විදුදයෙන් ජ’පුරට ගිය සටන් උරුමය - 02

 

මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් වූවේ පලන්නොරුවේ විමලධම්ම නාහිමි, බලගල්ලේ විමල බුද්ධි හිමි මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ඩී. පී. ජයසේකර යන විද්වතුන්ය. විද්‍යාලංකාර පිරිවෙණින් ද මෙවැනිම ප්‍රඥප්තියක් සම්පාදන කරන ලද අතර මේ දෙකෙහි සංකලනයක් වශයෙන් රජයේ ප්‍රතිපත්තිය සකස් කරන ලදී. විශ්ව විද්‍යාල දෙක පිහිටුවීමට අදාළ නීති කෙටුම්පත ද සම්පාදනය කිරීමෙන් අනතුරුව මෙම වැඩපිළිවෙළ පිළිබඳ පනත 1957 නොවැම්බර් 18 වැනිදා ඇමති මණ්ඩලයේ දී අනුමත විය. නොයෙකුත් බාධක හා අවලාද අපහාස, උපහාස ද මැද ඉදිරියට ගිය මෙම සුවිශාල කාර්්‍යභාරය සාර්ථක කරමින් 1959 සැප්තැම්බර් 17 වැනිදා සම්මත විය. 

එම විවාදයේදී පනත ඉදිරිපත් කරමින් කතා කළ අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක මහතා මෙසේ ප්‍රකාශ කළ බව හැන්සාඞ් වාර්තාවේ දැක්වේ. “ලංකා විද්‍යෝදය විශ්ව විද්‍යාලය සහ ලංකා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය පිහිටුවීම සඳහාත් පාලනය කිරීම සඳහන් විධිවිධාන සපයනු පිණිස ඉදිරිපත් කරන මේ කෙටුම්පත් පනත පසුගිය අවුරුදු 150 තුළ ඉදිරිපත් කර තිබෙන නීති රීතිවලින් ඉතාමත්ම වැදගත් නීති පනත යැයි කියන්නට පුළුවන්. අවුරුදු දෙදහසක ලංකා ශිෂ්ටාචාරය ගැන කල්පනා කරන විට එහි නොයෙකුත් තැන්වල වටිනා වස්තු සැඟවී තිබුණු බව සත්‍යයක්. මේ රටේ සැඟවී තිබුණු වටිනාම වස්තුවක් ලෙස පිරිවෙන් අධ්‍යාපනය හඳුන්වා දෙන්නට පුළුවන්. සිංහල භාෂාව රජයේ භාෂාව වශයෙන් පාවිච්චි කිරීමට නීති පැනවීමෙන් පමණක් වචනයෙන් පැවසීමෙන් පමණක් නොව පුළුවන් සෑම අන්දමකින්ම සිංහල භාෂාවට ධෛර්ය දෙන බව, රුකුල් දෙන බව සිංහල භාෂා පනත ඉදිරිපත් කළ අවස්ථාවේ දී ප්‍රකාශ කරන්නට යෙදුණා. සිංහල භාෂාව ආරක්ෂා කිරීමෙන් දියුණු කිරීමේ කාර්්‍යය සුදුසු ආයතනයකට භාර දිය යුතු බව අපට කල්පනා වුණා. මේ විධියට කල්පනා කිරීමේ දී අපට කවරෙකුගේ හෝ උදව් නැතිව මෙතුවක් කල් සිංහල භාෂාව රැකගෙන ආ පිරිවෙන්වලට මෙම කාර්ය සම්බන්ධයෙන් මුල් තැන දිය යුතු යැයි කියා කල්පනා වුණා. මෙම අදහස අනුව ගරු කතානායකතුමනි, විද්‍යෝදය පිරිවෙනට සහ විද්‍යාලංකාර පිරිවෙනට විශ්වවිද්‍යාල තත්ත්වය දීම පිළිබඳව පනත අද මෙම ගරු සභාවේ දී ඉදිරිපත් කරනවා.”
 
එවකට අග්‍රාණ්ඩුකාරවර සර් ඔලිවර් ගුණතිලක මහතාගේ අත්සන ලැබීමෙන් 1958 දෙසැම්බර් 19 වැනිදා අනුමැතිය ලැබූ 1958 අංක 43 දරන විද්‍යෝදය විශ්ව විද්‍යාලය සහ විද්‍යාලංකාර විශ්ව විද්‍යාල පනත නීතියක් බවට පත් විය. ඒ අනුව 1959 පෙබරවාරි 20 වැනිදා උදේ 6.05ට යෙදුණු ශුභ මොහොතින් විදුදය සරසවිය ආරම්භ වූවේය. ඒ නිමිත්තෙන් ලංකා ගුවන් විදුලියෙන් ප්‍රචාරය ඉදිරිපත් වූ වැඩසටහන අවසානයේ මෙම වාක්‍ය ඛණ්ඩය ද කවිය ද ඉදිරිපත් වූ බව කියනු ලැබේ. වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවගේත් දැන ගැනීම උදෙසා එය මෙසේ පළ කරන්නෙමි” හෙට ඉරිමා උදයේ හයට යෙදෙන සුබ මොහොතින් අකුරු කොට සමාරම්භක වන විද්‍යෝදය විශ්වවිද්‍යාලය පෙර දිග බෞද්ධ සංස්කෘතියේත්, ථෙරවාදි බෞද්ධ දර්ශනයේත් ප්‍රාචීන ශාස්ත්‍රයේත් අසමාන මධ්‍ය මණ්ඩලය බවට පත්වී සංවර්ධනයෙන් සංවර්ධනයට පත් වේවායි හෘදයංගමව ඉෂ්ටාශිංසනය කරම්හ. 
 
වැදුණොත් සුරබි සුරතුරු සුරමිණි ළඟට
සිදුවන ලෙසින් රිසි කැප දී සිසු වගට
විදුදය සරසවිය බැබළී යස රඟට
විදුමිණි පහන වේවා මුළු පෙර දිගට
 
මෙම සරසවිය ආරම්භ කිරීමේ මහෝත්සවය මල්වතු පාර්ශ්වයේ මහා නායකව වැඩ සිටි අති පූජ්‍ය පුරිජ්ජල සරණංකරාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙනේ සුමංගල ශාලාවේ දී පැවැත්වුණි. ආරම්භයේ දී සුදුසුකම් සපිරූ ශිෂ්‍යයන් හත් දෙනෙකුගෙන් මෙම සරසවිය ආරම්භ වූ බව පැරණි වාර්තාවන්හි දැක්වේ. මෙහි ලියාපදිංචි කරන ලද පළමු ශිෂ්‍යයා වීමේ ගෞරවය ලබනුයේ 1958 වසරේ පිරිවෙනෙහි දක්‍ෂතම ශිෂ්‍යයා වශයෙන් ශ්‍යාම රාජ ත්‍යාගය දිනා සිටි රත්මලේ ආනන්ද ස්වාමීන් වහන්සේය.
 
එදිනම සවස්වරුවේ අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක, අග්‍රාමාත්‍ය ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක ආදී ප්‍රභුන් රැසකගේ සහභාගිත්වයෙන් සරසවිය විවෘත කිරීමේ නිල උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණි. මෙහිදී කථා කළ අගමැති බණ්ඩාරනායක මහතා මෙසේ පැවසූ බව වාර්තා ගතව ඇත. “අතීතයේදී අපේ රටේ උසස් අධ්‍යාපනය සැලසුණේ පිරිවෙන් මගිනි. ලංකාව පරාධීන වීමෙන් පසු තම බලය තහවුරු කර ගනු පිණිස විදේශීය ආණ්ඩු කාළේ ඒ පිරිවෙන් අධ්‍යාපනය අබල දුබල කර දැමීමය.
 
මේ යුගයේ අපේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නිදහස් ලෙස දියුණු විය යුතුය.”
 
සරසවිය ආරම්භ වූවේ මාලිගාකන්දේ පිරිවෙන් භූමියේ එම ගොඩනැගිලිවලය. එනිසා පිරිවෙන් අධ්‍යාපනය සිදුකළේ නාලන්දා විද්‍යාලයේ ගොඩනැගිලිවල හවස් කාලයේය. සරසවිය පිරිවෙණේ කාමර අටක පවත්වනු ලැබුවේ සීමාසහිත ඉඩ කඩකය. එහෙයින්ම එය කාමරාට් යුනිවර්සිටිය යනුවෙන් සමහරු උපහාසයෙන් යුතුව පැවසූහ. කාමරාට් යනු ‘කාමර අට’ ලෙස ඔවුහු සැලකූහ. (එකල භාරතයේ කාම්රාජ් නමින් සරසවියක් ද තිබී ඇත)
 
නව සරසවියේ උප කුලපති වූ පූජ්‍ය වැලිවිටියේ සෝරත පඬි හිමියෝ මුල් දිනයේ සිටම එයට ස්ථිර ස්ථානයක් සොයා ගැනීමේ කාර්යයේ නියැළුනහ. කොළඹ නිදහස් චතුරශ්‍රයේ භූමියෙන් කොටසක් ඒ සඳහා එතුමෝ ඉල්ලා සිටියහ. එහෙත් එය පසුපසට ගියේය. සෝරත හිමියෝ තවදුරටත් උත්සාහ කළහ. එය ගංගොඩවිල වත්මන් සරසවි බිමට යාම පිළිබඳ විස්තරය අපූරු කතා පුවතකි. එය පැරණි ග්‍රන්ථයක සඳහන් වන්නේ මේ අයුරිනි. “සිය ප්‍රවෘජ්‍යාචාර්ය ගරු රත්මලානේ පියතිස්ස හිමියන් අපවත්වීම නිසා එවකට 17 හැවිරිදි වියේ සිටි මැදගොඩ සුමනතිස්ස නම් සාමණේරයන් වහන්සේට පැපිලියානේ සුනේත්‍රා දේවි නම් ඓතිහාසික විහාරස්ථානයහෙි අධිපති ධූරය භාරගන්නට සිදුවිය. මේ හේතුකොට ගෙන සිය අධ්‍යාපනය කඩාකප්පල් කර නොගත් සුමනතිස්ස හිමියෝ විද්‍යෝදය පිරිවෙනෙහි සිප් සතර හදාරා 1951 පිරිවෙන් අවසන් පරීක්‍ෂණයෙන් ද 1954 දී ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් ද සමත් වූහ. විද්‍යෝදය පිරිවෙනට විශ්ව විද්‍යාල තත්ත්වය ලැබීමත් සමඟ පූර්වෝක්ත සුදුසුකම් මත මධ්‍ය පරීක්‍ෂණයෙන් නිදහස් වූ උන්වහන්සේට විශේෂ ශාස්ත්‍රවේදී උපාධියට ලියාපදිංචි වීමේ වරම ලැබිණි. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ප්‍රාරම්භ ප්‍රථම ශිෂ්‍ය සංගමයෙහි සභාපතිවරයා වූවේ ද උන්වහන්සේය.
 
පැපිලියානේ සුනේත්‍රාදේවී විහාරස්ථානය වනාහී විශාල ඉඩකඩම් සමූහයක භාරකාරත්වය සහිත ස්ථානයකි. ක්‍රි.ව. 1454 දී හයවැනි පැරකුම්බා රජු විසින් සුනේත්‍රාදේවී නම් සිය මව් බිසවට පිං පිණිස ඉදිකරන ලද මේ විහාරස්ථානය ආශ්‍රිතව සුනේත්‍රා දේවි නම් සුප්‍රකට පිරිවෙනක් පැවති බවත් එයින් සිදුවූ විශාලතම ශාසනික හා ජාතික සේවාව නම් රටපුරා ඇති අධ්‍යාපන ආයතනවලට ධර්ම ග්‍රන්ථවලට පුස්කොළ පොත් සැපයීම ද වේ.
 
පුස්කොළ සැපයීමට අවශ්‍ය තල්ගොබ ලබා ගැනීම සඳහා තල් ගස් වගා කිරීමට අවශ්‍ය ඉඩකඩම් රාශියක් පැරකුම්බා රජු විසින් සුනේත්‍රාදේවි පිරිවෙනට පූජා කරන ලද බව පැපිලියාන ශිලා ලේඛනයෙහිත්, මහා වංශයෙහිත් රාජ රත්නායකරයෙහිත් සඳහන්ව ඇත. අක්කර 25ක් පමණ වූ මෙබදු එක් ඉඩමක් නුගේගොඩ විජයාරාම හන්දියට නුදුරු ගංගොඩවිල නම් ප්‍රදේශයේ පිහිටා තිබුණේය. අගනුවරට නුදුරු ශීඝ්‍රයෙන් දියුණුවෙමින් පවත්නා මෙම භූමි භාගය විද්‍යෝදය විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීමට යෝග්‍යතම ස්ථානය බව දූර දර්ශි නුවණින් යුත් සෝරත නාහිමියන්ට පෙනී ගියේය. භාග්‍යයකට මෙන් භූමියෙහි භාරකාරත්වය පැවරී තිබුණේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය හිමි නමකටය.
 
දෙවැනි ලෝක සංග්‍රාම අවධියෙහි රාජකීය ගුවන් හමුදා කඳවුරක් පවත්වාගෙන යාම සඳහා මෙම භූමි භාගය යොදාගෙන තිබුණේය. ඒ නිසා විජයාරාම මංසන්ධියේ සිට දිවෙන “ශ්‍රී සෝරත මාවත” එවක හැඳින්වූවේ කෑම්ප් රෝඞ් කියාය. ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද දැවැන්ත සන්නිවේදන කුලුනු ද ගොඩනැගිලි කීපයක් ද එහි විය. සෝරත හිමියන්ගේ ඇස ගැසෙන්නට පෙර රජයේ දෙපාර්තමේන්තු කීපයක් ද මේ භුමිය කෙරෙහි අවධානය යොමුකොට තිබුණි. එහෙත් සෝරත මාහිමියන්ගේ යෝජනාව ඉදිරිපත් වීමෙන් පසු තමන් වහන්සේ උගත් විශ්ව විද්‍යාලයට අධ්‍යාපන සේවාවකට එම භූමිය ලබාදීමට මැදගොඩ සුමනතිස්ස හිමියෝ අනුකූලතාව දැක් වූහ.”
 
විද්‍යෝදය විශ්ව විද්‍යාලය ගංගොඩවිල අද පවතින ස්ථානයේ ස්ථාපිත වූවේ ඒ ආකාරයෙනි. රටට ලොවට සහ දස දහස් සංඛ්‍යාත විද්‍යාර්ථීන්ට මහත් සෙවණක් වූ මෙම මහා සරසවිය ගොඩනැගීමට තම ශ්‍රමය හා දැනුම පුද කරමින් අප්‍රමාණ මෙහෙයක් සිදු කළ අති පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත මහා ස්වාමිපාදයන් වහන්සේ ගැනද කෙටියෙන් නමුදු යමක් සඳහන් කළ යුතුමය. එසේ නොවුවහොත් එය යුතුකම් කඩවීමක් වනු නිසැකය. ගාල්ල දිසාවේ ගිංගඟ ආසන්නයේ වැලිවිටිය නම් ගමේ විසූ දොන් ජොහාන්ස් කුමාරසිරි ජයවර්ධන වෙද මහතාට දාව එම පතිනිය වූ ගාල්ලේ උණවටුනේ මල්වත්ත වලව්වේ ඇලිස් අමරසිංහ හාමිනේගේ කුසින් 1877 මැයි 23 වැනිදා උපත ලැබූ පින්වත් දරුවාට නම් තබන ලද්දේ චන්ද්‍රදාස යනුවෙනි. පෙළපත් නාමය වශයෙන් ජයවර්ධන යන්න ද පියාගේ නමෙන් කුමාරසිරි කොටස ද ඇතුළත්ව චන්ද්‍රදාස කුමාරසිරි ජයවර්ධන යැයි සඳහන් විය. 1972 දෙසැම්බර් 15 වැනිදා වැලිවිටියේ සෝරත නමින් පැවිදි බවට පත් එතුමෝ ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා තිබුණි. කුඩා අවධියේ සිටම ඉගෙනුමට සමත් වූ මෙම කුඩා හිමියෝ සෑම විභාගයකින්ම පළමු ස්ථානය දිනා ගත්හ. 1917 වසරේ විසි වියට පා තබද්දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් කරනු ලැබූ උන්වහන්සේගේ ජයභූමිය වූයේ එම පූජනීය ස්ථානයයි. නොයෙකුත් සම්මාන, ස්වර්ණමුද්‍රිකා ආදිය දිනා ගනිමින් දීප්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් විද්‍යෝදයෙහි සිප් සතර හැදෑරූ උන් වහන්සේ 1932 දී එහිම ආචාර්ය මණ්ඩලයට තෝරා පත්කර ගන්නා ලදහ. පසුව ශිෂ්‍යත්වයක් ලැබ කල්කටා විශ්ව විද්‍යාලයේ දී අධ්‍යාපනය ලබා ශාස්ත්‍ර ගවේෂණයෙහි නියුක්ත වූහ. පිරිවෙනේ උප ප්‍රධාන ධූරයේ කටයුතු කරමින් සිටිය දී එවකට පරිවේනාධිපති ධූරය දැරූ අති පූජ්‍ය බද්දේගම සිරි පියරතන නාහිමියන් ගිලන් වූවෙන් එහි අධිපතිත්වය භාර ගැනීමට සිදුවිය. සරසවිය ආරම්භ කිරීමේ ප්‍රමුඛ කාර්්‍යභාරය දැරීමට උන්වහන්සේට අවස්ථාව ලැබුණේ ඒ අනුවය. එබදු මහානීය සේවයක් කළ එතුමන්ට 1963දී තම රටේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි සෝවියට් දේශයෙන් ලද ආරාධනාවක් අනුව 1963 ජූලි මාසය මුලදී එතුමෝ රුසියාවට වැඩියහ. ඒ වන විටත් උන්වහන්සේ උදරාබාධයකින් පෙළෙමින් සිටි බව කියනු ලැබේ. රුසියානු විශ්වවිද්‍යාලවල ක්‍රියා පටිපාටිය දැන කියාගෙන නව සරසවිය ඒ අයුරින් දියුණු කිරීමට තිබූ උනන්දුව නිසා තම අසනීප බව නොතකා රුසියාවට වැඩියහ. 
 
 
 
එහිදී රෝග තත්ත්වය උග්‍රවීමෙන් විදුදය සරසවියේ උප කුලපති වැලිවිටියේ සෝරත හිමියෝ ලංකාවට ආපසු වැඩම කර රෝහල් ගත වූහ. එහෙත් සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව ප්‍රකාශයට පත් කරමින් 1963 ජූලි 17 වැනි දින උන්වහන්සේ අපවත් වූහ.
 
මේ ගැන ශෝකය පළ කරනු වස් පූජ්‍ය ගණේගම සරණංකර හිමියෝ මෙසේ සටහන් කර ඇත. ලක් බුදු සසුන ඒකාලෝක කළ පහන නිවී ගියේය. ලක් බුදු සසුනේ නඹරේ දිලිසි දිලිසී තිබුණු පහන් තරුව නිවී ගියේය. ලකගනගේ ගෙල පැලදි රුවන් දමෙහි අග මිනිරුවන අතුරුදන් විය. ලක්දිව පඬිවරුන්ගේ අනූපම අද්විතීය පඬිවරයා නොපෙනී ගියේය. ලක්දිව මහා සංඝයා වහන්සේගේ නිල නොලත් සංඝරාජවරයා අපවත් විය. සිංහල ගත්කරුවන් අතර ශ්‍රේෂ්ඨතම ගත් කරුවා අභාවයට ගියේය. ලෝකයේ විශ්ව විද්‍යාලයාධිපතීන් අතර මුළු ජීවිතයම විශ්වවිද්‍යාලයට කැප කළ එකම උපකුලපතිවරයා නැති වී ගියේය. විද්‍යෝදය විශ්ව විද්‍යාලයාධිපති සාහිත්‍යසූරි, සාහිත්‍ය චක්‍රවර්ති පූජ්‍ය පණ්ඩිත වැලිවිටියේ සෝරතාභිධාන මාහිමිපාණන් වහන්සේ අපවත් වූ සේක.
 
පසු කලෙක විද්‍යෝදය නම් වූ කොටස ඉවත් කර ඒ වෙනුවට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයයි නම් කිරීමට බලධාරිහු කටයුතු කළහ. මේ වන තුරු භාවිත වනුයේ ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය යනුවෙනි. ව්‍යවහාරයට පහසුවන සේ ජ’පුර යනුවෙන්ද එම නාමය භාවිත වේ. 
 
මෙම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ සෝරත මාහිමියන්ගේ වදනකින්ම මෙම ලිපිය අවසන් කළ යුතුයැයි මම සිතමි. “විශ්ව විද්‍යාලයක් මහා සමුද්‍රයට සමාන කළ හැකිය. එයට නොයෙක් දිගින් ගංගාවෝ ගලා බසී. ඒවා සමූද්‍රයට වන් විට වෙන් වෙන්ව තිබුණු නම් අතුරුදන් වී එකම සමුද්‍ර නාමයෙන් හඳුන්වනු ලැබේ. එසේම නොයෙක් අධ්‍යාපන ආයතනවල නොයෙක් ආචාර්යවරුන්ගෙන් උගත් නානාවිධ අදහස් වලින් යුත් නානවිධ පරිසරයන්හි වැඩුණු ශිෂ්‍ය පිරිසක් විශ්ව විද්‍යාලයට ඇතුළුව එකම විශ්ව විද්‍යාලයක ශිෂ්‍ය භාවයට පත්වෙති. සමුද්‍රය පුළුල්ය. පැතිරී ගොස්ය. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ බුද්ධිය හා අදහස් ද පුළුල් විය යුතුය. සමූද්‍රය ගැඹුරුය එමෙන්ම අපේ ශිෂ්‍යයන්ගේ බුද්ධිය ද ගැඹුරු විය යුතුය. සමුද්‍රයෙහි ඇත්තේ එකම රසයකි. ඒ ලුනු රසයයි. එසේම විශ්ව විද්‍යාල සිසුන්ගේ පරමාර්ථය ද එකක් විය යුතුය. එනම් රටට යෝග්‍ය රටට ගැළපෙන රටට ප්‍රයෝජනවත් පුරවැසියන් වීමයි. මෙම විශ්ව විද්‍යාලයෙන් පොතේ ගුරුන් පිරිසක් බිහිවේවායි බලාපොරොත්තු නොවෙමු. කියන දේ එසේම පිළිගන්නා විවේචනයට අකමැති පිරිසක් බලාපොරොත්තු නොවෙමු. ඇති අගුණ වසාගෙන, නැති රුව ගුණ පෙන්වන කුහකයන් පිරිසක් බලාපොරොත්තු නොවෙමු. නැවෙන් ගොඩ බැසූ හැටියේ විදේශීය භාණ්ඩ මෙන් මේ රටට අමුතු වූ මෙහි සභ්‍යත්වය නොදන්නා කෘත්‍රිම රූකඩයන් පිරිසක් බලාපොරොත්තු නොවෙමු. විනෝද නොවන බර කල්පනාවෙන් යුතු තාපස පිරිසක් බලාපොරොත්තු නොවෙමු. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් විනෝද විය යුතුයි. විවේචනශිලි අය විය යුතුය. ගවේෂණශීලි විය යුතුය. එහෙත් ඒ හැම තැනම සත්‍ය ගරුක විය යුතුය. යුක්ති ගරුක විය යුතුය. බුද්ධිමත් විය යුතුය. ශිෂ්ට විය යුතුය. සහය විය යුතුය සීමාන්තික නොවිය යුතුය.
 
ඉහත සඳහන් වූවේ ජ’පුර සරසවි නිර්මාතෘ වැලිවිටියේ සෝරත මාහිමියන් පැතූ සරසවි ලෝකයයි. එම පැතුම ඉටුවේවා.
 
 
 
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි