ආචාර්ය කොල්වින්ගේ දේශපාලන ජීවිතයට පනස් වසරක් සපිරීම වෙනුවෙන් 1982 මැයි මස 22 දින කොළඹ රාජකීය විදුහල් නව රඟහලේදී “කොල්වින්ට ජාතියේ හරසර” මැයෙන් උපහාර උළෙලක් පැවැත්විණි. කොල්වින් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යවරයා ලෙස සම්පාදනය කළ “1972 ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව” සම්මත වී ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී නිදහස්, ස්වාධීන, ස්වෛරී ජනරජයක් බවට පත්වීමේ දසවැනි සංවත්සරයද එදිනටම යෙදී තිබුණි.


වෛද්‍ය ගුණදාස අමරසේකර, මර්වින් සෙන්ට් එස්. කාසිචෙට්ටි, ඔස්මන්ඞ් ජයරත්න, චන්ද්‍රා ගුණසේකර සහ අමරදාස ප්‍රනාන්දු යන මහත්වරු මෙම උපහාර උළෙලේ සංවිධායක මණ්ඩලය වූහ.


“කොල්වින්ට ජාතියේ හරසර” උපහාර උළෙලේ මුලසුන මහාචාර්ය හේන්පිටගෙදර ඥාණවාස හිමි ඉසිලූහ.


“යුක්තිය සොයා යන නීතිවේදියා” මැයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ඒ. අමිර්තලිංගම් මහතාද, “දේශපාලනයට පිවිසි බුද්ධිමතා” මැයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාද, “ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරීම” මැයෙන් රාජනීතිඥ වෝල්ටර් ජයවර්ධන මහතාද, “ශ්‍රී ලංකාවේ ප්‍රථම වැවිලි කර්මාන්ත ආමාත්‍යවරයා” මැයෙන් මහාචාර්ය සිරිසේන තිලකරත්න මහතාද “විප්ලවීය කැපවීම” මැයෙන් බර්නාඞ් සොයිසා මහතාද දෙසුම්  පැවැත්වූහ.


රාජකීය විදුහලේ නව රඟහල පිරී ඉතිරී යන තරමට ආචාර්ය කොල්වින්ට හරසර දැක්වීමට පිරිස එක්රොක්ව සිටියහ.


ආචාර්ය කොල්වින්ට “ජාතියේ හරසර” උපහාර උළෙල නිමිත්තෙන් “ජනදින” පුවත්පත විශේෂ උපහාර කලාපයක් නිකුත් කළේය. ඉතා දැඩි, කර්කශ වාග් ශෛලියකින් ලියැවෙන “ඇත්ත” පුවත්පතේ කතුවැකිය එදින වෙන්වී තිබුණේ “ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා” මැයෙන් යුතුවය.


ප්‍රවීණ පුවත්පත් කලාවේදී බී. ඒ. සිරිවර්ධනයන් විසින් එදින “ඇත්ත” පුවත්පතට ලියන ලද එම කතුවැකිය එකල රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ “ධර්මිෂ්ඨ” පාලනයට මෙන්ම වාමාංශයේ මුවාවෙන් වාමාංශයට පහර ගැසූ නායකයින්ටද එල්ල කළ බලවත් අතුල් පහරක් මෙන්විය. මේ එම කතුවැකියයි.


පිරුණු මිනිසකු ගැන ලියන්නට ලැබෙන්නේ ද රළු පරළු බස තබා මට සිලිටි වදනෙකින් මේ තීරුව සරසන්නට ලැබෙන්නේ ද කලාතුරකිනි. අපේ වරදක් නිසා නොව රටේ පිළිවෙළ නිසාය. කොල්වින් ආර්. ද සිල්වා සහෝදරයාගේ දේශපාලන ජීවිතයට පනස් විය පිරෙන මේ අවස්ථාවේ අපි ඒ දුලභ භාග්‍යය ලදිමු. ඒ, අද්විතීය ජන නායකයකු පිළිබඳ වර්ෂ පූර්ණයකදී ගුණ කථනයෙක යෙදීම චාරිත්‍රගත යුතුකමක් නිසා ම නොවේ. කොල්වින් සහෝදරයා ගැන ලිවීම අපට සතුටෙකි.


කොල්වින් ආර්. ද සිල්වා දේශපාලනයට පිවිසියේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ඇරඹි යුගයේ යි. ඒ වන විට අපේ රට බි්‍රතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් වශයෙන් ඉර නොබසින අධිරාජ්‍යයේ මහා රාජෝත්තමයාගේ නාමයෙන් පාලනය විය. එවක දේශපාලනය සලකනු ලැබූයේ අධිරාජ්‍යවාදීන්ගේ හා අධිරාජ්‍යගැති දේශීය අතළොස්සකගේ ජන්ම උරුමයක් හා වරප්‍රසාදයක් හැටියටය. ඉන් බැහැරියන්ට දේශපාලනයට පිවිසීම අවහිර කැරුණු අතර යටත් වැසියන් ලෙස ඔවුනට සියල්ල විඳ දරා ගැනීමට සිදු විය. පීඩක බමුණු කුලයට හාපුරා කියා සංවිධිත ප්‍රහාරයක් එල්ල වූයේ වික්‍රමසිංහ, ඇන්. ඇම්., පිලිප් ඇතුළු මධ්‍යම පන්තික උගත් බුද්ධිමත් තරුණ පිරිස ආරම්භ කළ ව්‍යාපාරයෙනි. ප්‍රතිගාමීත්වය බියෙන් සසල කළ හෙල්ලයක් බඳු විය.


ජීවත්ව සිටින මිනිසුන්ගේ ගුණ කියන විට ප්‍රවේශම් විය යුතු බව අත්දැකීම් ඇත්තෝ අපට කියති. සමාජ බලවේගයන්ගේ ගොදුර බවට පත්වන මිනිස්සු තම එකම කෙටි ජීවිත කාලය තුළදී නොයෙක් ජීවිත ගතකරති. ඇතැම්හු මියෙන්නට පෙර කිහිප වර මැරෙති. එබඳු සංකීර්ණ විෂම සමාජ පරිසරයක පුද්ගල ගුණකථනය සීරුවෙන් කළ යුතු බව ඇත්තයි. එහෙත් කොල්වින් මිනිසෙකි. එබැවින් අපි ඔහු ගැන ලියන්නට බිය නොවෙමු. ඔහුට කිසි දිනෙකවත් ජීවිත දෙකක් නොවීය. නවසිය තිස් ගණන්වල සිට මේ දක්වා ඔහු කෙරෙහි අපට දක්නට ලැබුණු එකම වෙනස ඔහු එදාට වඩා අද අත්දැකීම් රාශියක් කෙරෙන් පරිණත භාවයට පත්ව සිටීමයි.


අද මැයි 22 වැනිදා බොහෝ වීරයෝ සැමරෙති. කොල්වින් එහි ඇත්දැයි අපි නොදනිමු. මිනිස් අගයන් හා පුරුෂාර්ථයන් පරපුටු පංතියේ ආත්ම ලාභය සඳහා විකෘත කෙරුණු අවිචාර සමයෙක “මැණික්” යටවී “තිරුවාණා ගල්” මතුවීම ස්වභාවිකය. “වීරයා” යන්නෙහි අර්ථකථනය “දෙවියන් සතුටු කරන තැනැත්තා” යයිද “මහඟු ගුණ ඇත්තා” යයි ද යනුවෙන් නන් අයුරින් දැක්වේ. 


මහපොළොව මත වෙසෙන මිනිස් වර්ගයාගේ සේවයට ඇප කැපවී මානව විමුක්තිය අරබයා තම ජීවිතය වැය කළ මිනිසා පමණ වීර නාමයට හොබනා කෙනෙකු ගැන අපට නම් සිතිය නොහැකිය. එයට අසතුටු වන දෙවියකු සිටිය නොහැකිය. ඒ අතින් කොල්වින් සිය ජීවිතයෙන් වීරත්වය අන්වර්ථ කළ කෙනෙකි. ජනතාවට සේවය කිරීමේදී මූලික කරුණු දෙකක් නිවැරදිව අවබෝධ කරගත යුතුය. පළමුවැන්න ජනතා විමුක්තියට රැහැණි බලවේග බාධක හඳුනාගැනීමයි. දෙවැන්න ඒ සතුරු බලවේග නියත වශයෙන් පරාජය කොට බාධක ඉවත් කළ හැකි විද්‍යාත්මක විසඳුමක් තෝරා ගැනීමයි. ක්‍රියාත්මකවීම එයින් පසුවයි. මේ දෙකරුණේ එකක් හෝ පටලවා ගත්විට මහජනයා අවුලක හෙළීමට වැඩි යමක් කළ නොහැකිය. වයස විසිගණන්වලදී තරුණයෙකු වශයෙන් දේශපාලනයට පිවිසි කොල්වින් ජනතාවට සතුරු බලවේග වූ යටත් විජිත වාදයත්, ධන වාදයත් හඳුනාගෙන විසඳුම් මාර්ගය වශයෙන් මේ යුගයේ විමුත්කි දර්ශනය වන මාක්ස්වාදය ගුරුකොට ගත්තේය. හේ එදා ආරම්භ කළ කටයුත්තේ අදත් අධිෂ්ඨාන පූර්වකව යෙදී සිටී.


කොල්වින් ආදර්ශවත් නායකයෙකි. ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙකි. චතුර කථිකයෙකි. අති දක්ෂ නීතිවේදියෙකි. පරිණත බුද්ධිමතෙකි. සමාජ පරිණාමය පන්ති ඇසකින් දුටු විචාරශීලී ඉතිහාසඥයෙකි. ඒ සියල්ලටම වඩා මානව හිතවාදියෙකි. මහත්මයෙකි. සහෝදරයෙකි. වෙසෙස් වදන් රැසක් ලියන ලද නමුදු අප මෙහි ආපස්සට අදින්නට ලියූ එකද වචනයෙක් නැති. කොල්වින් වැනි මිනිසුන්ගේ අගය වඩාත් දැනෙන්නේ රේගු නිලධාරීන් ඉදිරිපිට සීරුවෙන් සිටිමින් රන් පොලු, ඔරලෝසු, කාන්තා යට ඇඳුම් ජාවාරම් ගැන නිවට දේශපාලනඥයන් සමාවට කරුණු කියමින් සිටින අද වැනි කාලයකය. ඇත්ත වශයෙන්ම කොල්වින්ලා වැනි වමේ නායකයන්ගේ ශ්‍රේෂ්ඨත්වය ජනතාවට වඩාත් පහසුවෙන් තේරුම්ගත හැකි යුගය මෙයයි. ආණ්ඩුවට, පොලීසියට විරුද්ධව කටක් අරින්නට බැරි වහල් යුගයක අධිරාජ්‍යවාදීන්ගේත්, දේශීය ඒජන්තලාගේත් කන් අඩි පුපුරවා හරිමින් ජනතාවගේ බිය සැක තුරන් කිරීමෙන් කළ සේවාවටත් වඩා එක් අතකින් කොල්වින් සිය පෞද්ගලික චරිතයෙන් රටට පෑ ජීවිතාදර්ශය අගනේය. අද එබඳු පුද්ගල ගුණ ඇති දේශපාලකයෝ අතිශයින්ම විරලය.


කුල භේද, වර්ග භේද, ජාති භේද යන මිනිසා පීඩනයට පත්කිරීමට යොදාගත් ගර්හිත සමාජ සංවිධාන පොඩි පට්ටම් කැර දැමීමේ ජීවිත පරිත්‍යාගයෙන් ව්‍යාවෘත වූ කොල්වින් සමස්ත සමාජය ආතුර කැරගත් ආර්ථික හා සමාජ පීඩනයට විරුද්ධව අභීතව සටන් කළ මහ සෙන්පතියෙකි. කොල්වින් වැනි නායකයන්ගේ ව්‍යායාමය අසාර්ථක වූ ලෙසින් දක්වන්නට බොහෝවිට ප්‍රයත්න දරනු ලැබූවත්, ඔවුන්ගේ ව්‍යාපාරයේ මල් පල දැනටමත් ඇස් පනාපිට දැක්ක හැකිය. “සමාජවාදයට” “සමාජ වදය” වශයෙන් නින්දා කළ පහත් මිනිසුන් අද තම ව්‍යවස්ථාව හැඳින්වීමට බොරුවට හෝ “සමාජවාදී” යන වචනය නොයොදා බැරි තැනට පත්කරන ලද්දේ කොල්වින්ලා නවසිය තිස් ගණන්වල ඇරැඹි ව්‍යාපාරය විසිනි. මේ රටේ ජාතික නිදහස, ආණ්ඩුක්‍රම විකාශනය, වැඩ කරන පන්තියේ අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදයේ හිමිකම් ආදී අද ජනතාව භුක්ති විඳින සියලු දේ මේ මිනිසුන්ගේ ව්‍යායාමයේ ප්‍රතිඵලයි. “නව වමක්” යැයි නන්නත්තාරේ යන පිරිස්වලට ගිරවුන් මෙන් කියවීමට හෝ හැකිකම ලැබුණේ කොල්වින් වැනි නායකයින්ට පින්සිද්ධ වන්නටය. කොල්වින්ලාගේ දේශපාලන ආයුෂෙන් හතරෙන් පංගුවක කාලයක් වත් සිටින ලකුණු නොමැති හෙයින් පැසුණු ගෙඩි ගසෙහි තිබියදී ඒ ගොබලු ගෙඩි අකාලයේ ගස් යට වැටී යනවා ඇත.

 


සමාජවාදී ලෝකය සමඟ පෙළගැසී තවත් ඉදිරියට යාමට කොල්වින් සහෝදරයාට අවස්ථාවත් ආයුෂත් ලැබේවායි අපි ඉත සිතින් පතමු.

 

 


ඊ. එල්. ජයන්ත ද සොයිසා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි