්ඩායම ඉතාම කෙටි කාලයකින් වියැකී ගියේය.