මුද්‍රිත මාධ්‍ය කරුවෙකුගේ වගකීම ලිවීමය. ලියන්නට මාතෘකා සපයා දෙන්නේ ජනතාවය. නැතිනම් රජයය. එහෙමත් නැතිනම් මේ පර්ශ්ව දෙකම එකතු වෙලාය. මෙවර මගේ මාකෘතාව වන්නේ රටම උණුසුම්කරවන මේ ලියන මොහොත වනතුරුත් නිමවී නැති දුම්රිය වර්ජනය ගැනය. එය මාතෘකා කරගෙන අතීතයේ එවැනි අවස්ථාවන් ගැන දැනුම්වත් කිරීමකි. මෙම මාතෘකාව අපට ලබා දුන්නේ වෘත්තීය සමිතිද නැතිනම් රජය ද යන්න යම් පමණකට අපැහැදිලි කාරණයකි. 


මා එසේ කියනුයේ බරපතළ හැදෑරීමකින් නොව දුම්රිය මගීන් කියන කතා අනුවය. සරලවම කියන්නේ නම් එය මට දැක්විය හැක්කේ “දෙන්නම් කියලා දුන්නේ නැහැ. ඉතින් වෙන මොනවා කරන්නද?” වගේ කතාවකි. මෙම කාරණයට අදාළව මා අවබෝධය ලබා ගත්තේ දුම්රිය මගීන්ගෙන් නිසා මේ මතය වැරදි නම් එහි වගකීම් ඔවුන්ගේය. කෙසේ වූවත් තීන්දු හෝ නිගමන දීම අපේ රාජකාරිය නොවන නිසා අදාළ ලිපිය ආරම්භ කරන්නෙමි.


“සකල ලෝකවාසී නිර්ධනයෙනි එක්වව් ! ඔබට නැතිවන්නට දෙයක් නැත. ඇත්නම් ඒ ඔබ පෙළන දුප්පත්කම පමණි. එහෙත් ඔබට දිනා ගන්නට ලෝකයක් ඇත. එනිසා සටන් වදිව්.” යැයි කාර්ල් මාක්ස් ලීවේය. කම්කරු සටන් ඉතිහාසයේ විශාලම ධෛර්යදීම ඇරඹුණේ මාක්ස්ගේ “කොමියුනිස්ට් ප්‍රකාශනය” නමැති විග්‍රහය නිසා බව විද්වත්හු බොහෝ දෙනා පිළිගනිති. ඔහු මේ කියන යුගයේ ලෝකයේ රටවල් විශාල ගණනක් පැවැතියේ සුදු ජාතික රටවල් කීපයක යටත් විජිත වශයෙනි. පාලනයට අදාළ සියලු බලතල තිබුණේ සුද්දන්ටය.


“පෙර දිග මුතු ඇටය යැයි කීවත් ශ්‍රී ලංකාවද බි්‍රතාන්‍යයේ හිරු නොබසින අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් පාලනය වෙමින් තිබුණි. බි්‍රතාන්‍යයන් විසින් මේ රටේ ආරම්භ කරන ලද කෝපි වගාව අසාර්ථක වූවද ඒ වෙනුවට තේ වගාව අත්හදා බැලීමට සුද්දෝ පෙළඹුණහ. එය කොතරම් සාර්ථකවුණාද කිවහොත් අපේ රටේ මධ්‍යම කඳුකරයේ අති විශාල භූමි ප්‍රමාණයක් තේ වගාවෙන් වැසී ගියේය. මුඩුබිම් පනත ක්‍රියාත්මක කරමින් කඳුකරයේ පාරම්පරික ගම්වල සිටි දස දහස් ගණන් සිංහලයා එම ගම්වලින් පිටමං කර ඒවා රජයට පවරා ගත් සුද්දෝ මෙරටට පැමිණ තේ වගා ආරම්භ කරන්නැයි බි්‍රතාන්‍යයන්ට ආරාධනා කළහ. එසේ පැමිණි අයට ඉඩම් අක්කරය රුපියල, දෙක බැගින් විකුණා වගාව ආරම්භ කිරීමට ධෛර්යය දුන්හ. මෙහිදී බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට වැවිලිකරුවන්ට සිදුවිය. එනම් මෙම ඉඩම් එළි පෙහෙළි කිරීමටත් පැළ සිටුවීම ඒවා රැකබලා ගැනීම නඩත්තු කිරීම ආදියට විශාල ශ්‍රමයක් අවශ්‍ය වූවත් සිංහල ගැමි ජනතාව වැටුපට ඒවායේ සේවය කිරීම ප්‍රතික්‍ෂේප කිරීමයි. උඩරට රාජ්‍යය බිඳ වැටෙන තුරුම මේ රටේ පැවතියේ වැඩවසම් සමාජයකි. එහි වැටුපට සේවය කිරීමක් නොවුණු අතර පැවතියේ රාජකාරී ක්‍රමයකි. රජුට සේවය කිරීම වෙනුවෙන් ලැබුණේ ගම්වරය. ඒවායේ වගා කරගත් ගැමියෝ තමන්ගේ නිෂ්පාදන භාණ්ඩ හුවමාරු කර ගනිමින් අවශ්‍යතා ඉටු කර ගත්හ. එම සමාජයේ වැටුප් සඳහා කුලියට වැඩ කිරීම නිග්‍රහයක් ලෙස සැලකූ බවද පෙනේ. එයට අමතරව තමන්ගේ ඉඩකඩම් රජයට පවරාගෙන ඇති කරන තේ වගාව ගැන ඔවුන් කෝපයෙන් සිටියාද විය හැකිය. එමෙන්ම උඩරට මහ කැරැල්ල අමානුෂික අයුරින් මර්දනය කිරීමේදී තම ඥාතීන්ද ඝාතනයට ලක් කිරීම නිසා උපන් අධිරාජ්‍ය විරෝධී හැඟීමක්ද සමහරුන් තුළ මෙම විරෝධයට හේතුවූවා විය හැකිය.


මෙම ගැටලුවට විසදුම් වශයෙන් සිදු කෙරුණේ ඉන්දියාවෙන් කුලී කරුවන් ගෙන්වීමය. ඒ පැත්තක් අපේ තමයි. මේ පැත්තත් අපේ තමයි මුළු ලෝකය අපේ තමයි කීමට බි්‍රතාන්‍යයන්ට හැකියාව තිබුණි. එකල ලංකාව මෙන්ම අද ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය මියන්මාරය ආදී කලාපයේ සියලු රටවල් තිබුණේ බි්‍රතාන්‍යයන් යටතේය. එනිසා ඉන්දියාවෙන් දුගී දුප්පත් මිනිසුන් දහස් ගණනක් මෙරට කඳුකරයට ගෙන ඒම දුෂ්කර නොවීය. සතුන් බැඳගෙන ගෙනෙන්නාක් මෙන් ගෙන ආ මෙම අසරණ මිනිසුන් දුම් නැව්වල ගාල් කරවා උතුරේ වරායවල ගොඩ බානු ලැබූහ. එහි සිට මහා වනාන්තර මැදින් වතුකරයට දක්කාගෙන ආහ. සිය ගණන් මිනිස්සු මගදී මරණයට පත්වූහ. ලෙඩ රෝග, ගමන් වෙහෙස මගදී සතුන්ට ගොදුරුවීම ආදිය එම මරණයන්ට හේතු වූ බව කියනු ලැබේ. මෙසේ පැමිණි කම්කරුවෝ කඳුකරයේ ශීතලේ ගැහෙමින් දිවා රාත්‍රී වැඩකර එකම වතුයායක් බවට පත් කළහ. තේ දලු නෙළීමට කාන්තාවන්ද අවශ්‍ය වෙද්දී තම දරුමල්ලන්ද කැඳවාගෙන පැමිණි මොව්හු නොමැරී මැරෙමින් ඉතා අවාසනාවන්ත ජීවිතයක් ගත කළහ. ඉතා සුළු වැටුපකට නියමිත සේවා කාලයක් නොමැතිව සුද්දන්ගේ වතු දියුණු කිරීම සඳහා තම ශ්‍රමය කැප කළහ. වත්තේ වැඩ නිමවී පැමිණි මෙම කම්කරුවෝ පේළි ගෙවල් වශයෙන් තනා තිබුණු ලැයිම් කාමර නමින් හැදින්වුණු මඩුවල වැතිර ගත්හ. මිහිපිට නරකාදිය සිහිපත්වන මොවුන්ගේ මෙම වාසභූමි තිරිසනුන්ටවත් ජීවත්වීමට සුදුසු වූයේ නැත. යටිතල පහසුකම් කිසිවක් තබා ජීවත්වීමේ අවම පහසුකම්වත් ඔවුන්ට නොතිබුණි. මේ හේතුවෙන් උඩරට මධ්‍යම කඳුකරයේ නව උප සංස්කෘතියක් සහ බරපතළ ජාතික ප්‍රශ්නයක ආරම්භයක්ද නිර්මාණය විය.


එක්දහස් නවසිය තිහේ දශකය එළඹෙන කලාසීමාව වෙද්දීත් මෙම තත්ත්වයේ ලොකු වෙනසක් සිදුව තිබුණේ නැත. මෙම මිනිසුන්ගේ ඊළඟ පරම්පරාවන් වත්තේම ඉපිද එහි කටයුතු සදහාම වහලුන් මෙන් ජීවිත කාලයම කඹුරා එහිම මියයන ඔව්හු වත්තටම සිය සිරුරුද පොහොර කළහ. 1935 දී ලංකා සමසමාජ පක්‍ෂය බිහිවන්නේ වතුකරයේ මෙවැනි සමාජ පසුබිමක් තිබියදීය ගොවි කම්කරු රාජ්‍යයක් උදෙසා වන කාර්ල් මාක්ස්ගේ දේශපාලන චින්තනය පිළිගත් විප්ලවවාදී පක්‍ෂයක් වශයෙන් එය කොළඹ නාගරික කම්කරු පන්තිය සංවිධානය කරමින් පන්ති අරගලය ගැන වටහා දෙමින් ශ්‍රී ලාංකේය සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කිරීම සඳහා ලබාදියයුතු දායකත්වය පැහැදිලි කර දෙමින් සිටියේය. ඉතාමත් දුඃඛිත ජීවිත ගත කරන සමාජ කණ්ඩායමක් වූ ඉන්දියානු වතු කම්කරු ජනතාව කෙරෙහිද එම පක්‍ෂ නායකයන්ගේ අවධානය යොමු වූවේ නිරායාසයෙනි. 
දෙවැනි ලෝක මහා යුද්ධය ආරම්භ විය. එය අධිරාජ්‍යවාදීන් දෙපාර්ශ්වයක් අතර සිදුවන යුද්ධයක් බව සමසමාජ පක්‍ෂය තීරණය කළේය. මේ රට බලහත්කාරයෙන් අල්ලාගෙන සිටිමින් රටේ සියලු සම්පත් සූරා කන බි්‍රතාන්‍ය පාලකයන්ට යුද්ධය දිනා ගැනීමට කිසිදු උපකාරයක් නොකළ යුතුය යනු එම පක්‍ෂයේ ස්ථාවරය විය. එම තත්ත්වය නිසා සුදු පාලකයෝ සමසමාජ පක්‍ෂයට දැඩිලෙස විරුද්ධ කම් කළහ. ඔවුන්ගේ කටයුතුවලට දැඩිලෙස බාධා කළහ.


පාලකයන්ගේ මෙම බාධා කිරීම් කිසිවක් ගණනකට නොගෙන නායකයෝ තම කටයුතු කරගෙන ගියහ. එවකට සමසමාජ පක්‍ෂයේ වෘත්තීය සමිතිවල නායකත්වය දැරුවේ පක්‍ෂයේ භාණ්ඩාගාරික ධූරය ද දරමින් සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාය. වතුකරයේ කම්කරුවන් නියෝජනය කළ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපතිරයා වූවේද ඇන්. ඇම්. ය උඩරට වත්තෙන් වත්තට යමින් ඒවායේ සේවකයන්ට කරුණු පහදා දෙමින් ඔවුන් වෘත්තීය සමිතිවලට බඳවා ගැනීමේ යෙදී සිටි ඔහු හේවාහැට ආසනයට අයත් මූල්ඔය වත්තේද කම්කරු සමිතියේ ශාඛා සංවිධානයක් බිහි කළේය. එම ශාඛා සංවිධානය පිහිටුවීමට ඇන්. ඇම්. ට බොහෝ සෙයින්ම උදව් කළේ එම වත්තේ ගුරුවරයෙකු වූ සිවනාදන්ය. ඔහුගේ බිරිඳ ද මූල්ඔය වත්තේ සේවිකාවක වූවාය. වෘත්තීය සමිතියක් පිහිටුවීමට ඇන්. ඇම්. ට සහයෝගය දීම ගැන වත්තේ පාලකයා වූ සුදු ජාතික ස්පාලින් සිවනාදන් ගැන කෝපයෙන් පසුවිය. මෙයට පළිගැනීමක් වශයෙන් සිවනාදන් සහ බිරිඳ, වත්තේ මැද කොටසේ සිට පහළ කොටසට මාරු කරනු ලැබූහ. අක්කර දහස් ගණනක් වූ මෙම වත්තේ සේවය කිරීමේදී මෙය බරපතළ දඬුවමක් නියම කිරීමක් ලෙස වෘත්තීය සමිතිය වටහා ගත්තේය. ඔව්හු සුපිරින්ටැන්ඩන්ට් ස්පාලීන්ගේ මෙම තීරණයට විරුද්ධව 1940 ජනවාරි පළමුවැනි දින වර්ජනයක් ආරම්භ කළහ. මෙම වර්ජනයට සහාය දීම පිණිස වතු කම්කරු සමිතියේ දිස්ත්‍රික් ලේකම් ටී. ඇම්. වේලුසාමි මුල්ඔය වත්තට පැමිණියේය. එය නීති විරෝධී බවට පොලිසියට පැමිණිලි කිරීමට ස්පාලින් කටයුතු කළේය. වහාම පැමිණි පොලිසිය වේලුසාමි අත්අඩංගුවට ගත්තේය. මෙය ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් වූවේය. කම්කරුවෝ තම සටන දැඩි කළහ. විශාල පෙළපාළියක් සංවිධානය කළ ඔව්හු දස දහස් ගණනකින් යුතුව මගට බැස්සහ. ඉතා උද්වේගකාරී පෙළපාළි දක්වන මේ මහා ජනරාශිය දුටු වතුපාලකයා බියට පත්ව වහාම පොලිසිය කැඳවීය. පොලිසිය දැකීමෙන් පසු පෙළපාළිකරුවෝ තවත් වේගවත් වූහ. පොලිසිය සුපුරුදු ක්‍රියාමාර්යට බැස්සේය. වෙඩි වරුසාවක් පතිත විය. එයට ගොදුරු වූ ගෝවින්දන් නමැති වතු කම්කරුවා මරණයට පත්විය. පොලිසිය විසින් සිදු කරන ලද මෙම ‘හපන්කම’ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා මෝරා ගියේ ඇතිවී තිබෙන තත්ත්වයට මුහුණ දීම සඳහා සමසමාජ නායකයෝ වතුකරයේ පදිංචි වූහ. නීති විරෝධී ලෙස මූල් ඔය වතු යායට නීති විරෝධීව ඇතුළුවීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි වතුකම්කරු සංගමයේ දිසා ලේකම් වේලුසාමිට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් තුන් මසක සිර දඬුවමක් බරපතළ වැඩසහිතව නියම කළේය. එනපොට හොඳ නැති බව ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාට වැටහුණි. පොලිසියේ වෙඩි තැබීමෙන් මරුමුවට පත් වූ ගෝවින්දන්ගේ අයිතිවාසිකම් පිළිබඳව තමාම පෙනී සිටීමට ඔහු තීරණය කළේය. පහළ උසාවියක නඩුවක් බාර ගැනීමට ඒ යුගයේදීත් කැමති නැති ආචාර්ය කොල්වින් ගෝවින්දන්ගේ කොර්නෙල් (හදිසි මරණ පරීක්‍ෂණයට පෙනී සිටීම එකල මහා නීතිවේදීන්ගේ පුදුමයට හේතු වූ බව පුවත්පත්වල පළ විය. ඔහු එම කටයුතුවල යෙදුණේ සම්පූර්ණයෙන්ම නොමිලේය. ඔහුගේ නීති තර්ක හමුවේ බලවත්තු පසු පසට වූහ. පොලීසිය මිනී මරන්නේ මොන බලයක් පිටදැයි ඔහු ගර්ජනා කළේය. 


මෙම මනුෂ්‍ය ඝාතනය ගැන රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මහ හඬක් නගන්නට රුවන්වැල්ල රාජ්‍ය මන්ත්‍රී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, අවිස්සාවේල්ල මන්ත්‍රී පිලිප් ගුණවර්ධන, හම්බන්තොට මන්ත්‍රී ඩී. ඇම්. රාජපක්‍ෂ වැනි මන්ත්‍රීවරු සමත් වූහ. අහිංසක කම්කරුවෙකු මරා දැමීමේ වගකීම භාරගෙන ස්වදේශ කටයුතු ඇමැතිවරයා ඇතුළු මුළු ඇමැති මණ්ඩලයම ඉල්ලා අස්විය යුතු යැයි ඔව්හු බල කළහ. එමෙන්ම මෙම මිනීමැරුම ගැන සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ස්වාධීන කොමිසන් සභාවක් පත් කළ යුතු යැයිද ඔව්හු කියා සිටියහ. තවත් මන්ත්‍රීවරුන් ගණනාවකගේ සහායද මෙම පිරිසට ලැබුණි. එනිසා මෙම ප්‍රශ්නය යටපත් කර දැමීමට බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයාටද නොහැකි විය.


එනිසා ඒක පුද්ගල කොමිසමක් පත් කරන ලදී. එය දින විසිහතක් සාක්‍ෂි විභාග කරන ලදී. එහිදී අධිනීතිඥ කොල්වින් ආර් ද සිල්වා එම දින විසිහතම ගෝවින්දන්ගේ හා ඔහුගේ වැන්දඹු බිරිඳගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය මුල්ඔය වත්තෙන් ඇරඹුණු වර්ජන රැල්ල වේවැස්ස, නුවර එළිය, වැලිමඩ, ඇටැම්පිටිය, ඇල්ල, දෙමෝදර, බදුල්ල වේවැල්හින්න, කඩියලෙන ආදී වතුවලට ද පැතිර ගියේය.


මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේදී ගෝවින්දන්ගේ මරණය පිළිබඳ පරීක්‍ෂණය පැවැත්වූ දිනයේ විශාල වතු කම්කරු පිරිසක් සහභාගිවන පෙළපාළියකින් නුවර අධිකරණය දක්වා පැමිණීමට කටයුතු යොදන ලදී. එහි මූලිකත්වය ගත්තේ ලංකා වතු කම්කරු සංගමයයි. මූල්ඔය වත්ත අසලින් ආරම්භ වූ මෙම පෙළපාළිය සැතපුම් විසිඅටක් මග ගෙවා නුවර උසාවිය අසලට සේන්දුවූවේ රාත්‍රී දොළහටය. එසේ පෙළපාළියෙන් පැමිණි විසි දහසකට අධික ජනතාවගෙන් මුළු මහනුවර නගරය අතුරු සිදුරු නැතිව පිරී ගියේය. කෙසේ වූවත් මහේස්ත්‍රාත්වරයාගේ නිගමනය වූවේ ගෝවින්දන්ගේ ඝාතනය සාධාරණ මිනීමැරුමක් බවයි. එය නොපිළිගත් නීතිඥයෝ ඉහළ උසාවියට අභියාචනයක් ඉදිරිපත් කළහ. ඒ අතරතුර දින විසිහතක විභාගයෙන් පසු කොමිසම තම වාර්තාව එළි දැක්වීය. එහිදී දින දොළහක් පුරා කොල්වින් ආර්. ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම පිළිගනිමින් ගෝවින්දන්ගේ මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බව නිර්දේශ කළේය. මෙය ජාතික ප්‍රශ්නයක් බවට උත්සන්නවීම නිසා හත් දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්විය.


කොමිසන් සභා නිගමනය වූයේ ඕනෑම කම්කරුවෙකුට තමන් කැමති වෘත්තීය සමිතියකට බැඳීමේ අයිතිය ලබාදීමයි. ඒ අනුව මූල්ඔයවත්තේ වතු කම්කරු සමිතිය පිළිගැනීමත්, වැඩ වර්ජනයට සහභාගි වූ කිසිම කම්කරුවෙකුට දඬුවම් නොකිරීමටත්, දිනක වැටුප ශත දාසයකින් වැඩිකිරීමටත්ය සහල් සේරුවක් ශතයකට, දෙකකට මිලදී ගත හැකිව තිබුණු යුගයක ශත 16ක වැටුප් වැඩිවීම ද එකල විශාල ජයග්‍රහණයක් ලෙස පිළිගන්නා ලදී.


වර්ජනය පැතිර ගිය වේවැස්ස වත්තේ සටන ද තීරණාත්මක වූවේය. එහි කම්කරුවන් ඉදිරිපත් කර තිබුණු ආර්ථික ඉල්ලීම්වලට අමතරව වත්තේ පැවති හින්දු දේවාලයේ අයිතිය පිළිබඳව මෙන්ම එහි තිබුණු රිදී දේව ප්‍රතිමාවේ අයිතිය ලබාගැනීමට ද වර්ජකයෝ සමත් වූහ. 


වේවැස්ස වතුයායේ සටන ද ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. එය ජයග්‍රහණයෙන් නිමාවීම නිමිත්තෙන් බදුල්ලේ නගර සභා ක්‍රීඩාංගණයේ විශාල රැස්වීමක් පැවැත්වීමට එම වත්තේ කම්කරුවෝ තීරණය කළහ. එයට තවත් වතු රාශියක සේවක පිරිස් පෙළපාළි මගින් සහභාගිවීමට නියමිතව සිටියත් පොලිසිය බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණු ඉල්ලීමක් අනුව එම රැස්වීම සහ පෙළපාළිය තහනම් කරන ලදී. මෙයට ප්‍රතිචාර දැක්වූ සමසමාජ නායකයෝ එම නියෝගය කඩ කරමින් රැස්වීම සහ පෙළපාළිය පැවැත්වීමට තීරණය කළහ. දස දහස් ගණන් කම්කරු ජනතාව සහභාගිවූ මෙම රැස්වීම අමතා කථා කළේ වතු කම්කරු සමිතියේ සභාපති ආචාර්ය ඇන්. ඇම්. පමණකි. ඔහු දෙමළ භාෂාවෙන්ද සභාව ඇමතීය. රැස්වීම පැවති දෙමෝදර ප්‍රදේශයම මිනිස් ගංගාවක් ගලා යටවී ගිය බව පුවත්පත්වල පළ විය. ඉල්ලා අස්වූ ඇමැති මණ්ඩලය බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ බලකිරීම මත නැවතත් තනතුරු භාරගත් බව කියනු ලැබේ.


මේ අධිරාජ්‍යවාදී පාලන සමයේ සිදුවූ එක් සටනක් පමණි. එදාට සාපේක්‍ෂව අද වතු කම්කරු ජනතාව විශාල ජයග්‍රහණ අත්කරගත් පිරිසකි. බොහෝ දෙනා ශ්‍රී ලංකා පුරවැසියෝය. රටක් නැති ඉන්දියානුවන් ලෙස හැඳින්වුණු ඔවුන්ට පුරවැසිකම හිමි විය. 


එහෙත් අප විසින් සුවිශේෂීව අවබෝධ කර ගත යුතු කාරණයක් තිබේ. එනම් සටනකින් තොර ජයග්‍රහණයක් නොමැති බවය. එහෙත් සටන් කළ යුත්තේ හරි දේ වෙනුවෙනි. එමෙන්ම කිසිදු පාලනයක් බන්දේසියක තබා ජයග්‍රහණ පිරිනමන්නේද නැත. අවසාන වශයෙන් සටහන් කළ යුතු වන්නේ මෙම ලිපියේ කිසිදු කාරණයක් දැන් සිදුවෙන දුම්රිය වර්ජනයට අදාළ නොවන බවයි. ඒ සම්බන්ධව කිසිදු අදහසක් මෙමගින් ඇඟවීමක් කර නැත්තේ අප උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත චින්තයෙන් කටයුතු කරන නිසාය. ඒවා අදාළ වගකිව යුත්තන්ට භාරය.

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි.