අත අතට පත් ලේකම්වරු - 04

 

ඇම්. පී. ද සොයිසා සහ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක යන මහත්වරු දෙදෙනාගෙන් පසුව 1963 සහ 1966 අතර කාල පරිච්ඡේදයේ දී පක්ෂ ලේකම් ධුරය දැරුවේ ඩී. ඇස්. සමරසිංහ මහතාය. 


ක්‍රියාකාරී දේශපාලන බිමේ දීර්ඝ කාලයක් කටයුතු කිරීමට අවස්ථාවක් නොලද නමුදු 1960 ජුලි මහා මැතිවරණයේ දී කොළොන්නාව අසුන ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළේය. එම අවධියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ ප්‍රවාහන කටුයුතු පිළිබඳ උපඇමතිවරයා ලෙස පත් වීම් ලැබුවේය. 


පසුව ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි උපඇමතිවරයා ලෙස පත් කරනු ලැබීය. 1965 මහා මැතිවරණයේදී ද කොළොන්නාව ආසනය දිනාගෙන නැවතත් පාර්ලිමේන්තුවට තේරි පත් වූ නමුත් ප්‍රතිවාදීන් විසින් ඉදිරිපත් කරන ලද ඡන්ද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පිළීගැනීම නිසා 1966 දෙසැම්බර් 06 වැනි දින මන්ත්‍රී ධුරය අහිමි විය. එමගින් දේශපාලන බිමෙන් සමුගත් සමරසිංහ මහතා කෙටි කාලයකින්ම අභාවයට පත් වුවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දියුණුව සඳහා තිරයෙන් පිටුපස සිට විශාල මෙහෙයක් ඉටු කළේය. සිරිමා මැතිනියගේ විශ්වාසය දිනාගෙන ඉතා අවංකව සහ පක්ෂපාතීව තම සේවය ඉටු කළේය. 


ආරම්භයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවතියේ සම ලේකම් ධුරයකි. එමගින් පුද්ගලයන් දෙදෙකේ හෝ තිදෙනෙක් සම ලේකම් ධුරයේ කටයුතු කළ බව පක්ෂයේ පැරණි වාර්තා අනුව පෙනී යයි. එහෙත් 1966 සිදු වූ පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයකට අනුව ප්‍රධාන ලේකම් ධුරයක් ස්ථාපනය කරන ලදි. ඒ අනුව පත් වු ප්‍රථමයා වන්නේ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ටි. බී. සුබසිංහ මහතාය. එතුමා වසර හතරක් පමණ (1966 - 70) පමණ එම පදවිය දරමින් විශාල සේවයක් ඉටු කළ බව සඳහන් කළ යුතුය. 


වයඹ පළාතේ ඓතිහාසික හත් කෝරලය ප්‍රදේශයට අයත් හෙන්ඩියගල ග්‍රාමයේ ප්‍රභූ පෙළපතක පවුලේ සාමාජිකයෙකු ලෙස ටිකිරි බණ්ඩා සුබසිංහ මහතා මෙළොව එළිය දුටුවේය. ගමේ පාසලෙන් හා නාත්තණ්ඩිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබු ඒ මහතා පසු කලෙක ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළු වී මහාචාර්ය හැරල්ඞ් ලැස්කි යටතේ උසස් අධ්‍යාපනය ලැබුවේය. එහිදී තම සම කාලීන ශිෂ්‍ය සගයකු වූ පසු කලෙක ඉන්දියාවේ විදේශ ඇමතිවරයෙකු වූ (ශ්‍රී නේරු රජයේ) ක්‍රිෂ්ණ මෙනන් සහ තම ආචාර්යවරයා වූ ලැස්කිගේ ද ආභාෂය මත ට්‍රොට්ස්කිවා දී දේශපාලන මතයට අවතීර්ණ වූවේය. අධ්‍යාපනය නිමවා ඔහු ආපසු දිවයිනට පැමිණෙද්දි, එවැනිම විදේශ අධ්‍යාපනය ලැබු උගත් තරුණ පිරිසක් එක්ව ලංකා සම සමාජ පක්ෂය ආරම්භ කර තිබුණි. එමගින් නව ප්‍රගතිශීලී දේශපාලන මාවතකට ඔවුහු නායකත්වය දෙමින් සිටියහ. සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන මතවාදයන්ට හාත්පසින්ම වෙනස් ආකාරයකට යොමු වූ එම ප්‍රතිපත්තීන් කෙරෙහි ආකර්ෂණය වූ සුබසිංහ තරුණයා 1947 ප්‍රථම මහා මැතිවරණයේ දී බිංගිරිය ආසනය සඳහා ලංකා සම සමාජ පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් තරග වැදුණේය. එය සුවිශේෂි ජයග්‍රහණයක් වූවේ තම ප්‍රතිවාදීන් හතර දෙනාගේම ඇප රාජසන්තක වන ආකාරයේ ජයක් ලැබීමට සමත් වූ නිසාය. එසේම සම සමාජ පක්ෂයට කිසිඳු ඡන්ද පදනමක් නොතිබුණු බිංගිරිය ප්‍රදේශයේ දී ලැබු මෙම ජයග්‍රහණය කෙළින්ම ඔහුගේ ජනප්‍රියතාව නිසාම ලැබුවක් බව නිසැකය. 1952 පැවති දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සිය ආසනය සම සමාජ පක්ෂයෙන්ම තරග කර දිනා ගැනීමට සමත් විය. 1956 දී බණ්ඩාරනායක මහතාණන්ගේ නායකත්වයෙන් ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කරමින් මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් බිංගිරිය ආසනය දිනා ගත්තේ අති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනි. එහිදී අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා දැරූ රාජ්‍යාරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපඇමති වශයෙන් පත් කර ගන්නා ලදි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කීප වතාවක්ම ඇතුළත් වීමට ඒ මහතාට වාසනාව අත් විය. 


වරෙක එම සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය අපේ රටට හිමිව තිබු අවධියක එම උත්තරීතර ආයතනයේ සභාපති ධුරයට පත් වීමට මෙම කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයාට අවස්ථාව ලැබුණි. 


නිදහස් කොංගෝ රාජ්‍යයේ අගමැති පැටි්‍රස් ලුමුම්බාගේ පාලනය පෙරළා දමා බටහිර අධිරාජ්‍යවා දී බලවේගයන් විසින් එම දේශය නැවත නව යටත් විජිතවාදයේ ගොඳුරක් බවට පත් කිරීමට ගෙනගිය නින්දනීය අරගලයේ දී සුබසිංහ මහතා දැරූ නිදහස් මතවාදී ස්ථාවරය සියලු දේශයන්හි විමුක්තිකාමී ජනතාවෝ මහත්සේ අගය කිරීමට ලක් කළහ. දෙමළ සිංහල ජනවර්ග දෙක අතර අනාගතයේ දී සිදු විය හැකි ගැටුම්කාරි තත්ත්වයන් පිළිබඳව 1957දී සකස් කරන ලද බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම කෙටුම්පත් කළ පුරෝගාමීන්ගෙන් කෙනෙකු ලෙස ද ටී. බී. සුබසිංහ මහතාගේ නාමය ඉතිහාස ගතව ඇත.  


1960 මාර්තු මස පැවති මහා මැතිවරණයේ දී කටුගම්පොළ ආසනයේ මන්ත්‍රීවරයා ලෙස තෝරා පත් කරගනු ලැබු සුබසිංහ මහතා එම සුළුතර ආණ්ඩු පක්ෂයේ නියෝජිතයාට එරෙහිව විපක්ෂයේ අපේක්ෂකයා ලෙස කතානායක තනතුරට තරඟ වැදි සිව් වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් තෝරා පත් කර ගනු ලැබීය. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ විරුද්ධ පක්ෂයෙන් පත් වූ ප්‍රථම කතා නායකවරයා ද ඒ මහතා බව සඳහන් වේ. 


ඉන් පසු සෝවියට් රුසියාවේ ලංකා තානාපතිවරයා ලෙසින් ද සේවය කළ සුබසිංහ මහතා මව්බිමේ සුබ සිද්ධිය වෙනුවෙන් ඉටු කළ සේවය අති මහත්ය. බණ්ඩාරනායක මැතිනියගේ රජය 1963 දී මේ රටේ තෙල් වෙළෙඳාම රජයට පවරාගෙන එම ප්‍රතිලාභ ජනතාවට පොදුවේ අත්කර දීම උදෙසා ලංකා ඛණිජ තෙල් සංස්ථාවට පිහිට වූ අවස්ථාවේ දී එම ව්‍යාපාර හිමිව සිටි ධනපති බහු ජාතික සමාගම් හා ඒවා අයිති රටවල් අපේ රටට තෙල් ලබා නොදීමට ගත් තීරණය නිසා මුහුණදීමට සිදු වූ බලවත් අසීරුව මැඩ පැවැත්වීම සඳහා සුබසිංහ මහතා සෝවියට් දේශය සමග සාකච්ඡා කර පහසු මිලට තෙල් ලබාදීමට ඔහු කටයුතු කිරීම ජාතියේ වාසනාවක්ම විය. 1966 දී ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන ලේකම් ධුරයට පත් කරන ලද ඒ මහතා 1970දී සමගි පෙරමුණු රජය පිහිටුවීම සඳහා සිරිමාවෝ මැතිනියගේ රජයේ ඇමැති මණ්ඩලයට ලද ජයග්‍රහණයේ පුරෝගාමියෙකු ද විය. 


පත්කර ගනු ලැබු සුබසිංහ මහතා එම රජයේ කර්මාන්ත සහ විද්‍යා කටයුතු ඇමතිවරයා ලෙස ද පත්ව රටට සුවිශාල මෙහෙයක් ඉටු කළේය. 1977 මහා මැතිවරණයෙන් පසු තිස් වසරක ව්‍යවස්ථාදායකයේ නියෝජනයට සමු දුන්නේය. 


පක්ෂයේ ඊළඟ ලේකම්වරයා වූයේ රජ රටින් බිහි වූ නායකයෙක් වන කිරි බණ්ඩා රත්නායක මහතාය. සිංහල - දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුන ගැනම හසළ දැනුමක් පැවති එතුමා එම දෙමළ දැනුම වගා කර ගත්තේ කුඩා අවධියේම යාපනය ශාන්ත ජෝන් විදුහලෙන් ලැබු අධ්‍යාපනය හේතුවෙනි. 


රජරට කීර්තිමත් ජන නායකයෙකු සහ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වූ මෛත්‍රීපාල සේනානායක මහතාගේ පෞද්ගලික ලේකම්රයා වශයෙන් සිය සමාජ ජීවිතය ඇරඹු රත්නායක මහතා මැතිවරණ පොර පිටියට පිවිස්යේ 1962 දීය. අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරමින් සිටි සිරිමෙවන් ගොඩගේ මහතාගේ අභාවයෙන් හිස් වූ එම අසුන සඳහා පැවැත්වුණු ඇතුරු මැතිවරණයෙන් ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ජය ලැබීය. ඉන් පසු 1965 සහ 1970 යන මහා මැතිවරණයන්හි දී ද ඒ මහතා අනුරාධපුර අසුන පහසුවෙන් ජය ගත්තේය. 1970 දී පාර්ලිමේන්තු කටයුතු සහ ක්‍රීඩා ඇමති ධුරය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ද පත් වූවේය. පසුව ටී. බී. සුබසිංහ මහතාගෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන්ද පත් වූ ඒ මහතා එම පක්ෂයේ කළමනාකාරිත්වය භාරගෙන වසර හයක් මනාව ඉටු කළේය. 1989 මහා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී.ල.නි.පයෙන් පත්වීම් ලැබු රත්නායක මහතා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට පැවරෙන ජාතික වගකීම මනාව ඉටු කළේය. නැවතත් 1994 දී පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කරන මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් වීම් ලැබීය. එහිදී කතානායක පදවියෙන් ද පිදුම් ලැබු එතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගෞරවය සහ එහි සම්භාවනීය සම්ප්‍රදායයන් ද ආරක්ෂා කර ගනිමින් විශාල සේවයක් ඉටු කළේය. 


ශ්‍රී ලංකාවේ දේශපාලනයේ බලය හා නියෝජනය සම්බන්ධව ප්‍රභු පැළැන්තිය සතුව පැවති අධිකාරිය 1956 නිහඬ විප්ලවය මගින් වෙනස් කරන ලද බව නොරහසකි. එම ආකල්පමය වෙනස ඔස්සේ පෙරට පැමිණි සඟ වෙද ගුරු ගොවි සහ කම්කරු බලවේග ආදී සමාජ බලවේග ව්‍යවස්ථාදායකය තුළ දී පවා බහුතර නියෝජනයක් ලබා ගත් ආකාරය පසු කාලීනව දැක ගත හැකි විය. ශ්‍රී.ල.නි.ප. ලේකම් වූ ඇස්. කේ. කේ. සූරියආරච්චි මහතා එවැන්නකි.


එක් දහස් නමසිය හැටේ මාර්තු මහා මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයා වශයෙන් මහර ආසනය සඳහා තරග වැදී ජය ගත් ඇස්. කේ. කේ. වෘත්තියෙන් ගුරුවරයෙකි. පළාත් පාලන පොර පිටිය ඔස්සේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු 1960 මාර්තු, 1960 ජුලි, 1965 සහ 1970 යන වසරවල පැවති සියලු මැතිවරණ වලින් ජය ගෙන ව්‍යවස්ථාදායක නියෝජනය කිරීමේ වරම ලැබීය. 1970 ජයග්‍රහණයෙන් පසුව කර්මාන්ත හා විද්‍යා කටයුතු උප ඇමතිවරයා ලෙස පත් කරන ලද සූරියආරච්චි මහතා 1975 අගභාගයේ දී ඇති වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී එම අමාත්‍ය අංශය භාර අමාත්‍ය ධුරයට පත් කරනු ලැබීය. මෙවැනි මහජන සේවයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරයේ කටයුතු ද මැනවින් ඉටු කිරීමට ඒ මහතා සමත් වූවේය. පසු කාලීනව ශ්‍රී ලංකාවේ දේශපාලන පොර පිටියේ ක්‍රියාත්මක වූ කුණාටු සහ සුළි සුළංවලට ඔරොත්තු දී ගත නොහැකිව අසරණ වූ මෙම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයාගේ දේශපාලන ජීවිතය අවසානයේ දී අසාර්ථක වූවේය. 

 

 


මතු සම්බන්ධයි. 

 

 

සෝමසිරි වික්‍රමසිංහ