1998 ජනාධිපතිවරණයට පෙර සිටම රට දෙපැත්තකින් ගිනි ගනිමින් තිබුණේය. එලෙස රටේ උතුරු කොනින් ගිනි තබා තිබුණේ ඊළමක් පතා ගිනි අවි අතට ගෙන සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය මගිනි. ඊට අමතරව “ජේ. ආර්. මරමු” යනුවෙන් සඳහන් පෝස්ටර් ඇලවූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයට දකුණු කොනින් ගිනි අවුළුවා තිබුණේය.


ඒ අනුව 1988 ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවී තිබුණේ රට දෙපැත්තකින් ගිනි ගනිමින් තිබූ අති බිහිසුණු වාතාවරණයක් මධ්‍යයේ බව ප්‍රකට කරුණකි. කෙසේ වෙතත් එ.ජා.පයේ අපේක්‍ෂක රණසිංහ ප්‍රේමදාස මහතාටත් ශ්‍රී.ල.නි.පයේ ජනාධිපති අපේක්‍ෂිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත් එවර තම තමන්ගේ ඡන්ද සටන් පවත්වා ගෙන යාමට සිදුවී තිබුණේ දෙපැත්තකින් බැටකන අතරතුරය.


ප්‍රේමදාස මහත්තයා තමන්ගේ ඡන්ද ව්‍යාපාරය පවත්වා ගෙන ගියේ තමන් දැරූ අග්‍රාමාත්‍ය තනතුරේ සියලු වරප්‍රසාදයන් යටතේය. ඒත් අපේ සිරිමාවෝ මැතිනියට තිබුණේ ජනාධිපති අපේක්‍ෂිකාවකට ලැබෙන වරප්‍රසාද පමණයි. හැබැයි ඒ දෙන්නගෙම සමහර ඡන්ද රැස්වීම්වලට සහභාගි වෙලා හිටියේ ඉතාමත් සුළු පිරිසක්. සමහර රැස්වීම්වලට දහදෙනෙක්වත් නෑ.


එවකට මාතර ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායක ධුරය දැරූ වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා එසේ කියන්නේ මරණ වරෙන්තුව සාක්කුවට දමාගෙන සිරිමාවෝ මැතිනිය වෙනුවෙන් තමන් ඡන්ද සටනට බැස සිටි 1988 ජනාධිපතිවරණ සමයේ ඇසූ දුටු සිදුවීම් පිළිබඳවය.


“හෙට රට පුරා ඇඳිරි නීතිය. කඩ වහපල්ලා..... රැකියාවලට නොගිහින් ගෙවල්වලට වෙලා හිටපල්ලා”යි කියමින් රට පුරා තුණ්ඩු කෑලි බෙදාගෙන යන දේශප්‍රේමි ව්‍යාපාරයට අයත් කොල්ලන්ගේ අවසාන නිවේදනය වන්නේ ඊට අවනත නොවන අයට දඬුවම මරණය බවයි. එහෙත් එම නියෝගයන්ට අවනත වීමට ද සාමාන්‍ය ජනතාවට නොහැකි වූයේ ආරක්‍ෂක හමුදා භටයන් පැමිණ වසා තිබෙන කඩවල දොරවල් කඩා දමන බැවිනි. නැතහොත් ජෙප්පන්ට බියෙන් නිවෙස්වල රැඳී සිටින ජනතාවට තුවක්කු පෙන්වා තර්ජනය කර බලහත්කාරයෙන් රැකියා ස්ථාන කරා රැගෙන යන බැවිනි. 


මෙවැනි අවිනිශ්චිත වාතාවරණයක් රට පුරා තිබිය දී මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ ජනාධිපතිවරණ ඡන්ද රැස්වීමක් පැවැත්වීමට ශ්‍රී.ල.නි.පයට අවශ්‍ය විය. ඒ අනුව එවකට ශ්‍රී.ල.නි.ප. ජාතික සංවිධායක අනුරුද්ධ රත්වත්තේ මහතා හෙලිකොප්ටරයක් කුලියට ගෙන මංගලලාගේ නිවසට ආවේ ඔහුගේ පැමිණීම කල්තියා දැනුම් දී තිබුණෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම ආසන සංවිධායකවරු එහි පැමිණ සිටියහ.


“අපි හැම දිස්ත්‍රික්කයකම මැතිනියගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන රැස්වීම බැගින් පවත්වනවා. කාටද පුළුවන් උයන්වත්ත පිටියේ රැලිය සංවිධානය කරන්න....?
ඔහු එසේ අසමින් එහි රැස්වී සිටි ආසන සංවිධායකවරුන් දෙස විමසිල්ලෙන් බලද්දී ඔවුහු බිම බලාගෙන නිහඬව සිටියහ. එසේ වූයේ එකල ඡන්ද රැස්වීමක් සවිධානය කිරීම පවා නාඳුනන තුවක්කුකරුවකුගේ හිත්පිත් නැති වෙඩි උණ්ඩයට ඉලක්කයක් ලෙස සැලකුණු බැවිනි. තම සගයන් නිහඬව බිම බලාගෙන සිටින ආකාරය දෙස විනාඩි කීපයක් බලා සිටි මංගල තම කටහඬ අවදි කළේය. 


“හරි සර් මම ඒ වගකීම බාර ගන්නම්...”


ඔහු එසේ කියද්දි අනුරුද්ධගේ මුහුණ සිනා රැල්ලකින් පිරී ගියේය. 


“හැබැයි පුතා මේක සුළුවෙන් හිතන්න එපා! අපි කවුරුත් එකතු වෙලා කොහොම හරි මේ රැස්වීම පවත්වමු” යි කී අනුරුද්ධ රත්වත්තේ ආපසු ගොස් තිබුණේ මාතර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් අතර බෙදාදීම සඳහා ශ්‍රී.ල.නි.ප. මූලස්ථානයෙන් එවා තිබූ මුදලක් ද ඔවුන් අතර සමසේ බෙදා දෙමිනි. 


තමන් විසින් භාරගනු ලැබුවේ ලේසි පාසු වගකීමක් නොවන බව මංගල හොඳාකාරව දැන සිටියේය. එසේ වූයේ මාතර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන්ගෙන් ඒ සඳහා කිසිදු සහයක් නොලැබෙන බව පෙනී ගිය බැවිනි. 


ඒ අනුව ඔහු ඊට පසුදාම මාතර නගර සභාවට ගොස් උයන්වත්ත ක්‍රීඩාංගණය වෙන්කරවා ගත්තේය. අනතුරුව නියමිත දිනයේ සිරිමාවෝ මැතිනියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් පැවැත්වෙන බව සඳහන් වෛවර්ණ පෝස්ටර් දාහක් මුද්‍රණය කරවා ගත්තේ තමන් දන්නා හඳුනන චිත්‍ර ශිල්පියෙකුගේ ද උදව්වෙනි.
“එනවද මේ පෝස්ටර් ටික අලවන්න.!” ඔහු තම හිතවතුන් කීප දෙනෙකුටම දැනුම් දුන්නද ඔවුන් ඒ සඳහා හවුල් නොවූයේ නාඳුනන තුවක්කුකරුවන්ගේ කට පුංචාට තිබූ බිය නිසා විය හැකිය. 


“දැන් මට පෙනුණා කිසි කෙනෙක් අපේ උදව්වට එන්නේ නැති බව. පස්සෙ මම අපේ අම්මත් එක්ක එකතු වෙලා පාප්ප බාල්දියකුත් හදාගෙන පෝස්ටර් ටිකයි, පින්සලකුයි අරගෙන කෙළින්ම ගියා ටවුමට. දැන් මම තාප්පවලයි, ලයිට් කණුවලයි පාප්ප ගාලා අර පෝස්ටර් අලවනවා. අම්මා පාප්ප බාල්දියත් අරගෙන මගේ පස්සෙන් එනවා. ඒ විදියට තැන් විසි පහක තිහක පෝස්ටර් අලවන කොට අපේ ආසන බල මණ්ඩලයේ සාමාජිකයන්ටම ලැජ්ජා හිතිලද කෙහෙද ඒ අයත් ආවා අපේ උදව්වට..........


ඔහු එසේ කියන්නේ 1988 ජනාධිපතිවරණයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනතා රැලියේ පූර්ව ප්‍රචාරක කටයුතු කළ ආකාරය ගැනය.


මේ කාලයේ ඇතැම් ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ට පවා ආයුධ සන්නද්ධ ආරක්‍ෂක භටයන් හත් අට දෙනෙක්ම රජය මගින් ලබාදී තිබුණා. එහෙත් ශ්‍රී.ල.නි.පය ඇතුළු වෙනත් වාමාංශික පක්‍ෂවල ආසන සංවිධායකවරුන්ට ඒ කිසිදු ආරක්‍ෂාවක් නොතිබිණි. මංගල සහ ඔහුගේ මෑණියන් විසූ නිවසේ ඔවුනගේ තනියට සිටියේ ළඟම හිතවතුන් දෙතුන් දෙනෙක් පමණි.


මේ අතර මැතිනියගේ ප්‍රධානත්වයෙන් උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මහජන රැලියට දින දෙකකට කලින් ඔහුගේ කොළඹ යහළුවන් කීප දෙනෙකු එහි පැමිණ තිබුණේ දෑතින්ම ඉලක්කයට වෙඩි තැබිය හැකි (ගන් ෆයිටර්) කෙනෙකු ද කැඳවාගෙනය.


“මෙයා හොඳ ගන් ෆයිටර් කෙනෙක්. ඕන කරුවලක ඉඳන් හරියට ඉලක්කෙට වෙඩි තියන්න මෙයාට පුළුවන්. කඹේක එල්ලී ගෙන වුණත් මෙයා වෙඩි තියාවි ටක්කෙටම..... ආදී වශයෙන් ලොකු වාර්තාවක් කරමින් කොළඹ සිට කැඳවාගෙන ආ එම ගන් ෆයිටර් සතුව ද රිපීටරයක් තිබුණු බව මංගලට මතකය.


“ඒ කතාව ඇහුවට පස්සේ මගේ හිතේ තිබුණු බයත් ටිකක් ඇරිලා ගියා. ඇයි දෙයියනේ මේ වගේ “ගන් ෆයිටර් කෙනෙක් ඉන්නකොට කාට බය වෙන්නද?” යි අසමින් සිනාසුණ මංගලට කොළඹින් කැඳවාගෙන ආ එම ගන් ෆයිටර් ගේ සුරුවිරුකම් මනාව දැකබලා ගැනීමට ඊට පසුදාම හැකි විය.


“කොහොම හරි එදා රෑ දහයට විතර මුලින්ම ටී-56 ගන් එකකින් අපේ ගේ පැත්තට වෙඩි තිබ්බා. ඊට පස්සෙ බෝම්බ දෙක තුනකුත් ගැහැව්වා. එතකොටමත් ඒ පැත්තෙම ලයිට් ගියා. දැන් අපි බයටම බිම දිගාවෙලා හිටියා. අපේ අම්මාත් හිටියේ මගේ ළඟමයි. ඒ වෙනකොට අම්මා ඉතිපිසෝ ගාථාව කියනවා මට ඇහුණා. දැන් ආයෙමත් අපේ ගෙට කවුරු හරි වෙඩි මුරයක් තිබ්බා. ඊට පස්සෙ වෙඩි සද්දෙ නැතුව ගියා. ඒ සැරේ මම බැලුවා කෝ මේ අපේ ගන් ෆයිටර් කියලා. ඒත් මිනිහා පේන්න හිටියේ නෑ. ටිකක් වෙලා යනකොට අපට ඇහෙනවා. ටිකක් හෙලවෙනවා වගේ සද්දයක්. ඒ සැරේ මම ඒ සද්දෙ ඇහුණු පැත්තට බඩ ගාගෙන ගිහින් බැලුවා. බලනකොට අපේ ආරක්‍ෂාවට කොළඹ ඉඳලා එක්කරගෙන ආපු ගන් ෆයිටර් බයටම ඇඳක් යටට රිංගපු පාරට ඇඳේ පොලු හෙලවෙන සද්දෙ තමයි අපට ඒ ඇහිල තියෙන්නේ. ඒක දැකල අපි කට්ටියට විතරක් නෙවේ අපේ අම්මටත් හිනා...!
මංගල එසේ කියන්නේ බඩ අල්ලාගෙන සිනාසෙමිනි. පසුදා මාතර පොලීසියට ගිය ඔහු තම නිවසට එල්ල වූ වෙඩි හා බෝම්බ ප්‍රහාරය ගැන පැමිණිල්ලක් කළ ද ස්ථාන භාර නිලධාරියා ඒ ගැන තඹ දොයිතුවක තරම්වත් සැලකිල්ලක් නොදැක්වූ බව හෙතෙම පවසයි.

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප අන්තර්ජාලයෙනි