මෙරට වාමාංශික බලවේගය පැන නොනඟින්නට ගොවි කම්කරු ජනතාවට අද පවත්නා සුරක්ෂිතතාව කිසිසේත් නොලැබී යන්නට තිබිණි. බි්‍රතාන්‍ය පාලකයන් විසින් 1935 අවුරුද්දේදී නීතිගත කරන ලද වෘත්තීය සමිති ආඥා පනත මඟින් කම්කරු ශ්‍රමය බාල්දුවට පත් කරනු ලැබීය. හිතුමනාපයට කම්කරුවන්ගෙන් වැඩ ගැනීමට අවශ්‍ය විධිවිධාන මෙමඟින් ක්‍රියාත්මක කෙරිණ. එම පනතේ 18 වැනි වගන්තිය යටතේ යම්කිසි වෘත්තීය සමිතියක් ලියාපදිංචි කිරීම සඳහා නිසි කල්හි ඉල්ලුම් නොකළහොත් නැත්නම් යම්කිසි වෘත්තීය සමිතියක ලියාපදිංචිය ප්‍රතික්ෂේප කළහොත් එවිට එම වෘත්තීය සමිතිය නීති විරෝධි සංවිධානයක් ලෙස සලකනු ලැබේ යැයි කියැවිණ.


රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මෙම පනත සම්මත වුවද වමේ කණ්ඩායම මෙයට දැඩි ලෙස විරෝධය දැක්වීය. මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ එම්.ජී. මෙන්ඩිස් මේ පිළිබඳව පළ කළ අදහසක් මෙසේය.


‘තමන් විශ්වාසය තැබිය යුත්තේ යම් යම් කම්කරු නායකයින් කෙරෙහි නොව තමන්ගේම බලය හා ක්‍රියාරම්භක ශක්තිය උඩ බැව් කම්කරුවන් තමන්ගේම අත්දැකීමෙන් ඉගෙන ගෙන ඇත. කම්කරුවන් තවම මුහුණ පා සිටින්නේ එම කර්තව්‍යයටයි. එනම් නියම වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩනැඟීමේ කර්තව්‍යයටයි. ධනපතීන්ගේ ප්‍රහාරයෙන් තම අයිතිවාසිකම් ආරක්ෂා කරගත හැක්කේ එක්වීමෙන් පමණක් බැව් කම්කරුවන් වටහාගෙන සිටින්නේ දැන්ය. යුද්ධය කම්කරුවන් මූලික වෙනස්කම් පැතීමට පොළඹවයි. බඩු මිල ඉහළ යාම, වැටුප් අඩුවීම, රක්ෂාවෙන් නෙරපීමේ තර්ජනය හා වෙළෙඳාම හා කර්මාන්ත අවුල්වීම කම්කරුවන්ගේ දුක්ඛිත තත්ත්වය තවත් උග්‍ර කරයි. මේ සියල්ල නියම වෘත්තීය සමිති පිහිටුවීමට හේතු වී තිබේ.


කම්කරුවන් අතර වැඩිම පිරිසක් සේවයේ යෙදී සිටින්නේ කොළඹ වරායේය. කොළඹ වරායේ බඩු බෑ වාප්පු කම්කරුවෝ තමන්ගේ වැටුප වැඩි කරන ලෙස ඉල්ලා 1940 ජුනි 20 වැනිදා වැඩ වර්ජනයක් ආරම්භ කළහ. බඩු මිටි 1000 ක් සඳහා එදා ගෙවන ලද්දේ රුපියල් 16ක් හෝ 18 කි. බානු ලබන හැම බඩු මිටියකටම සත 5 ක් වැඩි කරන්නැයි කම්කරුවෝ ඉල්ලා සිටියහ. එහෙත් පාලකයෝ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ ‘කාන්’ ඔරලෝසු කණුව අසලට කම්කරුවෝ රැස් වූහ. ඔවුනට සහාය දෙන්නට ඉදිරිපත් වූයේ වමේ කණ්ඩායම පමණි.


පාලකයෝ කම්කරුවන්ගේ ගැටලු ගැන සාකච්ඡා කිරීම පවා ප්‍රතික්ෂේප කළහ. තමන් වෙනුවෙන් සාකච්ඡා කිරීමට එම්. ජී. මෙන්ඩිස් හා කේ. රාමනාදන් ඉදිරිපත් කළද පාලකයෝ ඒ වෙනුවට ඒ. ඊ. ගුණසිංහ එවන ලෙස දැනුම් දුන්හ. සිදුවන්නට යන්නේ කුමක්දැයි හොඳාකාරව වැටහුණු එම්. ජී. මෙන්ඩිස් කම්කරුවන්ට දැනුම් දුන්නේ සියලු දෙනාම කම්කරු මහ ලේකම් කාර්යාලයේ පිහිටි කම්කරු පාලක සභාවට ඇතුළු වන ලෙසය.


වර්ජකයන් 1500 ක් පමණ දෙනා මොහොතකින් කම්කරු පාලක කාර්යාලයට කඩා වැදුණහ.


එම්. ජී. මෙන්ඩිස් එතැනට කැඳවිණි. ඔහු හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගෝනියකට සත 3 ක වැඩිවීමක් ලබාගත හැකිවිය. ජයග්‍රාහී කම්කරුවෝ පෙළපාළියකින් ප්‍රයිස්පාක් වෙත ගොස් දොස්තර එස්. ඒ. වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වූහ. 1940 ජුනි 21 වැනිදා පැවැති මේ රැස්වීමේදී දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ සභාපති වශයෙන්ද එම්. ජී. මෙන්ඩිස් හා කේ. රාමනාදන් සම ලේකම්වරුන් වශයෙන්ද පත්කොට සමස්ත ලංකා වරාය කම්කරු සමිතිය ආරම්භ කිරීමෙන් මෙරට ප්‍රථම වාමාංශික කම්කරු සමිති පිහිටුවා ගත්හ.


කම්කරු බලය තවත් අගනුවර කලඹවාලන අවස්ථාවක් උදා වූයේ හෝටල් කම්කරු අරගලය ඇතිවීමත් සමගය. හෝටල් කම්කරුවන්ට මේ වන විට දිනකට පැය 16 - 18 ක් පමණ වැඩ කරන්නට සිදුවිය. ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද ඔවුහු දැඩි වෙහෙසකට පත් වී සිටියහ. ලැබෙන කෑම පතට අමතරව මාසික වැටුප ලෙස ලැබුණේ රුපියල් 05 ක් පමණි. රැස්වීම පැවතුණේ පිටකොටුවේ නොරිස් වීදියේ බෞද්ධ මන්දිරයේය. 800 ක් පමණ වූ කම්කරු පිරිස් එතැනට රැස්ව සිටියහ. දොස්තර වික්‍රමසිංහ, උඩකැන්දවෙල සරණංකර හිමි, එම්. ජී. මෙන්ඩිස්, කේ. රාමනාදන්, සිසිල් කොස්තා. ඬේවිඞ් හෙට්ටිආරච්චි, අයි. ආර්. එම්. ඊබ්‍රාහිම් යන පිරිස කම්කරුවන් ඇමතුහ. විශේෂයෙන් ඉන්දීය ජාතික සටන් ව්‍යාපාරය ගැන උඩකැන්දවෙල සරණංකර හිමියන් කළ දේශනයෙන් කම්කරු පිරිස තුළ නව ජවයක් හට ගැනිණ.


එදින ඇරඹි සමස්ත ලංකා හෝටල් කම්කරු සමිතියේ නියෝජිතයෝ ඉල්ලීම් පහක් රජයේ ඇමතිවරයා වෙත ඉදිරිපත් කළහ. පැය 8 ක වැඩ දිනයක්, කෑම පැයක්, සතියකට දින එකහමාරක නිවාඩු, වර්ෂයකට සති දෙකක නිවාඩු සහ රජයෙන් අවම වැටුප් සීමාවක් යනු ඔවුන්ගේ ඉල්ලීම් විය.


හෝටල් හිමියන් වෙනුවෙන් ඇමතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක පෙනී සිටි අතර කම්කරු සමිතිය වෙනුවෙන් එම්. ජී. මෙන්ඩිස්, ඒ. වෛද්‍යලිංගම්, අයි. ඇම්. ඊබ්‍රහිම් හා හෝටල් කම්කරුවකු වූ අබ්දුල් ශානි ද ඉදිරිපත් වූහ.


මෙහිදී නිශ්ශංක මෙබඳු අදහසක් පළ කළේය. මැලිබන්, බුහාරි යනු හෝටල් නොව කුඩා බත් කඩය, එබැවින් කම්කරුවන්ට පහසුකම් සැලසිය නොහැකිය. රාත්‍රී හෝටලය වැසුවාට පසු කම්කරුවන් එළියට නොයවන්නේ ඔවුන් පිටතට යාමෙන් නරක්වන නිසාය. කම්කරු සමිතිය වෙනුවෙන් කතා කළ ප්‍රතිපක්ෂය මේ විහිළු තර්කය පිළිබඳව ඇමැතිවරයා දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් හෝටල් සේවකයන්ගේ තත්ත්වය ගැන අතුරු වාර්තාවක් සපයන ලෙස නියම කළේය. 


මුළු මහත් රාජ්‍ය අංශයම එදා කොතරම් දුරට දූෂණකාරී ක්‍රියාවලට යොමු වී තිබුණ ද යන්න ‘ජන ශක්තිය’ පුවත්පතට දුරකථන සේවයේ යෙදුණු කම්කරුවන්ගේ දුක්ගැහැට මෙසේ දන්වා එවා ඇත.


‘ඔබ අනගි ‘ජන ශක්තිය’ පත්‍රයෙහි මේ සුළු ලිපිය බහාලන මෙන් ඉල්ලමි. ටැලිෆෝන් ලයින්වල වැඩ කරන කම්කරුවන්ගෙන් උදේ 6 සිට සවස 6 දක්වා ඇතැම් ලයින් මෑන්වරුද ඕවර්සියෙල්වරුද වැඩ ගනිති. දිනකට සත 25 බැගින් සතියට රුපියල් 2.45 ක් ගෙවන බවට නියම කුවිතාන්සිවලට අත්සන් ගනිති. කම්කරුවන්ට කුණු කරවල සහ කුණු ගඳ ගහන හාලේ බත්ද, රොඩු පරිප්පු, රට දෙල් සහ වට්ටක්කාද කවා ලයින් මැනේජර්ලා තෝර මාළු, එළු මස්, ගෝවා, බටර් බෝංචි, බාර්ලි, සව්, කිරි පැණි, සම්බා හාලේ බත්ද කා මේ සියලු දේම කල්ලියට දමා කම්කරුවන්ගෙන් අයකර ගනිති. පඩි ගත් දිනට ඕවර්සියෙල් මහතාට විස්කි බෝතලයක්ද, රාලහාමිට රුපියලක්ද ගෙවා යන්තම් පණ රැකගෙන සිටින කම්කරුවන්ට ඇතැම් ඩී.අයි.ටී. මහත්වරු ඉහත කී අත්තිකාරම් මුදලවත් කෑමට කම්කරුවන්ට දෙන්නේ නැත.


එම මුදල් ඉල්ලූ විට ලැබෙන පිළිතුර නම් ‘තොපට ලැබෙන පඩියෙන් තොපේ කෑම වියදමට තියාගනිව්. මට තොපට ඇඞ්වාන්ස් දීම කරදරයි’ කියා පන්නා ගනිති. යම් කම්කරුවෙක් කිසිම පිළිතුරක් දුන්නා නම් එම කම්කරුවන්ට ලැබෙන අනුකම්පාව නම් ගෙදරට පන්නා දැමීමය. වැඩ අඩුවන විට නවත්වන්නට නියම පත්වීමේ හැටියටය. නැවැත්වීම කරන්නේ නිලධාරීන්ගේ බංගලාවට කිරිපැණි, හකුරු මුල්, ඌරු මස්, කෝලිකුට්ටු නාදින අයවලුන්ය. රක්ෂාව දෙන්නේ ඉහත කී බඩු ගෙන යන අයවලුන්ට හා නිලධාරින්ගේ බෝයිලාට හා කුස්සි අම්මලාගේ නෑදෑයින්ටද වේ. තව කිවයුතු කරුණු නම් බොහෝයි. ඒ සියලු දෙයින් මිදීමට නම් කම්කරුවන්ට උපකාර වන සමිතියක් පිහිටුවා ගන්නා මෙන් ඉල්ලමි”