1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.


 

1989 නොවැම්බරයේ දී රෝහණ විජේවීර සහෝදරයාත් උපතිස්ස ගමනායක සහෝදරයාත් ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන අත් අඩංගුවේදී මරා දැමීමත් සමග පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ පෑවේය. 1965 දී ඇරඹි එහි ඉතිහාසය තුළ ජ.වි.පෙ විටින් විට අර්බුද රැසකට මුහුණ දී තිබුණත් පක්ෂය මුහුණ දුන් අතිශය බරපතළම අර්බුදය හා පසුබෑම වූයේ, 1989 දී රෝහණ සහෝදරයා ඝාතනයට ලක්වීම සමග මතු වූ අර්බුදයයි.


රෝහණ විජේවීර සහෝදරයාත් උපතිස්ස ගමනායක සහෝදරයාත් ඝාතනය කරන ලද බව සැලවීමත් සමඟ පක්ෂයේ බොහෝ දෙනා මානසිකව ඇදවැටීමටත් අරගලය පිළිබඳ විශ්වාසය අත්හැරීමේ තත්ත්වයකටත් පත්වූහ. අත් අඩංගුවේ සිටි හා එම අසීරු දිනවල අත් අඩංගුවට පත්වූ සමහරු ජීවිත බේරා ගැනීම සඳහා සතුරා ඉදිරියේ දුර්වලයින් බවට පත්ව තොරතුරු හෙළිකරන තත්ත්වයටද පත්වූහ. මෙම බිඳවැටීම සිරගෙවල් තුළද යම් පමණකින් තිබිණි. එහෙත් ඉතාම දුෂ්කර මේ තත්ත්වය තුළ පවා විශ්වාසය හා අධිෂ්ඨානය දුර්වල කර නොගත් මෙම දුෂ්කර පැය ධෛර්යයෙන් පියමන් කිරීමට සූදානම් බොහෝ දෙනෙක් පක්ෂය තුළ සිටියහ. පක්ෂය රැකුණේත් යළි ගොඩ නැගීමට හැකිවූයේත් එවන් සැබෑ විප්ලවවාදීන්ගේ ධෛර්ය හා මැදිහත්වීම නිසාය.


1971 අරගලයේ පරාජය, 1983 පක්ෂ තහනම වැනි බරපතළ අර්බුදවලදී පක්ෂයට නායකත්වය සැපයූ හා පක්ෂයේ නිර්මාතෘවරයා වූ රෝහණ විජේවීර සහෝදරයා ඝාතනයට ලක්වීම නිසා නිර්මාණය වූ තත්ත්වය ඉතාම සුවිශේෂී එකක් විය. විජේවීර නොමැති ජනතා විමුක්ති පෙරමුණක් තිබිය නොහැකිය යන තරමට විජේවීර සහෝදරයාගේ නායකත්වය ජ.වි.පෙට හා බැඳී තිබුණි. එබැවින් 1989 පසුබෑම එතෙක් පක්‍ෂය මුහුණ දී තිබූ සියලු පසුබෑම්වලට වඩා විශාල විය. එහෙත් විජේවීර සහේදරයා නිර්මාණය කර තිබුණේ තමන් නැති තත්ත්වයක් තුළ වුවද විනාශ කළ නොහැකි හා නොනැවතී ඉදිරියට යන මිනිසුන්ගේ පක්ෂයක් නිසා ජ.වි.පෙ විනාශ කිරීම සඳහා වූ සතුරන්ගේ වුවමනාව ඔවුන්ට ඉටුකර ගත නොහැකි විය.


රෝහණ සහෝදරයා අහිමිවීමෙන් පසු පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ අනෙකුත් සහෝදරවරුන් පැවති තත්ත්වය අනුව අදහස් හුවමාරු කරගනිමින් පක්ෂය ඉදිරියට ගෙනයාම සඳහා පක්ෂයේ නායකත්වයට සමන් පියසිරි ප්‍රනාන්දු සහෝදරයා තෝරාගන්නා ලදී. ඒ අනුව සමන් පියසිරි සහෝදරයාගේ නායකත්වය යටතේ පක්ෂය සිය කටයුතු ඉදිරියට ගෙනයාමට තීරණය කොට ඒ සඳහා ක්‍රියාත්මක වුවද සමන් පියසිරි සහෝදරයා ඇතුළු ඉදිරිපෙළ සහෝදරවරු කීප දෙනෙක්ම අත්අඩංගුවට පත්ව ඝාතනයට ලක්වීම නිසා පක්ෂය යළි ගොඩනැගීමේ එම උත්සාහය ද අසාර්ථක විය.


රෝහණ සහෝදරයා ඝාතනය කර මසක් පිරුණු දින පක්ෂය විසින් රට පුරා විරෝධතාවයක් දියත් කරන ලදි. එය සැලකිය යුතු ප්‍රමාණයකින් සාර්ථක වුවද ආණ්ඩුව දියත් කරමින් තිබූ මර්දනය තුළ අත්අඩංගුවට පත්වීම් හා ඝාතනයට ලක්වීම් දිගටම සිදුවිය. මේ වන විට පක්ෂයේ බොහෝ රහස් හා තොරතුරු පුද්ගල නම්, සංවිධාන රටාවන් ආදී සියල්ල ආණ්ඩුවේ ආරක්ෂක අංශ අතට පත්ව තිබිණි. ඒවා ඔවුන් අතට පත්වූයේ ඔවුන්ගේ දක්ෂතා මත නොව පාවා දෙන්නන්ගේ හා දුර්වලයින්ගේ හෙළිදරව් කිරීම් නිසාය. මෙවැනි තත්ත්වයක් තුළ පියවරක් පසුපසට ගෙන සිදුව තිබූ තත්ත්වය විග්‍රහ කරගෙන සියලු උපක්‍රම වෙනස් කළ යුතුව තිබුණත් එය අවශ්‍ය පමණ කඩිනමින් ඉටුකර ගැනීමට පක්ෂයට නොහැකි විය. ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගනු ලැබ සිටියදී රෝහණ සහෝදරයා කළ ප්‍රකාශය තුළින් පවා ඔහු පක්ෂයට දුන් පණිවිඩය වූයේ ‘සියල්ල වෙනස් කරන්න’ යන්නය. එහෙත් එය කඩිනමින් ක්‍රියාවට නැගීමට අසමත් වීම නිසා සතුරා තම මර්දනය දිගටම ගෙන ගියේ පක්ෂයට තවත් හානි ගෙන දෙමින්ය.


1990 ජනවාරි ආරම්භය වන විටම සමන් පියසිරි සහෝදරයා අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. ඔහුගෙන් ප්‍රශ්න කරමින් ඔහුට මැරෙන තුරුම පහර දී තිබූ අතර සමන් සහෝදරයා එකදු වචනයක්වත් කටින් පිට නොකර සැබෑ වීරයෙකු සේ මරු වැලඳ ගත්තේය. එම දිනවලම දේශපාලන මණ්ඩල සභිකයකු වූ ලලිත් විජේරත්න සහෝදරයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ මරා දමනු ලැබීය. සමන් පියසිරි සහෝදරයා ඝාතනය වන විට පක්ෂයේ නායකත්වය පැවරී තිබුණේ ඔහුටය. 1990 ජනවාරි කාලයේදීම දේශපාලන මණ්ඩල සභිකයකු වූ ශාන්ත බණ්ඩාර සහෝදරයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ මත්තේගොඩ හමුදා කඳවුරේ දින ගණනාවක් රඳවාගෙන සිට වධදී මරා දමන ලදී. ශාන්ත බණ්ඩාර සහෝදරයාද ජීවිත පරිත්‍යාග කළේ, පක්ෂය පිළිබඳ එකදු වචනයක්වත් සතුරන්ට නොපවසා වීරයකු ලෙසය. මීට අමතරව දේශපාලන මණ්ඩලයේ සෝමවංශ අමරසිංහ සහෝදරයා හැර අනෙකුත් සියලු සහෝදරවරුන් සති කිහිපයක් තුළ අත්අඩංගුවට ගෙන මරා දැමීමට ආණ්ඩුව සමත්විය. ඒ සමඟ පක්ෂය පත්වූයේ ඉතාම බරපතළ තත්ත්වයකටය.
මෙම මර්දනකාරී හා ඝාතන ක්‍රියාවලියේදී සෝමවංශ අමරසිංහ සහෝදරයා පමණක් ජීවිතය බේරා ගැනීමට සමත් වූ අතර පැවති තත්ත්වයේ බරපතළකම තේරුම් ගෙන කටයුතු කළේය. සියලු තොරතුරු හා ස්ථාන සතුරා අතට පත්ව ඇති තත්ත්වය නිසාත් දුර්වලයින් ආරක්ෂක අංශ සමඟ සැරිසරමින් පක්‍ෂයේ ක්‍රියාධරයන් හා හිතවතුන් පවා පාවා දෙමින් සිටි නිසාත් ආරක්ෂාව සඳහා විදෙස් ගතවීමට සෝමවංශ අමරසිංහ සහෝදරයා සහ තවත් සහෝදරවරුන් තීරණය කළ අතර සෝමවංශ සහෝදරයා 1990 පෙබරවාරි - මාර්තු කාලයේ විදේශගත විය.


මේ අතර සෝමවංශ අමරසිංහ සහෝදරයා විදේශගතව සිටිමින් ලංකාවේ සහෝදරවරුන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට කටයුතු කළේය. ආරම්භයේදීම මොරටුවේ ජේ. ආර්. පීරිස් සහෝදරයාගේ නිවසේ ලිපිනයට ලිපි එවමින් ඒ හරහා ජිනදාස කිතුලගොඩ සහෝදරයා සමඟ සබඳතා ගොඩනඟා ගන්නා ලදී. ඒ අනුව යළිත් වරක් පක්ෂයේ ජීවතුන් අතර සිටි වගකීම් දැරු සහෝදරවරුන් අතර සම්බන්ධකම් ගොඩනගා ගනිමින් කිසියම් සංවිධානමය ස්වරූපයක් ඇතිකිරීමට ජිනදාස කිතුලගොඩ සහෝදරයා උත්සාහ කළේය. එහෙත් 1990 නොවැම්බරයේ කිතුලගොඩ සහෝදරයා අත් අඩංගුවට පත්වීමත් සමඟ පක්ෂය මධ්‍යගත කර ගැනීමේ එම උත්සාහයද බිඳ වැටිණි. ඒ සමගම පක්ෂ සංවිධාන මධ්‍යගතභාවයෙන් තොරව විසිරී යමින් තිබුණි.


1991 වන විට පක්ෂය පැවතියේ විසිරුණු පිරිස් ලෙසටය. සමහරු මර්දනය නිසා විදේශගතව සිටියෝය. සමහරු සිටියේ සිරගතවය. තවත් සමහර අය කුඩා කුඩා පිරිස් ලෙස වනගතව හෝ රට තුළ සැඟවී සිටියහ. විදේශගත වූ සෝමවංහ අමරසිංහ සහෝදරයා විදේශ ගත පිරිස අතර කිසියම් සම්බන්ධයක් ගොඩ නගා ගනිමින් ඉතා දුෂ්කර තත්ත්වයක් තුළ විදේශගත අය සංවිධාන රටාවක පවත්වාගන යාමට කටයුතු කළේය. මේ අනුව යුරෝපයේ, මැද පෙරදිග රටවල පක්ෂ සංවිධාන රටාවන් පිහිටුවා ගනිමින් තිබිණි. එසේම රට තුළ සිටි විවිධ කොටස් සමඟ වෙන වෙනමත් සිරගතව සිටි ටිල්වින් සහෝදරයා ඇතුළු තවත් අය සමඟත් සබඳතා පැවැත්වීය. මේ වන විට තිබූ සංකීර්ණ තත්ත්වය තුළ පාවා දෙන්නන් ඔත්තුකරුවන්, දුර්වලයන් හැම තැනකම සිටි බැවින් පක්ෂයේ ඉතිරිව ඇති මානව සම්පත මධ්‍යගත කිරීම අනතුරුදායක විය. 

 

ඒ නිසාම ඒවා පැවති ස්ථානවල, ප්‍රදේශවල වෙන වෙනම පවතින්නට ඉඩහැර ඒවා සමඟ වෙන වෙනම සම්බන්ධතා පවත්වාගෙන යාමට සිදුවිය. එම ක්‍රමය එහි විටපිටාව තුළ අනුගමනය කළ හැකිව තිබූ හොඳම ක්‍රමය විය.
මේ අතර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජ.වි.පෙ මර්දනය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ රන්ජන් විජේරත්න 1991 දී බෝම්බ පිපිරීමකින් මියගියේය. එසේම ජනාධිපතිව සිටි ප්‍රේමදාස 1993 මැයි 01 වැනිදා බෝම්බ ප්‍රහාරයකින් මිය ගියේය. මේ සමගම එ.ජා.ප ආණ්ඩුවේ මර්දන යාන්ත්‍රණය දුබල විය. ඒ නිසා දේශපාලන තත්ත්වයේ වෙනසක් ඇති විය. ප්‍රේමදාස ජනාධිපතිවරයා මියයාමත් සමඟ එවකට අගමැතිව සිටි ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ධූරයට පත්විය. ඔහු යටතේ මර්දන යාන්ත්‍රණය තවදුරටත් ලිහිල් වන්නට විය. එසේ වූයේ ජනතාව හදිසි නීතිය නොතකා හැර සිටි නිසාය. විශේෂයෙන්ම 1993 දකුණු පළාත් සභාව සඳහා පැවැති මැතිවරණයේදී ආණ්ඩුවට හදිසි නීතිය යොදාගෙන ඡන්දය ජයග්‍රහණය කිරීමට ජනතාව ඉඩ දුන්නේ නැත. එසේ හදිසි නීතිය නිෂ්ක්‍රීය කිරීම හරියටම හදිසි නීතිය නිල වශයෙන් ඉවත් කිරීම හා සමාන විය. ප්‍රසිද්ධ දේශපාලනයට යළි අවතීර්ණවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට බල කළේ හදිසි නීතිය නිල ලෙස ඉවත්කරන ලෙසය. ඒ තත්ත්වය පක්ෂය කරා ළඟා වී තිබුණි. එහෙත් මේ වන විට පක්ෂයේ ක්‍රියාකාරකම් ඉතාම පහළ මට්ටමක විය.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.