දෙමළ හදවත ගිනි තැබූ බියකරු රැයක මතකය - 02

යාපනය පුස්තකාලය ආසියාවේ තිබූ හොඳම පුස්තකාලවලින් එකකි. ලන්ඩන් පුස්තකාලයේ තිබෙන පුස්තකාල පොත් එකතුව හැරුණු විට ඊළඟට හොඳම පුස්තකාල පොත් එකතුව යාපනය පුස්තකාලය සතු විය. ඒ සියල්ලම අළුවිය. යාපනය පුස්තකාලයට ගිනි තබන විට එහි තිබූ වටිනා පොත් සංඛ්‍යාව 97,000 කි. ගිනි තැබීමෙන් ගොඩනැගිල්ලට සිදු වූ හානිය රුපියල් ලක්ෂ 12 ක් බව නගර සභා කොමසාරිස් සිවඥානම් පොලිසියට දුන් කට උත්තරයේ සඳහන් විය. 

දෙමළ කවියෙකු වූ මයිල්වාගනම් පුලවර් ලියූ ‘යාල්පාන වෛවමාලෙයි’ නමැති පොතෙහි අත්පිටපතද, යාපනය ගොවිතැන් කටයුතු සඳහා ඕලන්ද පාලකයන් විසින් තමිල්නාඩුවේ සිට ගෙන්වන ලද ‘වන්නියාර්’ නමැති ප්‍රජාවගේ ඉතිහාසය ඇතුළත් ලේඛනවල මුල් පිටපත්ද, රොබට් නොක්ස් විසින් ලියන ලද ‘එදා හෙළ දිව’ ඉංග්‍රීසි පොතේ මුල් පිටපතද, පිලිප් බැල්දියස් විසින් 1700 දශකයේ ශ්‍රී ලංකාව ගැන ලියන ලද මුල් පිටපතද, 1686 දී මුද්‍රිත බයිබල් පිටපත ඇතුළු පැරණි ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක්ද, මීට අමතරව වසර සිය ගණනක් පැරණි පුස්කොල පොත්, ආයුර්වේද වෙදකම, පැරණි මන්ත්‍ර, සාහිත්‍ය, ඉතිහාසය ආදී වැදගත් කරුණු පිළිබඳව ලියවී ඇති පොත්ද, කොළඹ 07 පදිංචිව සිටි එකල කීර්තිමත් නීතිඥයෙකු වූ බාලකුමාර් කුලසිංහම් විසින් යාපනය පුස්තකාලය වෙත පරිත්‍යාග කරන ලද පොත්ද, පිලිස්සී විනාශයට පත්විය. ශ්‍රී ලංකා පුරාවිද්‍යා වංශ කථාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේද, පෞද්ගලික පුස්තකාලයේ පොත්වල නවාතැන වූයේද, යාපනය පුස්තකාලයයි. මේ ඓතිහාසික වැදගත්කමින් යුත් මිල කළ නොහැකි ලේඛන, පොත් පත් සියල්ලම විනාශ වී ගියේය.


මේ මහත් ව්‍යසනයෙන් පසු යාපනය පුස්තකාලය ප්‍රතිසංස්කරණය කිරීමට නගර සභාව තීරණය කළේය. ඒ අනුව ඉංජිනේරුවන්ගෙන් අදහස් විමසා සිටි අතර ගොඩනැගිල්ලේ ශක්තිය ගැන විශ්වාසයක් නොතිබුණු නිසා ඉංජිනේරුවරු එම අදහසට එරෙහි වූහ. ඉන්පසු නගරසභාව තීරණය කළේ දෙවන අදියරේ ඉදිකිරීම් ඇරඹීමටය.


පළමු අදියරේ වූ ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ එලෙසින්ම පවත්වා ගැනීමට තීරණය විය. ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 11 ක් පමණ විය. අරමුදල් රැස්කිරීමේ හා පොත් එකතු කිරීමේ ව්‍යාපාරයක් කොළඹ දී පැවැත්වීමට නගර සභාව තීරණය කළේය. ඒ අනුව මේ සඳහා පත්කරන ලද කමිටුව විසින් 1982 මැයි මස 15 දින සිට 21 දින දක්වා ‘යාපනය මහජන පුස්තකාල සතිය’ හා මැයි 21 කොඩි දිනයක්ද පැවැත්වීමට තීරණය කරන ලදී. මේ සඳහා ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය විසින් දැවැන්ත ප්‍රචාරයක් ලබා දෙන ලදී. පළමු දිනයේ පැයක් ඇතුළත රුපියල් 90,000 ක මුදලක් එකතු විය. ව්‍යාපාරිකයෝ සමාජ සේවා සංවිධාන, ආගමික සංවිධාන, මහජන නියෝජිතයෝ පැමිණ දහස් ගණන් වටිනා මුදල් හා පොත් පරිත්‍යාග කළහ.


එකතු වූ අරමුදල් යොදාගෙන දෙවන අදියරේ ඉදිකිරීම් 1982 ජුනි මාසයේ ආරම්භ විය. ඉදිකිරීම් අවසන් වූ නව ගොඩනැගිල්ල 1984 ජූනි 04 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අමිර්තලිංගම් විසින් විවෘත කරනු ලැබීය. එය කොටුවට සහ මනිපාර් කෝවිලට මුහුණලා ඉදිකර තිබිණි.


1985 වසරේදී යාපනය යුද බියෙන් ත්‍රස්තව ගියේය. අලුත් පුස්තකාලය වටා හමුදාවේ අප සහ කොටි වෙඩිතබා ගත්හ. බියපත් මිනිස්සු අලුත් පුස්තකාල ගොඩනැගිල්ලේ පදිංචි වූහ. වහා ක්‍රියාත්මක වූ යාපනය නගරසභාව පුස්තකාලයේ තිබූ සියලු පොත්පත් නාවලර් හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයට රැගෙන ගියේය. ෂෙල් වෙඩි හා රොකට් වෙඩි වරුසා නිසා අලුත් පුස්තකාලය සිදුරු විය. අවසානයේ යාපනය පුස්තකාලය නැවත වරක් විනාශ වී නටබුන් විය.


පසුකලෙක යුද්ධයෙන් හතිවැටුණු යුගයක නැවත වතාවක් යාපනය පුස්තකාලය යළි ගොඩනැගීම ආරම්භ විය. ඒ 1998 දීය. ඇතැම්විට ඒ වන විට අවුරුදු ගණනාවක් පුරා පසුකරමින් තිබූ යුද්ධයේ වේදනාවන් විසින් නැවතත් යාපනය පුස්තකාලය ගැන සිතන්නට මග පෑදුවා විය හැකිය. 2002 වසරේ ජනවාරි මාසය වන විට පුස්තකාලය සාදා නිමකරනු ලැබිණි. මෙය අළු මතින් නැගී සිටි ගොඩනැගිල්ලකි. එක් වරක් නොව දෙවරක්ම විනාශ වූ පුස්තකාලයකි.


අලුතින් ප්‍රතිසංස්කරණය වූ පුස්තකාලය අදවන විට පොත් 150,000 ක් ඉක්මවා දරාගෙන සිටී. දේශීය බුද්ධිමතුන් පමණක් නොව විදේශීය ලේඛකයෝ, විශ්ලේෂකයන්, පර්යේෂකයෝ, චිත්‍රපට අධ්‍යක්ෂකවරු දැනුම් පිපාසාව සංසිඳවා ගැනීමට පුස්තකාලය වෙත පියමනිති. යාපනයේ කොතෙක් ස්ථාන තිබුණද නවනීදන් පිල්ලේ, බි්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ආදී ප්‍රභූ අමුත්තන් සිය හමුවීම් උතුරේ පවත්වනු ලැබුවේ යාපනය පුස්තකාලයේදීය. ඒ යාපනය පුස්තකාලය යාපනයේ ලකුණ බැවිනි. ඒ කෙසේ වෙතත්, යාපනය පුස්තකාලයට ඇති පිළිගැනීම එදා මෙන්ම අදටත් එලෙසම පවතී.

 

 

 

එම්. තාරික්