අත අතට පත් ලේකම්වරු - 02

 

 

දේශපාලන පක්ෂයක් යනු කුමක්දැයි කිසිදු දේශපාලන විචාරකයකු නිශ්චිත අර්ථ නිරූපණයක් ලබාදී නැත. නොයෙක් දෙනා නොයෙක් මත ප්‍රකාශ කර තිබේ. එවැනි බටහිර විචාරකයකු වූ මොරිස් ඩුවේගර් ප්‍රකාශ කර ඇත්තේ, දේශපාලන පක්ෂය යනු එක්තරා දේශපාලන න්‍යායක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් බවයි. 


1760 තරම් ඈත කාලයකදී ඬේවිඞ් හියුම් නම් විචාරකයා ප්‍රකාශ කළේ පක්ෂයක වැඩපිළිවෙළ පක්ෂයක ආරම්භයේ සිටම වැදගත් වන බවයි. දෙවැනිව පක්ෂයේ වැඩපිළිවෙළ මුල්කරගෙන පක්ෂය වටා මිනිසුන් ඒකරාශී කළ හැකි බවයි. විසිරී සිටින ජනතා කොටස් ඒකරාශී කිරීමට ප්‍රයෝජනයට ගත හැකි බවයි. මෙසේ පක්ෂ සංවිධානයක් බිහිවන බව ද ඔහු විසින් පවසනු ලැබ ඇත. 


තවද එම ජනතා ඒකරාශිවීම පදනම් කරගෙන වේදිකාවක් නිර්මාණය වන අතර එම ක්‍රියාවලිය අනුව සටන්කාමීත්වය ගොඩනැගෙන්නේ යැයිද ප්‍රකාශ කළේය. මා අදහස් ගැන අප කුමන මතයක් දැරුවත් මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වූ 1947 සිට මේ දක්වා දශක හතක කාලපරාසයක් මුළුල්ලේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ බහු පක්ෂ ක්‍රමය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම තුළින් සහ එම භාවිතය නිසාම පක්ෂයක් යනු කුමක්දැයි යන්න පිළිබඳව ජනතාවගේ සිත් සතන්හි යම් අදහසක් ගැබ්ව පවතිනු නිසැකය. මෙවැනි පසුබිමක් තුළ මේ රටේ වැඩිම කාලයක් එනම් වසර හතළිහක කාලයක් රාජ්‍ය බලය දරන්නාවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් වූ අති දැවැන්ත පක්ෂයේ ගමන් මග පිළිබඳව විමර්ශනයක් කිරීම පහසු කටයුත්තක් නොවේ. මා මෙම කරුණු ගොනු කරනුයේ එම පක්ෂයට සමීපව ක්‍රියාකාරීව වසර පනහක පමණ අතීතයක අත්දැකීම් අනුව සහ එම කාලසීමාව තුළ ඇසූ දුටු හා කියවූ කරුණු අනුවය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන ලද අවස්ථාවේදී එහි නිර්මාතෘ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මෙසේ ප්‍රකාශ කළ බව සටහන්ව ඇත. “මට පෙර කථා කළ මහත්වරුන්ගේ ප්‍රකාශවලට අතිරේක වශයෙන් මේ අභිනව පක්ෂය ගැනද වචනයක් කිව යුතුය. අපේ පක්ෂය සමාජවාදී ප්‍රජාතන්ත්‍රීය පක්ෂයක් බව පළමුකොටම සඳහන් කළ යුතුය. සියල්ලන්ටම සාධාරණ වන අතර දුගීව වෙසෙන බහුතර මහජනකායට අපේ රටේ ජාතික ධනයෙන් දිය හැකි උසස්ම ජීවන තත්ත්වය සැලසීම අපේ පරමාර්ථය වන හෙයින් එය සමාජවාදී වන්නේය. අපේ පක්ෂය පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක ඒකාධිපති බලය නොඉවසන නියම මහජන පක්ෂයක් වන හෙයින් එය ප්‍රජාතන්ත්‍රීය වන්නේය.


ලංකාවේ නානා දෙසින් තමුන්නාන්සේලා මේසා විශාල ජනකායක් අද මෙහි රාශිභූත සිටීම අපට මහත් ධෛර්යයකි. එය අප ලංකා මාතාවට කරන්නට අදහස් කරන විශිෂ්ට සේවය පිළිබඳ සුබ නිමිත්තක් වශයෙන්ද අපි සලකන්නෙමු. අධිපති බලය, මුදල් බලය, හෙදය, අසත්‍ය ප්‍රචාර යන මේවා අපට විරුද්ධව ක්‍රියාවට නැගෙන්නට පුළුවන. මේ හැමෙකටම ප්‍රතිවිරුද්ධව මෙහෙයවා ජයගැනීමට අපට ද අසහාය ප්‍රබල අවියක් ඇත්තේය. ඒ වනාහී අපේ ජනතාවට අවංකව සේවය කිරීමේ ආශාව සහ අධිෂ්ඨානයයි. ඒ සේවයෙන් අපි සතුරන් ජය ගන්නෙමු.”


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමේ දී එහි නිර්මාතෘවරයාගේ අපේක්ෂාවන් සංක්ෂිප්තව දැක්වූයේ ඒ ආකාරයෙනි. එපමණක් නොව 1956 දී එම පක්ෂයේ නායකත්වයෙන් යුතුව ගොඩනගන ලද මහජන එක්සත් පෙරමුණ, රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසු සමාජයේ ඇති කරන ලද පෙරළිය හා එමගින් ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළ වූ බණ්ඩාරනායක චින්තනය එකල හඳුන්වන ලද්දේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය යනුවෙනි.
පක්ෂය ගොඩනැගීමේදී ලේකම්වරයා ලෙස පත්වූ බර්නාඞ් අළුවිහාරේ මහතා යම්කිසි හේතුවක් නිසා එක්සත් ජාතික පක්ෂයට එක් විය. 1952 මහා මැතිවරණයේදී ඔහු ශ්‍රීලනිපයෙන් තම බල ප්‍රදේශය වූ මාතලේ ආසනය දිනාගෙන සිටියේය. එවකට දඹුල්ල ආසනයේ පක්ෂයේ මන්ත්‍රීවරයා වූ එච්. බී. තැන්නේ මහතා ද කැඳවාගෙන අළුවිහාරේ මහතා එජාපයට සම්බන්ධවීම බණ්ඩාරනායක මහතා දැඩි අපහසුතාවට පත් කළ සිදුවීමක් විය. මැතිවරණය මුවවිටට පැමිණ තිබිය දී පක්ෂයේ ලේකම්වරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙකු වූ අළුවිහාරේ මහතා අහිමිවීම නිසා මාතලේ ආසනය ජයග්‍රහණය කළ හැකි ශක්තිමත් අපේක්ෂකයකු සෙවීමට ද සිදුවිය.
ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ සම ලේකම් ධූරයට ඊළඟට පත්වූවේ ජයවීර කුරුප්පු මහතා සහ ටී. බී. ඉලංගරත්න මහතාය. සිංහල මහා සභාව යුගයේ සිටම ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා සමග ඉතා සමීපව සම දේශපාලන මතවාදයක් දැරූ අයෙකු වශයෙන් ජයවීර කුරුප්පු මහතා ගැන සඳහන් කළ හැකිය. සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු ඩොනමෝර් ක්‍රමය යටතේ පිහිටුවන ලද රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා 1936 දී පැවති මැතිවරණයෙන් රත්නපුර ආසනය දිනා ගනිමින් ව්‍යවස්ථා දායකයට ඇතුළුවීමට ඒ මහතා සමත්විය. ලක්ෂපාන ජල විදුලි බලාගාරය තනා නිමවීමෙන් මෙරටට ජල විදුලිය හඳුන්වා දුන් කීර්තිමත් විදුලි ඉංජිනේරුවකු වූ හිටපු මන්ත්‍රීවර ඩී. ජේ. විමල සුරේන්ද්‍ර මහතා අතිවිශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජය කිරීමට කුරුප්පු මහතා සමත්වීමෙන් එතුමා මුල් අවධියේම එම ප්‍රදේශයේ ලබා තිබුණු ජනප්‍රියත්වය පැහැදිලි වේ.


බර්නාඞ් අළුවිහාරේ මහතා මෙන්ම පැරණි පරපුරකින් පැවතෙන ආ ජයවීර කුරුප්පු මහතා 1951.04.28 වැනි දින පැවති බළංගොඩ ආසනයේ අතුරු මැතිවරණයේ නව දහසකට ආසන්න විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු වශයෙන් පළමු පාර්ලිමේන්තුවට නැවත තේරී පත්වූවේය. එම යුගයේ දී සිංහල මහා සභාව, එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේ දී එයට ඒකාබද්ධ සංවිධානයක්ව පැවතුණි. එහෙත් 1951 වසරේ ජූලි මාසයේ දී ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විපක්ෂයට ගිය අවස්ථාවේ ජයවීර කුරුප්පු මහතා ද ඔහුට එක්වූවේය. 1956 මැතිවරණයේ දී මහජන එක්සත් පෙරමුණෙන් රත්නපුර ආසනය පහසුවෙන් ජයගත් එතුමා බණ්ඩාරනායක අගමැතිතුමාගේ රජයේ පළාත් පාලන සහ සංස්කෘතික අමාත්‍යධූරය ලැබ කටයුතු කළේය. දේශීය සංස්කෘතිය හා ජාතික උරුමය ආරක්ෂා කිරීම සඳහා සංස්කෘතික අමාත්‍යංශය පිහිටුවූ ප්‍රථම අවස්ථාව ද එය විය. එබැවින් මෙරට බිහි වූ ප්‍රථම සංස්කෘතික ඇමතිවරයා ලෙසද ජයවීර කුරුප්පු මහතා ඉතිහාසයට එක්ව ඇත. එතුමා 1951 සිට 1958 දක්වා ශ්‍රීලනිප ලේකම්ධූරය දැරුවේය.


ඒ මහතා සමග එක්ව එකම කාලසීමාවේ සම ලේකම් ධූරය දැරූ ශ්‍රීලනිප ක්‍රියාධරයා වන්නේ ටී. බී. ඉලංගරත්න මහතාය. රජයේ සේවකයකු වශයෙන් ක්‍රියා කරන අවධියේ තම සහෝදර වැඩ කරන ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මුල් තැනක් ගෙන ක්‍රියා කිරීමෙන් ප්‍රකට වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු බවට පත්වූ ටී. බී. ඉලංගරත්න මහතා ඒ ඔස්සේ දේශපාලන ක්ෂේත්‍රයට පිවිසියේය. එමගින් අඩසිය වසක් පමණ කාලයක් මුළු රට වෙනුවෙන් ඉටු කරන ලද කාර්යභාරය අති විශිෂ්ටය. විශේෂයෙන් තමා නියෝජනය කළ වැඩකරන ජනතාවටත් එසේම දේශීය ආර්ථිකයේ ප්‍රතිලාභ සමස්ත ජාතියට ද බෙදී යාම සඳහා කළ සේවය අනුස්මරණීය වේ. එතුමා විදේශීය හා වෙනත් ධනපති බලවේගයන් සමග ගැටෙමින්, රටට ආර්ථික ප්‍රතිලාභ අත්කර දෙමින් සටන් කළේය. පෞද්ගලික අංශයේ ඒකාධිකාරය යටතේ පැවති ආනයන වෙළෙඳාම රක්ෂණ ව්‍යාපාරය, නාවික ගමනාගමනය, තෙල් ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය ජනතා අයිතියට පත්කොටගෙන එහි ප්‍රතිලාභ මහා භාණ්ඩාගාරයට ලැබෙන ආකාරයෙන් කටයුතු යෙදුවේය. මේ කීර්තිමත් දේශපාලකයාගේ දේශපාලන දිවියේ තොරතුරු ලබන සතියට.

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ