කළු ජූලියේ අමතක කළ පැරණි කතා - 02

ප්‍රමාදය හේතුවෙන් කුතුහලයෙන් යුතුව සිද්ධිය දෙස බලා සිටින්නන්ගේ සංඛ්‍යාව විශාල වන්නට විය. අඳුර වැටෙත්ම සුදු ටී ෂර්ට් හා කොට කලිසම් හැඳි තරුණ පිරිසක් සෙනඟ පීරාගෙන විත් හදිසියේම මිහිදන් භූමියේ පෙනී සිටියහ. කනත්තේ කලබල කළ මේ තරුණයන් ජුනි මුල භාගයේ රජරට රයිෆල්ස් හමුදාවෙන් පැන ගිය හමුදාවෙන් ඉවත් කෙරුණු අය විය හැකි බව එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පවසන ලදී.
ලංකා වෙළඳ සේවක සංගමයේ වගකිව යුතු සාමාජිකයෙකුගේ ඇසින් දුටු සාක්ෂි මත සැකසුණු වාර්තාවක් අනුව එහි ප්‍රධාන ලේකම්වරයා විසින් 1983 අගෝස්තු 23 වැනිදා නිකුත් කරන ලද ප්‍රකාශයකින් පහත ඡේදයන් උපුටා ගන්නා ලදී.


“අපගේ සාමාජිකයාගේ ප්‍රකාශයට අනුව ඔහු මුලින්ම කනත්ත අසල පිහිටි ඒ. එෆ්. රේමන්ඞ් අවමංගල්‍ය ශාලාව වෙත ගොස් ඇත. ඔහු එහි ගියේ ජූලි 24 වැනි ඉරිදා දවාලේය. ඔහු එසේ ගොස් ඇත්තේ පොලිසිය විසින් තමාට දෙන ලද පණිවුඩයකට අනුවය. ඔහු පෙර දින රාත්‍රියේ යාපනයේදී මිය ගිය සොල්දාදුවෙකුගේ කිට්ටු ඥාතියෙකු වීම මීට හේතු විය. මියගිය සොල්දාදුවාගේ දේහය තම ගම් ප්‍රදේශය කරා ගෙන යනු හැකි බව පොලිසිය විසින් ඉරිදා මධ්‍යහ්නයේදී පමණ ඔහුට දන්වන ලදී. තවද ඔහුට සහ යාපනයේදී මරා දමන ලද අනෙකුත් සොල්දාදුවන්ගේ ඥාතීන්ට ද එදිනම සැන්දෑවේ කනත්තේ දී භූමදාන කරනු පිණිස සියලුම සිරුරු ගෙන එන බව පොලිසිය විසින් දැනුම් දෙනු ලැබීය.


ඒ අනුව ඔවුහු කනත්තට ගියහ. එහි විශාල ජනකායක් රැස්වී සිටියහ. මළ සිරුරු ගෙන එන තෙක් පැය කීපයක් බලා සිටි ඥාතීහු ඒවා කනත්තේ වළ දමනවාට විරෝධය දැක්වූහ. කනත්තේ වළ දැමීමට විරුද්ධත්වය දැක්වූ බොහෝදෙනා සොහොන් වළවල් වසා දැමීමට යාම නිසා ඔවුනුත් පොලිසියත් අතර ගැටුමක් හට ගත්තේය.


එදා රාත්‍රියේ තරමක් ප්‍රමාද වී ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු (ජෙනරාල් ආටිගල යැයි කියනු ලැබේ) ඥාතීන්ට හමුදා මූලස්ථානයෙන් මළ සිරුරු ලබාගෙන තම ගම් හෝ නගර කරා ගෙන යාමට අවසර දී ඇති බව නිවේදනය කර තිබිණි. ඉන්පසු අනෙකුත් ඥාතීන්ද සමඟ අපගේ සාමාජිකයා ද හමුදා මූලස්ථානය කරා හමුදා ට්‍රක් රථයකින් ගෙන යන ලදී. ජූලි 25 වැනිදා සඳුදා පාන්දර වන විට ඔවුහු තම මියගිය ඥාතීන්ගේ සිරුරු ලබාගෙන ඒවා භූමදානය කිරීම සඳහා තම ගම් කරා ගෙන ගියහ.


ඉරිදා රාත්‍රියේ බොරැල්ලේ හා අනෙකුත් තැන්වල දෙමළ ජාතිකයන්ට අයත් කඩවලට පහර දී ගිනි තබන ලද බව තමාට දැන ගැනීමට ලැබුණේ මධ්‍යම රාත්‍රියේ හමුදා මූලස්ථානයට ගිය විට යයි අපගේ සාමාජිකයා වාර්තා කළේය. හමුදා මූලස්ථානයට යන අතරමග දී බොරැල්ල හංදිය පැත්තෙන් ඔහුට හූ හඬක් ඇසිණි. තමා කනත්ත සුසාන භූමිය අසල හෝ ඒ තුළ සිටි පැය අටක කාලය පුරාම දෙමළ ජනයාගෙන් හෝ ඔවුන්ගේ දේපොළ වලින් පළි ගැනීමේ අදහසක් වූ බවට එහි රැස්ව සිටි පිරිසෙන් හෝ එහි රැස්ව සිටි පොලිස් හෝ හමුදා නිලධාරීන්ගෙන් හෝ කිසිදු ඉඟියක් පළ නොවූ බව ඔහුට හොඳටම විශ්වාසය, සුසාන භූමිය තුළදී ප්‍රකාශයට පත්වූ එකම කෝපය වූයේ මියගිය සොල්දාදුවන්ගේ සිරුරු කනත්තේ වළ දැමීමට අදහස් කරගෙන සිටීම පිළිබඳවය.


එමෙන්ම ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍යයන් තිදෙනෙකු විසින් කනත්තේදී ප්‍රබල කතා පැවැත්වූහ. සොල්දාදුවන් මිනීපෙට්ටි වලින් ආවේ දෙමළ ජනයා නිසා නොව ජේ. ආර්. ජයවර්ධනගේ ඒකාධිපති ආණ්ඩුව නිසා බව ඔවුහු සෙනඟට පැවසූහ. සෙනඟ ජයවර්ධනගේ නිවසට යොමු කිරීමට ශිෂ්‍යයන්ට උවමනා විය. සෙනඟ කනත්තෙන් පිටතට එන කල්හි ශිෂ්‍යයන් සිතුවේ ඔවුන් පාලනය වී ඇති බවකි. එහෙත් සෙනඟ කනත්තෙන් එළියට ආපසු තමන්ට තත්ත්වය පාලනය කරගත නොහැකි බව ශිෂ්‍යයන්ට අවබෝධ විය. ශිෂ්‍යයෝ එතැනින් ඉවත් වූහ.


මේ අනුව පැහැදිලි වන්නේ බොරැල්ලේ දෙමළ ජාතිකයන්ට පහරදීම ප්‍රධාන වශයෙන් කනත්තේ දී මුල්වී ක්‍රියාකාරී වූවන්ට පිටින් ආරම්භ වූවක් බවය.


1983 ජූලි 24 වනදින රාත්‍රියේ දෙමළ ජාතිකයන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා කොළඹ නගරය තුළින් පටන්ගත් අතර ඊළඟ දින කිහිපය තුළ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලටද එය ශීඝ්‍රයෙන් පැතිර ගියේය. මෙලෙස පැනනැගුණු ජාතිවාදී ගින්න සතියක් පුරාවට ශ්‍රී ලංකාවේ නන්විධ පළාත් වසාගෙන බුර බුරා ඇවිළුනේ ලෝකය හමුවට කළු දුම් වලාවක් එක්කරමිනි.


කොළඹ කේන්ද්‍ර කොටගෙන පවත්වාගෙන යනු ලැබූ දෙමළ සහ ඉන්දියානු දෙමළ ජාතික වෙළෙඳුන්ගේ ව්‍යාපාරික ස්ථාන සිය ගණන් ගිනිබත්වී තිබිණි. දිවයින පුරා ව්‍යාපාරික ස්ථාන, නිවාස සහ දේපල විනාශ කිරීම් මෙන්ම දෙමළ ජාතිකයන් මරා දැමීම්, පහරදීම් හා ස්ත්‍රී දූෂණ ද වාර්තා වෙමින් පැවතුණි. මෙම සිදුවීම් ජාලයේ බරපතළම සිදුවීම් වාර්තා වූයේ වැලිකඩ සිර ගෙදරිනි. ජූලි 25 වන දින සවස වැලිකඩ සිරගෙදර සිංහල සිරකරුවන් එහි දෙමළ සිරකරුවන් රඳවා සිටි කොටසේ ප්‍රධාන ගේට්ටුව විවෘත කර එයට ඇතුළු වන ලදී. එහිදී සිංහල සිරකරුවන් විසින් ප්‍රහාර එල්ල කර එහි රඳවා සිටිනු ලැබූ දෙමළ සිරකරුවන්ගෙන් 35 දෙනෙකු මරා දමන ලදී. මෙයින් බහුතරය වූයේ එවකට උතුරේ නැගී එමින් තිබූ සන්නද්ධ දේශපාලන කණ්ඩායම්වලට අයත්ව අත්අඩංගුවට ගෙන රඳවා තැබූ පුද්ගලයන්ය. පොලු වලින්, පිහිවලින්, සහ මොට්ට ආයුධ වලින් පහරදීම නිසා පළමු දිනයේදීම සිරකරුවන් 35ක් මිය ගිය අතර ඊට දින 2කට පසු ඊළඟ සිදුවීම සිදුවිය. එහිදීද දෙමළ සිරකරුවන් සිටින රැඳවුම් මැදිරිවලට කඩාවැදුණු සිංහල සිරකරුවන්ගේ පහර දීමෙන් දෙමළ සිරකරුවන් 12 දෙනෙකු ඝාතනයට ලක්විය. අවසානයේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී සිරකරුවන් සිය ගණනක් බරපතළ ලෙස තුවාල ලබා තිබිණි.


මෙයට සමාන ලෙස සිරගෙදර තාප්පයට පිටින් ලෝකයේ ඇවිළුණු ජාතිවාදී ගින්න මගින් දෙදහසකට ආසන්න ජීවිත ප්‍රමාණයක් දවා අළුකර තිබිණි. දෙමළ ජාතිකයන්ගේ දේපල කොල්ලකෑම හෝ ගිනිතබා වැනසීම සිදුවූයේ ඉතා සංවිධානාත්මකවය. කොළඹ අනාථ කඳවුරු 12ක සිටි දෙමළ අයගේ සංඛ්‍යාව 64,000 කි. ලංකාව පුරා 100,000 කට අධික දෙමළ ජනතාවක් අනාථයන් ලෙස අනාථ කඳවුරුවලට ගාල්වූ අතර අවසානයේ ඔවුන් යාපනය ප්‍රදේශයට ප්‍රවාහනය කරන ලදී.


දහස් ගණනක් දෙමළ ජනතාවට ජීවිත අහිමි කළ එම සංහාරයෙන් අනතුරුව ජූලි 28 වන දින ජනාධිපති ජයවර්ධන ජාතිය අමතා අපූරු ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු සඳහන් කළේ, එම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව තමන් අවංකවම කනගාටු වන බවයි. එහෙත් සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු නීතිමය පියවරක් ගැනෙන බවක් දකින්නට ලැබුණේ නැත. රටේ දේශපාලන ගැටලුවට විසඳුම් ලබාදෙනවා වෙනුවට එක් පසකින් දෙමළ ජාතිවාදය පෝෂණය කරමින්, අනික් පසින් නැති වෙමින් තිබූ වාමාංශික දේශපාලනය යටපත් කිරීමට ජයවර්ධන ආණ්ඩුව කටයුතු කරමින් සිටියේය. ඒ අනුව ජූලි 30 වන දින විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය තහනම් කළේය.


මේ සම්බන්ධයෙන් එවකට සිටි කැබිනට් ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා ප්‍රකාශ කළේ ජූලි කලබල හුදෙක් සිංහල දෙමළ කැරලිකෝලාහලයකට වඩා ගැඹුරු දේශපාලන කුමන්ත්‍රණයක් බවයි. යාපනයේ ජනතාවගේ හදවත බඳුවූ පුස්තකාලය ගිනිබත් කරමින්, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කරමින් ක්‍රමානුකූලව දෙමළ ජනයාගේ අයිතිවාසිකම් කප්පාදුව මෙරට දේශපාලන ඉතිහාසයට ගෙන ආවේ, අඳුරු කාල පරිච්ඡේදයකි.


තිස් වසරකට ආසන්න යුද්ධයකට රට රැගෙන ගියේ ද ඒවායේ ප්‍රතිඵලය. 2009 වසරේදී එකී සන්නද්ධ අරගලයට තිත තැබුව ද, ඊට අවශ්‍ය දේශපාලන විසඳුමක් ලබාදීමට අදටත් හැකි වී නැත. කළු ජූලියෙන් පසු වසර 35 ක් ගතවන මොහොතේත් සඳහන් කිරීමට ඇත්තේ ඉතිහාසයේ සිට හමා ආ ඒ අඳුරු වලාවන් අදටත් පහව ගොස් නැති බවය. දේශපාලන ප්‍රතිවිරෝධයන් මත ගොඩනැගෙන බලකාමය එදා සිට අද දක්වාත් හෙටත් සිදු කරන්නේ මිනිස් සංහාරයක්ම පමණක් බවට අවධාරණය කරගත යුතුය.

 

රාජන් හූල්ගේ ශ්‍රී ලංකාව බලයේ මහන්තත්වය නැමැති කෘතිය ඇසුරින් සකස් කරන ලදී.

 

 

 

 

එම්. තාරික්