දහනව වැනි සියවසේ එළැඹි ලෝකමහා සංග්‍රාම දෙකෙන් මෙන්ම මැලේරියා වසංගතය ගංවතුර වැනි ස්වභාවික ව්‍යසන වලින්ද අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයෙන්ද බැට කා හෙම්බත් වී සිටි ශ්‍රී ලංකාවට 1963 දී යුද බිය පිළිබඳව තවත් අභියෝගයකට මුහුණ දෙන්නට සිදු විය. 1955 අප්‍රේල් මාසයේ බිහි වූ ආසියා අප්‍රිකා සහයෝගිතා එකමුතුවේ බලසම්පන්න රටවල් දෙකක් වූ චීනය හා ඉන්දියාව දේශසීමා අරගලයකට පැටලීම නිසා ආසියානු කලාපයම යුද බියෙන් ඇළලී ගියේය.

කොතරම් සාම යෝජනා ආවත් ඒ කිසිවකින් නොසැලුණු දෙරටේ නායකයෝ තම තමන්ගේ බලය පෙන්වීමට යුද අවි සංදර්ශන පවත්වමින් මාරාන්තික යුද්ධයකට අර අදිමින් සිටියෝය. ඇමෙරිකාව, බි්‍රතාන්‍යය වැනි බටහිර රටවල ග්‍රහණයෙන් මිදීමට පිඹුරුපත් සකසමින් තිබූ ශ්‍රී ලංකාව ඇතුළු තුන්වැනි ලෝකයේ රටවලට ඉන්දීය අසල්වැසියන්ගේ යුද අරමුණු හිසරදයක් විය.


“අපිට චීනයත් එක්ක දීර්ඝකාලීන යුද්ධයක් කරන්න සිදුවෙනවා. ඒක වළක්වන්න කොයි ජගතාටවත් බෑ.” ලෝකයේ සාම ව්‍යාපාරයේ නියමුවකු වූ ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු ගිගිරුවේය.


“ඉවසුවා හොඳටම ඇති දැන් යුද්ධයට කාලය ඇවිත් හොඳින් බැරිනම් නරකින් අපේ දේශය බේරා ගන්නවා. කාගෙවත් උපදෙස් අපට එපා චීන නායකයෝ පාරම් බෑහ. යුද්ධයෙන් සිදුවෙන අසීමිත ජීවිත හා දේපොළ විනාශය ගැන ඔවුන්ට ගාණවක්වත් නැති බව පෙනිණ.


රුසියන් - ජපන් යුද්ධය සමථයකට පත්කිරීම වෙනුවෙන් 1906 දී නොබෙල් සාම ත්‍යාගය ඇමෙරිකානු ජනපති තියඩෝරේ රුස්වෙල්ට් වෙත පිරිනැමිණි. ඉන්දියාව හා චීනය අතර යුද්ධයක් ඇවිළීම නිසා විනාශ වෙන භූමි ප්‍රමාණය මුළු හිමාල අඩවිය තරම් වේ. මේ නිසා විපතක් නැවැත්විය හැකි සාම නියෝජිතයාට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සුදුසු බවට මතයක් ගොඩනැගිණි.


1896 දී ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඞ් නොබෙල් තම බූදලය මනුෂ්‍ය වර්ගය උදෙසා උපරිම සේවයක් කරන පස්දෙනෙකු බැගින් තෝරාගෙන වාර්ෂිකව ත්‍යාගයන් ලෙස පිරිනැමිය යුතු යැයි ඉල්ලා සිටියේය.


ඒ සඳහා භෞතික විද්‍යා, රසායනික විද්‍යා, ඖෂධ ක්ෂේත්‍රය, සාහිත්‍ය මෙන්ම ලෝක සාමය යන අංශ සඳහා සුදුස්සන් තෝරා ගැනිණි.


ඉන්දු - චීන දේශසීමා අරගලය නිසා සිදුවෙන ඉමහත් විනාශය වළක්වා ගැනීමට මැදිහත් වෙන විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයාට ද එම සම්මානය හිමිවේ යැයි ආසියා - අප්‍රිකා රටවල් විශ්වාස කළේය.

 

 

මෙහි දී ඉන්දියාවේ මෙන්ම චීනයේ ද විශ්වාසය දිනූ ගෞරවනීය මෙන්ම අපක්‍ෂපාතී චරිතයත් පිළිබඳව කාගෙත් අවධානය යොමුවිණ.


ලොව පළමු අගමැතිනිය වූ සිරිමාවෝ මැතිනිය තම මිත්‍ර පාර්ශ්වයන් මුහුණ පා ඇති තීරණාත්මක වාතාවරණය ගැන මැනවින් අධ්‍යයනය කළාය. පිරිමින් පාලනය කරන රටවල් අතර ඇති ගොරෝසු, කඨෝර හා හිතුවක්කාරි දේශපාලන පිළිවෙත් වෙනුවට හුරු බුහුටි, නැවුම් හා සුහදශීලි ගති සිරිත් ඇති කාන්තා අගමැතිනියට සවන් දීමට අදාළ රාජ්‍ය නායකයෝ තීරණය කළහ. ඒ අනුව 1962 වසරේ දිනෙක ආසියා අප්‍රිකා රටවල තානාපතිවරුන් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් අරලියගහ මන්දිරයට කැඳවන ලදී.


අනතුරුව සාමය පිළිබඳ සාකච්ඡාවක් සඳහා කොළඹට පැමිණෙන ලෙස රාජ්‍ය නායකයන්ට ඇරයුම් යවන ලදී. 


මෙම ඇරයුම්පත් ලැබු වහාම ශ්‍රී ලංකාව වෙත ලොවම අවධානය යොමු විණි. කුඩා රටක් වෙතට ලෝක නායකයන් හරවා ගැනීම අති දුෂ්කර කාර්යයක් යැයි මුලින් සිතිණි එය වැරදි බව පෙන්වා දෙමින් පැය 24ක් ඇතුළත බුරුමයේ විප්ලවකාරී රාජ්‍ය නායක සෙන්පති නේ විං විදුලි පණිවුඩයක් එවී.


“කොළඹ සමුළුවට එන්න අපි සූදානම්.” මැතිනියගේ සතුට නිම්හිම් නැති විය. ලෝකය තමා සමඟ යැයි ඇයට සිතිණි.


ඊළඟට පණිවුඩය ආවේ කාම්බෝජයේ නායක සිහනුත් කුමරුගෙනි. “අපිත් සූදානම්”


එහෙත් ඝානා ජනපති නිකෲමා ද එක්සත් අරාබි ජනරජයේ ජනපති අබ්දුල් නසාර්ද දැක්වූයේ කුඩා ශ්‍රී ලංකාවේ නොව අක්රාහී හෝ කයිරෝවේදී රැස්වීම වඩා සුදුසු බවයි.


ඉන්දියාවේ ජනමාධ්‍ය ද පැවසුවේ කයිරෝවේදී රැස්වීම වඩාත් ඵලදායි බවයි. මේ ගැන දෙගිඩියාවෙන් සිටින්නට බණ්ඩාරනායක මැතිනියට සිදු වූයේ නැත. මිත්‍ර රටවලින් කොළඹ සමුළුවට එන බව දන්වා පණිවුඩ පිට පණිවුඩ ලැබෙන්නට විය.

 

 

 

මතු සම්බන්ධයි.


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි