“දැන් බුද්ධාගමත් දේශපාලන පිල්වලට බෙදාගෙන. යූඇන්පී බුද්ධාගම, ශ්‍රී ලංකා බුද්ධාගම කියලා. ජාතික හැඟීමත් දේශපාලනීකරණය වෙලා. ශ්‍රී ලංකා, යූඇන්පී කියලා එකිනෙකාගෙ පින්කම්වලට යන්නෙ නෑ. කවුරුහරි ස්වාධීනව වැඩක් කළොත් එයා ජේවීපී කාරයා කියලා හංවඩු ගහනවා.”
 
භික්ෂුව දේශපාලන මතවාදවලට වහල් වීම නිසා සමාජයටත්, සසුනටත් වී ඇති විපාක මීට වසර 20කට පෙර අපවත් වී වදාළ බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් දුටුවේ එසේය.
 
1896 අගෝස්තු මස 24 වැනිදා බළන්ගොඩ කිරිඳිගල දී උපත ලැබූ 1911 මාර්තු මස 02 වැනිදා පැවිදිව 1916 ජූලි 14 වැනිදා බළන්ගොඩ ඕලුගහ උදකුක්ඛේප සීමා මාලකයේදී  උපසම්පදාව ලද උන්වහන්සේ ශාසනික හා සමාජයීය සේවාවන් නිමවා 1998 ජූලි මස 18 වැනිදා අපවත් වූහ. 
 
කුඩා කල සිටම උත්තරීතර පැවිදි දිවිය පුරාම උන්වහන්සේට ඇසුරු කරන්නට ලැබුණේ ධර්මධර සාහිත්‍යධර උගතුන් හා විශ්වකීර්තියට පත් දර්ශනවාදීන්ගෙන් සැදුම්ලත් ගිහි පැවිදි හා අන්‍යාගමික බුද්ධිමතුන් සමුදායකි.
 
බුද්ධ රාජ්‍යයේ පරතෙර දැන හඳුනාගත් ලෙසටම දේශපාලනය හෙවත් රාජ්‍ය පාලනයේ පරතෙර ද හඳුනාගෙන අභීතව හා ක්‍රියාකාරීව තත්කාලීන ගිහි පැවිදි සමාජය සුමගට ගැනීමට අනද මෙත් නාහිමියෝ උත්සාහ ගත්හ.
 
භික්ෂුව කියන්නේ පොදු වස්තුවක්. පක්ෂ දේශපාලනය නිසා අද භික්ෂුව පිරිහිලා. හොඳ වැඩක් කළත් පෙනෙන්නේ නුහුරටය. භික්ෂුව වෑයම් කළ යුත්තේ පක්ෂවලට රට බෙදන්න නොවෙයි, පක්ෂ සමගි කරන්නයි. හරියටම දුටුගැමුණු හා තිස්ස සමගි කළා වගේ.
 
ඉංග්‍රීසි පාලන කාලය තුළ පවා සිදු නොවූ වැරදි ස්වදේශීය පාලනය තුළ සිදුවන බව උන්වහන්සේ රටට පෙන්වා දුන්හ. මත්පැන්හල් හා ගව ඝාතන මඩුවල වර්ධනය නිසා සිංහල බෞද්ධයන් තුළ ජාතික හැඟීම් මර්දනය වී ඇති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
 
ඉංග්‍රීසි පාලන සමයේ දී පවා ලක්දිව පාඨශාලාවල ඉගැන්වූ ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ලෝකොපකාරය, ගුත්තිලය, උම්මග්ග ජාතකය හා සැළලිහිණි සංදේශය පාසල් පොතෙන් ගැලවී ගොස් පිරිවෙන්වල පවා ත්‍රිපිටකය ඉගැන්වීමට වඩා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා යොමු කිරීමෙන් භික්ෂු අධ්‍යාපනය පිරිහී ඇතැයි උන්වහන්සේ සමඟ කළ සාකච්ඡාවල දී පළ කළහ.
 
එක්තරා පන්සලක හාමුදුරුවෝ දේශපාලන වේදිකාවට වැඩම කළේ නැති නිසා කාර් එකත් පිච්චුවා. වැඩම කළා නම් ඊටත් වඩා කරදර වෙන්න තිබුණා. තිරණගම රතනසාර හාමුදුරුවෝ බුදු දහම ආරක්ෂා කරන්න වැඩ කළා. උන්වහන්සේ දේශපාලනය කළේ නෑ. හදිස්සියේම වෙඩි පහරක් වැදිලා අපවත් වුණා. මේවා පසුපස තියෙන්නේ අන්‍යාගමික බලවේග. 
 
ඩී. ඇස්. සේනානායකට වඩා අන්‍යාගමික හා අධිරදවාදී උපාය මාර්ග ගැන දැනුමක් වගේම ලංකාවට ගැළපෙන ජාතිය ගැන දැනුමක් ඩී. බී. ජයතිලකයන්ට තිබූ බව ද ජාතියේ අවාසනාවට එතුමාගේ සේවය අහිමි වූ බවත් උන්වහන්සේ පවසා ඇත.
 
පක්ෂ දේශපාලනයට පෙර ඉංග්‍රීසි ආණ්ඩුකාර සමයේදීවත් භික්ෂුන් වහන්සේට හිරිහැර කිරීමට කිසිවකු ඉදිරිපත් නොවූවත් අද වන විට දානයකට වඩින භික්ෂුන් පවා අත්අඩංගුවට ගැනීමට තරම් ආරක්ෂක අංශ පිරිහී ඇති බව අනද මෙත් නාහිමියෝ පැවසූහ. 
 
ඉස්සර පොලිස්කාරයෝවත් හමුදාකාරයෝවත් භික්ෂුන්ට හිරිහැර කළේ නෑ. අද වෙනකොට එම බිය පහවෙලා. පසුගිය කාලෙ වරදක් නැති ගිහි පැවැදි ජනතාව හතුරන් සේ කීමට බොරු වේදිකාවලට අරන් ගියා. ඒ අයට වුණ දෙයක් තාම දන්නෙ නෑ. භික්ෂු බලය හොඳටම පිරිහිලා. සංඝනායකවරු තමන්ගේ බලය ගැන දන්නෙ නෑ.
 
බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියෝ දිගින් දිගටම මෙවැනි අත්තනෝමතික දේශපාලන තීන්දු තීරණ විවේචනය කළ අවස්ථා රැසක් ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් සහ සමුද්‍ර වෙත්තසිංහයන් ලියූ “මෙතෙක් නොපළ කතා” අඩංගු පොත්පත්වල සඳහන්ව ඇත.
 
මහනාහිමියන් සමග ඉතා සමීපව ඇසුරු කළ මෙරට රාජ්‍ය නායකයන් කිහිපදෙනකු පිළිබඳව අපූරු තොරතරු ද මෙම පතපොතින් හෙළිවේ.
 
1969 සැප්තැම්බර් 03 වැනිදා අමරපුර මහා සංඝ සභාවේ ප්‍රථම සභාපති ලෙස උන්වහන්සේ අක්තපත්‍ර ලද්දේ අගමැති ඩඞ්ලි සේනානායකයන් අතිනි. ඊට අදාළ සන්නස් පත්‍රය පිරිනැමුවේ ආණ්ඩුකාර විලියම් ගොපල්ලවයන් විසිනි.
 
හිටපු ජනපති ආර්. ප්‍රේමදාසයන් මහත් භක්තියක් උන්වහන්සේට දැක්වූ අතර, “අනඳ මෙත් මග” නමින් බළන්ගොඩ උදා ගමක් ඉදිකළේය. බත්තරමුල්ල චිත්ත විවේකාශ්‍රමය ද ජනපති ප්‍රේමදාසයන්ගේ පරිත්‍යාගයකි. ආණමඩුව ගම්උදා චෛත්‍යයේ කොත පැලඳවීමට ජනපති ප්‍රේමදාස උන්වහන්සේ එම විහාරයට හෙළිකොප්ටරයෙන් රැගෙන ගියේය. රන්ජන් විජේරත්න අමාත්‍යවරයාගේ රාජ්‍ය ආදාහන උළෙලේ එක අනුශාසනාවක් පැවැත්වීමට ද උන්වහන්සේට පැවරිණ.
 
එහෙත් කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ වේදිකාවට වඩින ලෙස උන්වහන්සේට ඇරයුම් නොකරන්නට ජනපති ප්‍රේමදාස ප්‍රවේසම් විය. ඒ උන්වහන්සේගේ හැටි දන්නා නිසාය. එසේම චිත්ත විවේකාශ්‍රමය ඔප්පුවක් මගින් නොපැවරීම නිසා ඇතිවූ අර්බුද මත මහ නාහිමියෝ යළි බළන්ගොඩට වැඩම කළහ.
 
උන්වහන්සේ ඇසුරු කිරීමට වඩාත් ප්‍රියතම දේශපාලන පවුල වූයේ අගමැති බණ්ඩාරනායක හා සිරිමාවෝ බණ්ඩාරනායක පවුලයි. ඒ බණ්ඩාරනායක මැතිනිය ද බළන්ගොඩ කෙනකු නිසා විය යුතුය. උන්වහන්සේගේ ප්‍රධාන කැපකරු දායකයා වූයේ ද බණ්ඩාරනායක මැතිනියගේ පියා වූ බාන්ස් රත්වත්තේ රටේ මහතාය.
 
 
 
 
බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් වඩා බලාපොරොත්තු තැබුවේ අනුර බණ්ඩාරනායක දරුවා ගැනය. ඔහුගේ කේන්දර බලා රාජ්‍යයෝගයක් ඇති බව උන්වහන්සේ පවසා තිබූ අතර, කවදා හෝ අනුර රටේ නායකයා වන බව ද  කියා තිබිණ. එසේ වන්නේ ඔහු විවාහ දිවියට පා තැබීමෙන් පසුව බව නා හිමියන් දන්වා තිබිණ. එම අනාවැකිය අනුර විවාහ නොවීම නිසා දෝ ව්‍යර්ථ විය. ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගේ විශේෂ ගෞරවයට ලක්වූ තවත් දේශපාලනඥයෙකි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා. ඔහු මාක්ස්වාදියකු වුවද බුදු දහමට ඉතා නැඹුරු තැනැත්තෙකු විය.
 
“මගේ අවමංගල කටයුතු සිද්ධ වෙන්න ඕනෑ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් අතින්” යැයි අවසන් කැමැත්තෙහි ලියා තිබූ පරිදිම 1979 දී ඇන්. ඇම්. ගේ අවමංගල කටයුතු මෙහෙය වූයේ නාහිමියන් විසිනි. එහිදී උන්වහන්සේ ඇන්. ඇම්. ගැන මෙසේ අදහස් පළ කළහ.
 
ඇන්. ඇම්. මහත්මයා බෞද්ධයකු වුවද නොවූවද මාක්වාදයට ආගමක් නැතැයි කියූව ද එතුමා මුළු ජීවිත කාලය තුළම කර ඇත්තේ බුද්ධ පූජාවක්. ඒ බුද්ධ පූජාව නම් සමාජ සේවයයි. සමාජ සේවය යනු ඉහළම බුද්ධ පූජාව ලෙස සංස්කෘත කියමනක් ද තියෙනවා. ජනපති ප්‍රේමදාස සමඟ උන්වහන්සේගේ තිබූ ඇඟළුම්කම ගැන විවේචන එල්ල විය. තම සිය වන ජන්ම දිනයේ ඊට පිළිතුරු උන්වහන්සේ මෙසේ මාධ්‍යයට හෙළි කළේය.
“ප්‍රේමදාස මහත්තයා මං අඳුනන්නෙ එයා කොටකලිසම අඳින කාලෙ ඉඳන්. එතකොට දේශපාලනයට එන්න හිතලත් නෑ. මගේ පන්සලේ දහම් පාසලට එතුමා ආවා. ධර්මය ගැන තිබූ උනන්දුව නිසා අප අතර හිතවත්කම් ඇති වුණා. අපේ බැඳීම එතරම්ම පරණයි.”
 
උන්වහන්සේගේ දිනසටහන් පොතෙහි සිත්ගත් දේශපාලනඥයන් ගැන සුන්දර සටහන් රැසක් ඇත.
 
1960 ජූලි 21 : බණ්ඩාරනායක මැතිනියගේ විශිෂ්ට ජයග්‍රහණය අද උදේ ප්‍රකට විය.
 
1960 නොවැම්බර් 12 : උදේ 7.30ට අගමැතිනියගේ කාරයෙන් බළන්ගොඩ ගියෙමි. මේ ආණ්ඩුව රැක ගැන්මෙන් බුද්ධ ශාසනයට යහපතක් ද යූඇන්පියට බලය ගියොත් බුදු සසුනට විපත් ද, සතුරු ආගමික බලය නැගීම ද වන හෙයින් මැතිනියගේ පාලනයට උපකාරි විය යුත්තේ ශාසනයේ අභිවෘද්ධිය සඳහාමය.
 
1961 ජනවාරි 01 : මෙදින සාංචි විහාරයේදී අගමැතිතුමිය පිළිගැනීමේ උළෙල විය. විහාරයේ ඉදිරිපිට පන්දලම යට මහ සෙනඟක් රැස්වූහ. පොලිස් මුරද පැවතිණි. මම පන්සිල් දුනිමි. 
 
ආණ්ඩුකාරාදින්ගේ කතාවලට පසු අද හෙළදිව සිංහලය රජයන දිනය බැවින් සිංහලෙන්ම කතා කරමියි අගමැතිවරයා පැවසුවාය. එය ඉන්දියන් ආනන්ද ථෙර හින්දියට නැගීය.
 
1962 මැයි 28 : මෙදින දවල් 3.00ට අගමැතිනියගේ මව මියගිය බව අරලියගහ මන්දිරයෙන් මට ටැලිෆෝනයෙන් දැන්විය. රත්වත්තේ කුමාරිහාමිගේ ආදාහන කෘත්‍යය මා විසින් මෙහෙයවන ලදී. අගමැතිනියගේ ජීවිතය ගැන කියැවෙන නාඩි වාක්‍යය පිළිබඳව දින පොතේ සඳහන්ය. එහි 1971 කැරැල්ල හෙවත් විශාල ලේ වැගිරීමක් මැතිනියගේ දෙවන පාලන කාලයේ සිදු වන බව සඳහන් වී ඇත.
 
මේ උන්වහන්සේ දේශපාලනය දුටු හැටි ගැන පළවූ අයුරුය.
 
 
 
 
කෙළ හැළෙන වාදයට නොදැනීම ඇද දැමෙන
නොහඳුනමි විවාදාශාව උඩඟුකම වඩාලන
කපටිකම් උපා හා උපක්‍රම නොහඳුනමි
පැතුම් හෝ විඳවීම් නොමැති මම නිවුණෙවෙමි
 
 
 
 
 
 
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි