මාගේ රජය කුලය හෝ ආගමික මතවාදය පදනම් කරගත් වෙනස්කම් නොඉවසන අතර, ඊට කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ”_ මේ අසල්වැසි ඉන්දියාවේ පහළොස් වැනි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රකාශයකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස හා නායකයෙකු ලෙස මෝදි මහතාට ඇති ස්ථානය ගැන ලොවක් කතා වන මොහොතක මෙවර දියත වෙන්වන්නේ ඔහු වෙනුවෙනි.


2014 වසරේ මැයි මාසයේ පැවති ඉන්දීය මහමැතිවරණයෙන් පළමුවරට බලයට පත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර ධර්මසාද් මෝදි මහතා ලෝකයේම අවධානයට ලක් වී ඇත. නරේන්ද්‍ර ධමෝදර්දාස් මෝදි (උපත 1950 සැප්තැම්බර් 17) ඉන්දියාවේ 14 වන අගමැතිවරයා ය. ඔහු 2014 මැයි 26 වැනිදා එම ධූරයට පත් විය. ඊට පෙර 2001 සිට 2014 තෙක් ඔහු ගුජරාටයේ මහ ඇමති ලෙස කටයුතු කළේය. භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයකු වන මෝදි වාරානසී හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වේ. එමෙන්ම ඔහු හින්දු ජාතිකවාදී රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සාංග් හි සාමාජිකයෙකි.


ගුජරාටයේ වද්නගර් හි උපත ලද මෝදිගේ පියා ධමෝදර්දාස් මුල්චාන්ද් මෝදි නම් වූ අතර මවගේ නම හිරාබෙන් ය. මෝදි කුඩා කල සිය පියාගේ තේ පැන් කඩයෙහි කටයුතුවලට හවුල් වූ අතර පසුව ඔහු ද තේ පැන් සලක් පවත්වාගෙන ගියේය. පාසල් අධ්‍යාපනය හමාර කරන සමයේ ඔහු නිවස හැර ගියේ කුඩාකල ඔහුට සූදානම් කර තිබූ විවාහයකින් ගැලවීමට බව සාමාන්‍ය පිළිගැනීම ය. ඔහුගේ බිරිඳ ජශෝදබෙන් නම් වන අතර ඔවුන් කිසි කලෙක එකට ජීවත් වූ බව සඳහන් නොවේ. මෝදිගේ විවාහය පිළිබඳ මෙම තොරතුරු අනාවරණය වූයේ ඔහු ජාතික මට්ටමේ දේශපාලකයකු වූ පසුව ය.


මෝදි 1975 - 77 හදිසි නීතිය සමයෙහි රහසිගතව දේශපාලන කටයුතු කළේය. පසුව ඔහු භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර එහි මහලේකම් ලෙස ද කලක් කටයුතු කළේය.


2001 වසර ඔහුගේ දේශපාලන දිවියේ සන්ධිස්ථානයක් විය. ගුජරාට මහ ඇමති කේශුභායි පටෙල් අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සිය තනතුරෙන් ඉල්ලා අස් විය. එම තනතුරට මෝදි පත් කිරීමට භාරතීය ජනතා පක්ෂය තීරණය කළේය. ඉන් සුළු කලකට පසු ඔහු ගුජරාටයේ ප්‍රාන්ත අසුනකට තරඟ කර ජයගෙන ප්‍රාන්ත සභාවේ සාමාජිකයකු බවට ද පත් වූයේය.


2002 ගුජරාටයේ මුස්ලිම් ජනයාට එල්ල වූ ප්‍රහාරවලට මෝදි සම්බන්ධ බවට දරුණු චෝදනාවක් මතු විය. මෝදි පාක්ෂිකයන් ප්‍රකාශ කරන්නේ භාරතීය ජනතා පක්ෂ සාමාජිකයන් එම අපරාධවලට සම්බන්ධ වූ නමුත් මෝදි ඊට සම්බන්ධ නොවූ බව ය. මේ අතර ඔහුගේ ඇතැම් විවේචකයන් ඔහුට චෝදනා නගන්නේ ඔහු ඊට කෙළින්ම සම්බන්ධ නොවූවත් තත්ත්වය පාලනය කිරීමට ක්‍රියා නොකළ බව ය. ගුජරාට ඝාතන පිළිබඳ කළු පැල්ලම මෝදි අගමැති බවට පත්වන තුරුම පැවතියේය. ඔහු මහ ඇමති සමයේ කිසිදු දිනෙක ඒ පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නේය.


මනි නගර් ඡන්ද කොට්ඨාසය නියෝජනය කරන මෝදි ඔහු ආ ගමන කටුකෙහොලින් පිරි එකකි. යෝගා ව්‍යායම්වලට මහත් උනන්දුවක් දක්වන, විලාසිතාවලට වැඩි මනාපයක් ඇති, නවීන තාක්ෂණය ගැන මනා දැනුමකින් හෙබි ඉන්දියාවේ අගමැතිවරයා වන 68 හැවිරිදි නරේන්ද්‍ර මෝදි අපූරු ජීවන රටාවකට උරුමකම් කියූ පුද්ගලයෙකි. එසේම තමන් වටේ සිටින දූෂීතයන් රකිනා ගමන් ඔහුට විරුද්ධ පක්ෂයන් හි දූෂිතයන් පාලනය නොකරන, අගමැති වූ පමණින් තම පවුලේ අයටවත් වරප්‍රසාද ලබා නොදුන් ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟම ඔහුගේ ජනප්‍රියත්වය මුළු ලෝකය පුරා පැතිර යන්නට විය. 2014 ජූනි මාසය වනවිට ඔහු කෙතරම් ජනප්‍රියත්වයට පත්වූයේ ද යත්, අනුගාමිකයන් මිලියන 18 ඉක්මවා තිබිණි.


ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසු මෝදි කරන කියන සෑම දෙයක් පිළිබඳව ම මහජන අවධානය යොමු විය. ඔහුගේ ඇඳුම් විලාසිතා, මෙන්ම ඔහු ආ දුෂ්කර ගමන් මඟ පිළිබඳ ජනතාව තොරතුරු විමසන්නට, එක්රැස් කරන්නට පටන් ගත්තේය. 


පළමුව විමසා බැලිය යුත්තේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස හා නායකයෙකු ලෙස මෝදි මහතාට ඇති ස්ථානය ගැනය. ඔහු සමස්ත භාරතයේ ජනප්‍රිය නායකයෙකු වන බව පැවැත් වූ ප්‍රාන්ත මැතිවරණවලින්ද, ප්‍රාදේශීය මැතිවරණවලින් ද හොඳ හැටි පෙනී යයි. මෝදි මහතා බලයට පත්වූයේ 2014 වසරේදීය. ගෙවී ගිය වසර තුනක කාලය තුළ ඔහු පිළිබඳව ජනතා විශ්වාසය හා පිළිගැනීම වර්ධනය වූවා මිස අඩු වූයේ නැත. විචාරකයන්ගේ මතයට අනුව ඔහු බොලිවුඞ් නළුවෙකුටත් වඩා ජනප්‍රිය වෙමින් සිටියි. මීට හේතුව මෝදි අනුගමනය කරන ජනතා හිතවාදී වැඩසටහන් යැයි කියන්නට පුළුවන.


දෙදහස් එක වසරේ සිට බටහිර ගුජරාටයේ මහ ඇමති වශයෙන් කටයුතු කළ මෝඩි, එම ප්‍රාන්තය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමට මුල් වූ ක්‍රියාශීලී මෙන්ම කාර්යක්ෂම නායකයෙකු ලෙස පිළිගැනීමක් ලබා ඇත. දහසක් පමණ ඉන්දීය මුස්ලිම් ජාතිකයන් මරා දැමුණූ දෙදහස් දෙක වසරේ ඇති වුණු ආගම්වාදී කැරලි කෝලාහල ව්‍යර්ථ කිරීමට උත්සාහ නොකළ බවට මොදිට එරෙහිව චෝදනා එල්ල වෙන නමුත් ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.


මෝඩි කෙරෙහි විශ්වාසය තබන භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් ඔහු දෙවියන් විසින් එවන ලද ගැලවුම්කරුවෙකු ලෙස හඳුන් වන ලබන අතර, මෝඩිට විරුද්ධ ජන කොටස් ඔහු සලකනු ලබන්නේ ඉන්දියාව තුළ ජීවත් වන විවිධ ජන කොට්ඨාස දරාගත නොහැකි මතභේදාත්මක චරිතයක් ලෙසටයි. මෝදි මහතා වරක් සිය අමාත්‍ය මණ්ඩලය අමතා කියා සිටියේ ජනතාවට වැඩ කරන්නට අවශ්‍ය අනුමැතිය ලැබෙන තෙක් බලා සිටින්නට එපා යන්නයි. තව වරක් ඔහු තම කැබිනට් මණ්ඩලයට කියා සිටියේ අප ජනතාවගේ සේවකයන් මිස ජනතාව අපේ සේවකයන් නොවන බවයි. ඉන්දියාවේ ප්‍රභූ දේශපාලනය දෙස බලන විට මේ කතා දෙකම විප්ලවකාරීය. තව අතකින් ජනහිතකාමීය. මෝදි කතාවට පමණක් සීමා වන නායකයෙක් නොවේ. ඔහු ඉන්දියාවේ දේශපාලකයන් අතර පවත්නා වි.අයි.පී. සංස්කෘතිය වෙනස් කරන්නට පියවර ගත්තේය. ඔහුගේ අදහස වන්නේ දේශපාලකයා ජනතාව සමඟ එකට සිටිය යුතු බවය.


මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව ලබාගෙන ඇති ජයග්‍රහණ අතිශය කල්පවතින ස්ථාවර ඒවා බව කිව යුතුය. ඔහු බිඳ වැටෙමින් තිබූ ආර්ථිකය යළි ශක්තිමත් කෙළේය. ආටෝප, සාටෝප වියදම් කපා හැරියේය. දූෂණයට හා වංචාවට තිත තබා මුදල් විශුද්ධිකරණයට එරෙහිව තද පියවර ගත්තේය. එය බොහෝ දෙනෙකුට රිදෙන දෙයක් වන්නේ වුව ආර්ථික කළමනාකරණය සඳහා එම තීරණය ගත යුතුව තිබිණි.
ලෝක මට්ටමින් ඉන්දියාවට ඇති පිළිගැනීම අප සිතනවාට වඩා බොහෝ ඉහළින් සටහන් වී ඇත. ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් දෙක චීනයට හා ඉන්දියාවට හිමිවන බව කියති. ඉදිරි දශකය තුළ ඉන්දීය ආර්ථිකය චීන ආර්ථිකය අබිබවා යන්නේ යැයි පුරෝකථනය වී ඇත. දැනටම ස්ථාවර ආර්ථිකයන් සහිතව ශීඝ්‍ර ලෙස ඉදිරියට යන රටවල් හය අතර ඉන්දියාව ද පවතී. මේ තත්ත්වයට අනුව ඉන්දියාව කලාපයේ නායකයා පමණක් නොව ලෝක නායකයෙකු වන බවද අමතක නොකළ යුතුය. ඉන්දියාව අභ්‍යාවකාශ තරණය අතින් පවා ඉදිරියට ගොස් තිබේ. ජි.සෙට් 09 වැඩසටහන යටතේ දකුණු ආසියාවට චන්ද්‍රිකා පහසුකම් ලබා දෙන්නට ද ඉන්දියාව සමත් වී ඇත.


විවිධ මත කොතරම් තිබුණද, කොයි අතින් බැලුවද ඉන්දියාව අපේ හිතවතා හා නායකයා වීම කාටවත් බැහැර කළ නොහැක්කකි. එසේම එය දේශපාලන යථාර්ථයකි. මේ අතර අගමැති මෝදි මහතා ශ්‍රී ලංකාවට දක්වන විශේෂ ළෙන්ගතුකම කිසිසේත්ම අමතක කළ නොහැකිය. 


මෝදි මහතාට ඇති සමානාත්මතාව හා සරලත්වය බොහෝ දෙනා අගයති. මෝදි මහතා ගෙන යන ප්‍රතිපත්තිවලට අනුව ප්‍රභූ පන්තියේ ව්‍යාජත්වයට පහර වැදෙයි. ජනතාව සමඟ එකට ජීවත් වෙමින් රට ගොඩනැගිය යුතුය යන්න මෝදි මහතාගේ අදහසය. ඔහුගේ ඇවතුම් පැවතුම් පවා අතිශයින්ම සරලය.


මෝදි දිනකට පැය දහසයක් දහ හතක් වැඩ කරන්නෙකි. ගුජරාට මහ ඇමති සමයේ ඔහු බොහෝ වැඩ කළේය. ගුජරාටය ඔහු යටතේ දියුණුවට පත් වූ අතර එහි දූෂණය ද අඩු කිරීමට මෝදි සමත් වූ බව සාමාන්‍ය පිළිගැනීම ය. එමෙන්ම නවීන තාක්ෂණය හඳුන්වා දීම, තොරතුරු තාක්ෂණට අනුබල දීම සහ ඒ ඔස්සේ රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම මෝදි අවධානය යොමු කළ කරුණු ය.


2014 මහ මැතිවරණය සඳහා භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස මෝදි පත් කරගනු ලැබුණේ අභ්‍යන්තර විරෝධය නැතිවම නොවේ. අකාර්යක්ෂම සහ දූෂිත කොන්ග්‍රස් පක්ෂ පාලනය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ ජනතාව භාරතීය ජනතා පක්ෂයට බහුතර බලයක් ලබා දුන්හ.


මෝදිගේ පාලනය යටතේ ඉන්දියාව නව ලිබරල්වාදී මාවතක ගමන් කරන්නට විය. ඔහු විදෙස් ආයෝජන සඳහා අනුබල දෙන ස්ථාවරයක සිටින අතර ඇමරිකාව සහ චීනය ආදී සියලු ප්‍රධාන රටවල් සමඟ වෙළෙඳ සබඳතා තර කර ගැනීමට යොමු විය. මේ අතර ඔහු ඉන්දියාවේ කාර්මික නිෂ්පාදන වැඩිදියුණු කිරීමට “මේක් ඉන් ඉන්දියා” නම් වැඩසටහනක් දියත් කළේය.


මේ අතර මෝදිගේ රජය සුබසාධන කටයුතු පිණිස කරන වියදම් අඩු කළේය. විශේෂයෙන් ම සෞඛ්‍යය ක්ෂේත්‍රයේ රාජ්‍ය අංශයේ දායකත්වය සීමා කර පෞද්ගලික අංශයේ දායකත්වය වැඩි කිරීම ඔහුගේ අභිලාෂය විය.
මෝදි විසින් සිදුකළ ආන්දෝලනාත්මක ම පියවරක් වූයේ රුපියල් 500 සහ 1000 මුදල් නෝට්ටු එක රැයින් අවලංගු කිරීම ය. 2016 නොවැම්බරයේදී මෙය ක්‍රියාවට නගන ලද්දේ කළු සල්ලිවලට එරෙහිව කෙරෙන සටනේ පියවරක් ලෙස ය. මෙම අවලංගු කිරීමත් සමඟ බැංකු ඉදිරිපිට සති ගණන් පෝලිම් දක්නට තිබුණි. මේ ආදී ලෙසින් මෝදි රජයට දරුණු විවේචනවලට මුහුණ දීමට සිදු විය. එය අනාගතයේදීත් තීරණය කරන්නේ ඉන්දීය ජනතාව බව මෝදි තරයේ සිතිය යුතුවේ.

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය : 
අන්තර්ජාලයෙනි.