1960 මාර්තු සහ ජූලි 1965 සහ 1970 යන වර්ෂවල පැවැති මහ මැතිවරණ හතරකින් කලාවැව අසුන ජයගෙන සිටි ආර්. බී. රත්නමලල මහතා 1974 වසරේ අවසාන කාර්තුවේදී අසනීප තත්ත්වයක් මත මිය ගියේය. එකල පැවැති මැතිවරණ නීතියට අනුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීම පිණිස අතුරු මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට සිදුවිය.


ඒ සඳහා සුදුසු අපේක්‍ෂකයකු තෝරා ගැනීම පිණිස එවකට පැවැති ආණ්ඩු පක්‍ෂය වූ සමගි පෙරමුණු සන්ධානය ශ්‍රීලනිපයේ රජරට නායකයා වූ මෛත්‍රීපාල සේනානායක ඇමැතිවරයා ගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා කමිටුවක් පත්කර තිබුණේය.


‘මෛත්‍රී මේ කාලෙ හැටියට අපට ටිකක් අවාසියි වගේ. ඒ නිසා ආසනය දිනන්න පුළුවන් සුදුසුම කෙනා තෝරා ගන්නයි. එම නාම යෝජනා මණ්ඩලය අරලියගහ මන්දිරයට කැඳවූ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය එම කමිටුවේ සියලුම සාමාජිකයන් වෙත අවධාරණය කළේ මොනම බලවේගයකටවත් යට නොවී ඉහළම සුදුසුකම් ඇති පුද්ගලයා පමණක් තෝරා ගන්නා ලෙසය.


එතුමිය මෛත්‍රීපාල සේනානායක ඇමැතිවරයා ඇතුළු නාම යෝජනා මණ්ඩලයට එලෙසට උපදෙස් දී තිබුණේ එවකට මෙරට සිටි නිල නොවන මට්ටමේ මහ බලවතෙකු වූ තම පුත්‍රයා කලාවැව අසුන කෙරෙහි ඇසගසා ගෙන සිටිතැයි රාවයක් පැතිරෙමින් තිබූ බැවිනි. අභිනවයෙන් පිහිටුවා තිබූ ශ්‍රී ලංකා නිදහස් තරුණ සම්මේලනයේ යාවජීව සභාපතිවරයා මෙන්ම ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ගරු උපදේශකවරයෙකු වූ අනුර බණ්ඩාරනායකට ඒ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වීමේ සිහිනයක් පැවැති අතර ඒ සඳහා සුදුසු අවස්ථාවක් එළඹෙනතුරු ඔහු ඇඟිලි ගනිමින් සිටියේය.


මේ අතර කලාවැවට අතුරු මැතිවරණයක් ප්‍රකාශයට පත්වීම ඔහුට සිතුණේ ඒ සඳහා කදිම අවස්ථාවක් වශයෙනි. එහෙත් අනුර මේ ගැන තම මව සමග හෝ පක්‍ෂයේ වෙනත් ප්‍රබලයෙකු සමග හෝ කතා නොකළේය. 


එසේ වුවද ඔහු තම සමීප මිතුරන් සමග ඒ ගැන ඉඟි පළකර තිබුණේය. එලෙස අනුරගේ අදහස දැනගත් එක් මිත්‍රයෙකු තම සගයා ගේ එම අදහස ගැන එජාප නායක ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කනේ තබා තිබුණේ ඔහු ඒ පිළිබඳව දක්වන ප්‍රතිචාරය ගැන දැනගැනීම පිණිසය.


“ආ... අනුර දැන් ඉඳලම දේශපාලනේට එන එක ලොකු දෙයක්නේ. කොටින්ම එයා කලාවැවට කන්ටෙස්ට් කරනවා නම් අපේ පක්ෂයෙන් අපි කවුරුවත් නොදා ඉන්නං!”
එම අලුත්ම ආරංචිය ගැන ඇසූ එජාප නායකයා ගත් කටටම එසේ කීවේ එක්තරා යටි අරමුණක් සිත තුළ සඟවා ගෙනය. අනුර තරමක කලබලකාරයෙකු බවත්, ඔහු යම් විදියකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත් වුවහොත් ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් සමග ගැටුම් ඇති කර ගන්නා බවත් හෙතෙම දැන සිටියේය. ඒ අනුව ජේ. ආර්. ට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තු අසුනක් තම පක්‍ෂයට අහිමි කර ගෙන හෝ ආණ්ඩුව තුළ ගැටුමක් නිර්මාණය කිරීමටය.


ජේ. ආර්. ජයවර්ධන මහතා ඒ ගැන තම සමීප මිත්‍රයන් සහ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් සමගද සාකච්ඡා කළේ මේක නම් කියලවත් කර ගන්න බැරි වැඩක්...’ යි කියමිනි. එහෙත් ප්‍රදේශයේ එජාප පාක්ෂිකයන්ගේ අදහස වූයේ ඒ වන විට වසර විස්සකටත් වැඩි කාලයක් එජාපයට අහිමිවී තිබූ කලාවැව මෙවර කෙසේ හෝ තම පක්‍ෂයට ලබාගත යුතු බවය.


එජාප නායක ජේ. ආර්. තමන්ගේ මතය හැර වෙනත් අයගේ අදහස්වලට ගරු නොකරන කෙනෙකු වූයෙන් පක්‍ෂයේ පහළ මට්ටමේ සාමාජිකයන්ගේ මත හෙතෙම නොයිවසුවේය. එවිට ඔහු කළේ “මං මේක හොඳට හිතල මතල ගත්ත තීරණයක්. යම් කෙනෙකුට පක්‍ෂයේ මතය පිළිගන්න බැරිනං ඒ අයට පුළුවන් පක්ෂයෙන් එළියට යන්න.” යි කියමින් එවකට වවුල්දොර දෙසට ඇඟිල්ල දිගු කිරීමය.


කෙසේ වෙතත් කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ දී රැස්වූ කලාවැව නාම යෝජනා මණ්ඩලයට අනුරගේ නම ඉදිරිපත් වී නොතිබිණි. ඒ අනුව බොහෝ වාදවිවාද සහ හැලහැප්පීම් මැද කලාවැව අතුරු මැතිවරණයට සමගි පෙරමුණ සන්ධානයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂකයා ලෙස තෝරා ගැනුණේ එහි හිටපු මන්ත්‍රීවරයාගේ පුත්‍රයෙකු වන ඩී. බී. රත්නමලල ය.


එම තීරණය ගැන ඇසූ අනුර නාමයෝජනා මණ්ඩලයේ සභාපතිවරයා වූ මෛත්‍රීපාල සේනානායක මහතාටද දොස් කීවේය. එම අවස්ථාවේදී පවා තමන් කලා වැව ආසනයට තරග කිරීමට බලාපොරොත්තුවූ බව ප්‍රකාශ කිරීමෙන් ද හෙතෙම වැළකී සිටියේය. ඩී. බී. ලට වඩා සුදුසු අය තව කොච්චර ඉන්නවාද? යි ඇසූ අනුර දැඩි ලෙසම කියා සිටියේ නාම යෝජනා මණ්ඩලයේ තීරණය ගැන යළි සලකා බැලිය යුතු බවය. 


මේ අතර ඇතැම් ඇමතිවරු ද අනුර වැනි කෙනෙකු කලා වැව අසුන සඳහා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව සහ වැදගත්කම ගැන හුවා දක්වමින් ප්‍රසිද්ධියේ කතා කිරීමට පටන් ගෙන තිබුණා. අධ්‍යාපන ඇමැති අල්හාජ් බද්උද්දීන් මහමුද් ඒ අතරින් එක් අයෙකි. 


අනුර කලා වැව ආසනය සඳහා තරග කරන්නේ නම් එ.ජා.ප.යෙන්. අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට ජේ. ආර්. ජයවර්ධන මහතා කර ඇතැයි කියන ප්‍රකාශය ද මේ අතර සමාජ ගත වෙමින් තිබුණේය. කලා වැව එ.ජා.ප. ආසන සංවිධායකවරයාවූ ඒ. ඇම්. ඇස්. අධිකාරි මහතාගේ සිතට එය රිස්සුම් නොදුන් කරුණක් වුවද ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන ලොක්කාගෙන් විමසීමට තරම් දිරියක් ඔහුට නොතිබිණි. 


මේ වෙලාවේ රටේ ප්‍රශ්න ඉහටත් උඩින් ගිහින් තියෙන එකේ අනුරට නිතරගයෙන්ම පාර්ලිමේන්තුවට යන්න ඉඩක් ලැබෙනවා නං ඒක කොච්චර දෙයක්ද? යි ඇසූ අනුරවාදීන්ගේ පිළිගැනීම වූයේ එම දුර්ලබ අවස්ථාව මොනම හේතුවක් නිසාවක් අත් නොහැරිය යුතු බවය. 


ඒ වුණාට රත්නමලල කියන්නේ 1960 ඉඳලම පාර්ලිමේන්තුවේ හිටපු අපේ මිනිහෙක්. ඉතින් ඒ මනුස්සය ඒ තරම් කාලයක් රැක ගත්ත කලා වැව ආසනයට තරග කරන්න එයාගේ පුතාට නොදී, මේ පැත්තක හිටපු අගමැතිනියගේ පුතාට දුන්නොත් රටේ මිනිස්සු මොනවද අපි ගැන හිතන්නේ? යි කී කලාවැව නාම යෝජනා මණ්ඩලයේ ප්‍රධානියා වූ මෛත්‍රීපාල සේනානායක මහතාගේ අවසන් තීරණය වූයේ කලා වැව අතුරු මැතිවරණය සඳහා සමගි පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඩී. බී. රත්නමලලම විය යුතු බවය. 
අන්තිමේදී ප්‍රශ්නය අගමැතිතුමිය දක්වාම දුර දිග ගියේය. ඒ පිළිබඳව තුලනාත්මකව විමසා බැලූ බණ්ඩාරනායක මැතිනියට පෙනී ගියේ තම පුත්‍රයා වන අනුර කලා වැව සමගිපෙරමුණු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ පැත්තෙන් බලන විට වාසි දායක තීරණයක් වුවද වසර 15 කට ආසන්න කාලයක් තිස්සේ කලා වැව ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී ධුරය ඉසිලූ රත්නමලල මහතාගේ පුත්‍රයාට මෙන්ම එම ප්‍රදේශයේ පාක්ෂිකයන්ට ද එමගින් අසාධාරණයක් සිදු වන බවයි. ඒත් අපේ අනුර කලා වැවට නොමිනේෂන් දෙන්න කියලා ඉල්ලීමක් කරලත් නැහැ නේද? 


අග්‍රාමාත්‍යතුමිය එසේ විමසන ලද්දේ තමන් ඉදිරියේ අසුන් ගෙන සිටි මෛත්‍රීපාල සේනානායක මහතා දෙස බලමිනි.


නැහැ මැඩම්, අනිත් එක ජේ. ආර්. ගේ. කරුණාව ගැනත් මට ටිකක් සැකයි. එයා හදන්නේ අනුර පාර්ලිමේන්තුවට යවලා ආණ්ඩුව ඇතුළෙ ප්‍රශ්න ඇති කරන්න වෙන්නත් බැරි නෑ. 
මෛත්‍රීගේ ඒ කතාව ඇසූ අග්‍රාමාත්‍යවරිය එකවරම කියා සිටියේ කලා වැව හිටපු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා වූ ඩී. බී. රත්නමලලටම පක්ෂයේ නාම යෝජනා ලබා දෙන ලෙසය. 
“අනිත් කාරණේ තමයි එකම ගෙදර ඉන්න තමන්ගේ අම්මා එක්කවත් අනුර මේ ගැන කතා කරලා නැහැනේ”යි කී මැතිනිය රත්නමලල මහතාගේ නාම යෝජනාව ඒ මොහොතේම නිර්දේශ කළාය. 


ඒ අනුව 1974 නොවැම්බර් 27 වැනිදා පැවැති කලාවැව අතුරු මැතිවරණය සඳහා ශ්‍රී.ල.නි.ප.යෙන් තරග කරන ලද්දේ කලා වැව හිටපු මන්ත්‍රීවරයාගේ පුත් ඩී. බී. රත්නමලලය. ඒ. ඇම්. ඇස්. අධිකාරි එ.ජා.ප.යෙන් තරග කළේය. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු සමගි පෙරමුණ ආණ්ඩුවේ මුළු ඇමැති මණ්ඩලයම රත්නමලල මහතාගේ ජයග්‍රහණයට බැඳ ගෙන වැඩ කළ ද හෙතෙම ඡන්ද 2857 කින් එ.ජා.ප. අපේක්ෂකයාට පරාජය වී තිබුණේය. මේ අතර අනුර පූර්ව මැතිවරණ සමයේ කලා වැව පළාතකවත් නොගොස් තම සුපුරුදු මිතුරු සමාගම සමග කොළඹට වී කෙළි දෙලෙන් ගත කිරීමද කැපී පෙනෙන සිද්ධියක් විය.

 

 

 

නිහාල් ජගත් චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි