අවුරුදු විසි අටක් යනු පුද්ගලයෙකුගේ ජීවිතයෙන් දීර්ඝ කාලයක්. මා සිරගෙයි ගත කළ කාලය හැරෙන්නට 1936 සිට 1964 දක්වා පුරා අවුරුදු විසි අටක් ඇතුළත මේ ගරු සභාවේදී ඉදිරිපත් කරන ලද අයවැය කතාවලට විරුද්ධ පාර්ශ්වයේ ආසනයක සිට සවන්දීමේත් ඒ අයවැය කතාවල් තදින් නොපැකිළ විවේචනය කිරීමේත් භාග්‍යය මට ලැබුණා. අද මා සිටින්නේත් එවැනි විවේචනවලට භාජනය වන තැනකයි. එය කිසිවෙකුට ඊර්ෂ්‍යා කළ නොහැකි තැනක්. අතීතයේදී කළ කතාවලින් කොටස් විශාල වශයෙන් උපුටා දක්වමින් අද මට සමහරුන් සරදම් කරනවාට කිසිදු සැකයක් නැහැ. එය බලාපොරොත්තු විය යුතු දෙයක්. එසේම අතීතයේදී මා ඉදිරිපත් කළ තර්කම යළි මා වෙත එල්ල කරමින් අද මා ඉදිරිපත් කරන කරුණු බිඳ හෙළීමට සමහරුන් උත්සාහ කරනු ඇති බව මා දන්නවා. මේවා දේශපාලන පොරපිටියේදී බලාපොරොත්තු විය යුතු දේවල්. 


මෙය මේ පාර්ලිමේන්තු වාරයේ අවසන් අවුරුද්ද නොවී මුල් අවුරුද්ද වූවේ නම් මා කරන්නේ දීර්ඝ කාලීන දර්ශනයක් ඇති පස් අවුරුදු අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමයි. එහි මුදල් වෙන් කිරීම අවුරුද්දෙන් අවුරුද්දට කරන අතර එය කරනු ලබන්නේ අවුරුදු පතා අප කරන්නට බලාපොරොත්තු වන දේ හා අප කරනු ලබන වැඩ කොටස් සම්බන්ධයෙන් ලබන අවබෝධය අනුවයි.


මගේ අනාගතය කුමක්දැයි මට කියන්න බැහැ. ලබන අවුරුද්දේ මා මෙහි නොසිටියොත් මගේ තැන ගන්නා අයගෙන් එසේ කරන ලෙස මා ඉල්ලා සිටිනවා. සෞභාග්‍යය කරා ගමන් කිරීමට කෙටි පාරවල් නැහැ. යම් යම් මුදල් ඇමතිවරුන් හාස්කම් කරනු ඇතැයි සමහරු බලාපොරොත්තු වෙනවා. හාස්කම්වල යුගය දැන් අවසන්ව තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. ඇත්ත වශයෙන්ම දේශපාලනමය ආර්ථික කටයුතුවලදී කළ හැකි හාස්කමක් නැහැ. මා දන්නා එකම හාස්කම නිතිපතා වෙහෙස වී වැඩ කිරීම පමණයි. කොටින් කියතොත් සමාජවාදී හාස්කමත් එයයි. නැවතත් මේ රට ශක්තිමත් හා බලවත් රටක් බවට පත් කිරීමට නම් ජීවිතයේ නොයෙක් අවස්ථාවල ආර්ථික ක්‍රමයේ නානා අංශවල සිටින අප සියලු දෙනාම වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. වර්තමාන පරම්පරාවේත් අනාගත පරම්පරාවේත් යහපත උදෙසා නිරන්තරයෙන්ම ඇපකැපවී සේවය කළ යුතුයි.” 
ඉහත සඳහන් කළේ මෙරට බිහි වූ විශිෂ්ට ගණයේ මුදල් ඇමතිවරයකු සහ ආර්ථික විද්‍යාඥයකු ද වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා 1964 ජූලි 30 වැනිදා තම මංගල අයවැය ලේඛනය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරමින් පැවැත් වූ දීර්ඝ කතාවෙන් උපුටා ගත් කොටසකි. 


අපට මෙම පැරණි හැන්සාඞ් සටහන යළිත් මතකයට නගන්නට සිදුවූවේ ඉදිරි දිනවල තවත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පළ කෙරෙන නිසාය. වාර්ෂික අයවැය ලේඛනය යනු රාජ්‍යයේ මුදල් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ව්‍යවස්ථාදායකය වෙත මුදල් ඇමතිවරයා හෝ අදාළ බලධාරියෙකු විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවයි. අදාළ වර්ෂය තුළ රටේ ජාතික ආදායම සහ වියදම, ඉලක්ක ගත සැලසුම් සහ නිසැකවම සිදුවන ආදායම් වියදම් පරතරය පියවා ගන්නා ආකාරය මෙහි මූලික අංගවේ. අයවැය ලේඛනය මගින් යම් යම් සහන ලැබෙනු ඇතැයි ජනතාව මේ වන විට බොහෝ බලාපොරොත්තු සහිතව සිටින බව කවුරුත් දන්නා දෙයකි. එයට හේතුව වන්නේ මෙය මැතිවරණ වසරක් වීමයි. බඩු මිල අඩුකර, බදු බර සැහැල්ලු කර, වැටුප් වැඩිකර සහනදායි ජීවන තත්ත්වයක් ගත කිරීමට හැකි වාතාවරණයක් මංගල සමරවීර මුදල් ඇමතිවරයාගේ නව අයවැය මගින් උදාකෙරෙනු ඇතැයි රටවැසියෝ දෑස් දල්වාගෙන බලා සිටිති. එය එසේම වනු ඇතැයි යනු අපේ ද පැතුමයි. 


මෙරට දේශපාලන ඉතිහාසය සිහියට නගන විට පෙනී යන සත්‍යය වන්නේ අයවැය ඉදිරිපත් වන කාල වකවානුව බොහෝ පෙරළිකාරී සිදුවීම්වලට හේතු සාධක වී ඇති බවයි. එයට හේතුව වන්නේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා නිවැරදිව පැවසුවාක් මෙන්ම මුදල් ඇමතිවරුන්ට හාස්කම් දැක්වීමට අපහසු වීමයි. ඔවුන්ට කටයුතු කළ හැකි වන්නේ රටේ පවතින ආර්ථිකයේ අබල දුබලතාවන්ට සමගාමීවය. එහිදී විශ්වකර්ම වැඩ කළ නොහැකි බව ඇන්. ඇම්. පැවසීය.


එහෙත් පසුගිය මාස කීපය තුළ රජයේ සමහර බලවත්තු නිතර නිතර ප්‍රකාශ කළේ රැකියා ලැබෙන, සහන ලැබෙන, බඩු මිල අඩුවන, සමෘද්ධි සහනාධාරය පුළුල්වන සහ තවත් බොහෝ දේ ලැබෙන අයවැයක් ළඟ ළඟම එන බවකි. මුදල් ඇමතිවරයා පවතින යථාර්ථයට මුහුණ දිය යුතුය. මෙසේ කටයුතු කිරීමට යාම නිසා ඉතිහාසය පුරාම අර්බුද ඇති විය. අප මේ විමසන්නේ එම කටුක අත්දැකීම්වලින් බිඳකි.


බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබන විට ශ්‍රී ලංකාව විදේශයකට ශතයක්වත් ණය වී සිටියේ නැත. අපේ මුදල් තැන්පත්ව තිබුණේ ලන්ඩන් නුවර භාණ්ඩාගාරයේ පවත්වාගෙන ගිය රන් පවුම් (අපේ) ගිණුමේය. දෙවැනි ලෝක මහ සංග්‍රාමය අවසන් වන විට ශ්‍රී ලංකාව සතු බාහිර වත්කම රුපියල් දස ලක්ෂ 889 කි. එයින් රුපියල් 538,000,000 ක් පවුම්වලින්ද තවත් කොටසක් ඉන්දියානු රුපියල් වලින්ද අපේ රට වෙනුවෙන් බි්‍රතාන්‍ය සංචිතයේ තැන්පත්ව තිබුණි. යුද වියදම්. යුද්ධයේදී විනාශ වූ මහා මාර්ග, රාජ්‍ය දේපොළ, පාලම්, පාසල්, රෝහල් ආදිය ප්‍රතිසංස්කරණය ආදී කටයුතු සිදු කිරීමට විශාල මුදල් සම්භාරයක් බි්‍රතාන්‍යයට අවශ්‍යව තිබුණි. ඒ නිසා ලංකාව සතුව බි්‍රතාන්‍ය සංචිතයේ පැවති මුදල් තමනට ලබා දෙන ලෙස එරට ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. 1951 අයවැය අවස්ථාවේදී මෙරට ප්‍රථම මුදල් අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේය. ‘එංගලන්තය ණය ගැති විය. ශ්‍රී ලංකාවට පවා ණය ගැති විය. මේ සිදුවීම අපට බලපෑ අන්දම තක්සේරු කරනවා විනා එංගලන්තයේ එම මූල්‍යමය දුෂ්කර ක්‍රියා ගැන වැඩිපුරම විපරම් කිරීම අනවශ්‍යය. අප බි්‍රතාන්‍යයට ස්වේච්ඡාවෙන්ම රුපියල් 100,000,000 ක් ණය දී ඇත්තෙමු. එම මුදලටත් ඊට බි්‍රතාන්‍ය රජය වග කියන බවට සහතික වී ඇත. ඇත්ත වශයෙන්ම මෙම ණය දීර්ඝ කාලීනව පියවිය යුත්තකි” හිරු නොබසින අධිරාජ්‍යය යැයි විරුදාවලි ලබා සිටි බි්‍රතාන්‍යයට පවා කෝටි ගණනකින් ණය මුදල් ලබාදීමට තරම් ශ්‍රී ලංකාව සමෘදධිමත්ව සිටියේය. එහෙත් මේ වන විට බලවතුන්ගේ කියුම්වලින් අප වටහාගෙන සිටින්නේ මෙරට ජනතාව රුපියල් බිලියන හතරකටත් එහා ගිය ණය කන්දකින් යටව සිටින බවයි. මේවා ලබාගත්තේ ජනයා විසින් නොවේ. වරින් වර පත්වන රජයයන් විසිනි. පිටරටට ණය දීමට තරම් අපට ධනය ගලා ආවේ අපේ රටේ රබර් නිෂ්පාදන සඳහා විදේශයෙන් ලැබුණු විදේශ විනිමය මගිනි. එදා කොරියානු අර්ධද්වීපය පුරා පැතිර තිබුණු යුදමය තත්ත්වය හේතුවෙන් එරට රබර් නිෂ්පාදනය අඩාළව තිබුණි. එහි වාසිය අත්වූවේ ශ්‍රී ලංකාවටය. අප පාසල් අවධියේ ඉගෙන ගත්තේ මෙරට ප්‍රධානම අපනයන බෝග වන්නේ තේ, රබර් සහ  පොල් යනුවෙනි. එහෙත් අද තත්ත්වය එයට වඩා බොහෝ වෙනස්ය. රටේ ජනතාවගේ පරිභෝජනය සඳහා ද පොල් පිටරටින් ආනයනය කරන අවස්ථා බහුලය. බොහෝ ප්‍රදේශවල තිබුණු රබර් වගාවන් දරට කපා අවසන්ය. එම වතුද කැබලි කොට වෙන්දේසි කර ඇත. බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය සැලසූ රබර් කර්මාන්තය ගැන කිසිවෙකුගේ ඇස යොමුවන්නේ නැත.


අයවැය ගැන කතා කිරීමේදී 1953 අයවැය ලේඛනය නිසැකවම අපේ සිහියට නැගේ. 1920 දශකයෙන් පසු ලෝකයේ ඇතිවූ උග්‍රම ආර්ථික අර්බුදයක් ආහාර හිඟයක් ඇතිවූයේ එම වසරේය. අයවැය හිඟය පියවීමත් අසීරු විය. මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා එම ගැටලුවලට මුහුණ දුන්නේ සහල්, සීනි වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ දැමීමෙනි. තැපැල් ගාස්තු, දුම්රිය ගාස්තු ඉහළ ගියේය. මේ කටයුතු සියල්ල ජනතාවගේ දැඩි විරෝධයට හේතු වූ අතර විපක්ෂයේ නායකයෝ මැදිහත්ව මහා හර්තාලයක් සූදානම් කළහ. මෙම සිදුවීම නිසා රජය හදිසි නීති පනවා විරෝධතා ව්‍යාපාරය මැඩ පැවැත්වීම ආරක්ෂක හමුදාවලට පැවරීය. මෙම ගැටුම්වලදී නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙහි අවසාන ප්‍රතිඵලය වූවේ එවකට අගමැතිව සිටි ඩඞ්ලි සේනානායක මහතා සහ මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා ද ඉල්ලා අස්වීමයි. මෙම හර්තාල් විරෝධතා ව්‍යාපාරය නිසා එක්සත් ජාතික පක්ෂ රජයේ මූලික පදනම මුළුමනින්ම දෙදරා ගිය බව කියනු ලැබේ. 1956 මහා මැතිවරණයේදී ලැබූ පරාජයට මුලින්ම බලපෑවේ 1953 අයවැයෙන් ඇතිවූ දේශපාලන බලපෑම බව කියන්නෝද වෙති.


එක් දහස් නවසිය පනස් හයේදී එක්සත් බලවේගයක් ලෙස රජයට අභියෝග කරමින් පරාජය කළ වමේ ව්‍යාපාරයේ සමගිය 1960 වන විට බිඳවැටී තිබුණි. 1960 මාර්තු මැතිවරණය එළඹුණේ මෙවැනි පසුබිමක් පවතිද්දීය. ශ්‍රී.ල.නි.පය, ල.ස.ස., ම.එ.පෙ, කො.ප. ආදී පක්ෂ රාජ්‍ය බලය පතා එකිනෙකාට විරුද්ධව තරග වැද සිටියේය.


තවත් ප්‍රාදේශීය පක්‍ෂ රැසක්ද විය. ඡන්ද බෙදී යාම නිසා කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීම අසීරු විය. අවසානයේ වැඩි ආසන ගණන වූ මන්ත්‍රීවරු පනහකගෙන් සැදුම්ලත් ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු වූ එක්සත් ජාතික පක්ෂයට රජයක් පිහිටුවන ලෙස අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා ආරාධනා කළේය. මන්ත්‍රී ආසන 151 ක් පැවති පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිවීමේ තත්ත්වය මත රාජාසනයේ කතා, ස්තුති යෝජනාව පරාජය වීම නිසා එම රජය බිඳ වැටුණි. ඒ නිසාම මාස තුනක් තුළ තවත් මැතිවරණයක් එළඹීමට නියමිත විය. ඒ 1960 ජූලි 20 වැනිදාටය. 


රජය බිඳවැටී පාර්ලිමේන්තුව දින තිස් තුනක් ඇතුළත විසුරුවා හැර තිබුණ නිසා එම රජයේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොතිබුණි. එහෙත් ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගෙන සහන කීපයක් ලබාදීමට භාරකාර රජය කටයුතු කළ බව අපට මතකය. සහල් මිල අඩුකිරීම, මධ්‍ය විද්‍යාල සිසුන්ට නොමිලේ බස්රථවල ගමන් කිරීමට ඉඩ සැලසීම ආදිය ඉන් කීපයකි. එවකට මධ්‍ය විද්‍යාල සිසුවකු වූ මටද එම නොමිලේ ගමනාගමන පහසුකම ලැබුණි. එහෙත් ප්‍රතිවාදීහු එම සහන හැඳින්වූවේ ඡන්ද ගුණ්ඩු වශයෙනි. 1960 මැයි දිනයේ ප්‍රධාන සටන් පාඨයක් වූවේ ‘ලාබෙට දෙන හාල් හුණ්ඩු - යූ.ඇන්.පී ඡන්ද ගුණ්ඩු’ යන්නයි. රජයෙන් ලබා දෙන සුළු සහනයට වඩා ක්ෂණිකව පැන නගින දේශපාලන සාධක ප්‍රබල බව දක්වමින් 1960 ජූලි 20 වැනිදා මැතිවරණයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් පැවති ශ්‍රී.ල.නි.පය බහුතරයක් සහිතව පැහැදිලි ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි