වසර 2000 පැවැති මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ වැඩි මන්ත්‍රීධුර සංඛ්‍යාවක් දිනාගෙන තිබුණේය. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරත් සමග ඔවුන්ට හිමිවී තිබූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 107ක් විය. ප්‍රධාන විපක්‍ෂය වූ එ.ජා.ප. යට ද මන්ත්‍රීධුර 89ක් ලැබී තිබුණේය.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණට රටේ ආණ්ඩු බලය ලැබුණද ආණ්ඩු පක්‍ෂයත්, විපක්‍ෂයත් අතර පැවතුණේ සුළු බහුතරයකි. එම තත්ත්වය මත තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අඛණ්ඩව රැක ගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් මන්ත්‍රීවරුන් 44 දෙනෙකුට කැබිනට් අමාත්‍යධුර ලබාදීමට චන්ද්‍රීකා ජනාධිපතිනියට සිදුවී තිබුණාය. එසේ වූයේ ආණ්ඩු පක්‍ෂයට අයත් මන්ත්‍රීවරුන් කීප දෙනෙකු හෝ විපක්‍ෂයට ගියහොත් ආණ්ඩුව අස්ථාවර වීමේ අවදානමක් පැවතුණ බැවිනි. 


කෙසේ වෙතත් එවර පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වී මාස කීපයක් ඇතුළත ජනාධිපතිනියත්, ඇමැතිවරුන් පිරිසකුත් අතර මත ගැටුමක් හටගෙන තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ රවුෆ් හකීම් ඇමැතිවරයා ආණ්ඩුවෙන් හැලී විපක්‍ෂයට ගොස් අසුන් ගැනීමය. එම මත ගැටුම නිසා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කොටස් 3කට කැඩීගොස් ෆේරියල් අෂ්රෆ් මහත්මිය පමණක් ආණ්ඩුවත් සමග රැඳී සිටියාය. 


මේ අතර චන්ද්‍රිකා මැතිනිය පැකේජය යන නමින් එකල ජනවහරට ගිය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට තැත් කළද ප්‍රධාන විපක්‍ෂය වූ එ.ජා.ප.ය ඊට විරුද්ධ වූයේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ රට කෑලි කඩන ව්‍යවස්ථාවක් අපට එපා! යි කියමින් එ.ජා.ප. ඊට එරෙහිව දැඩි විරෝධතා වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාත්මක කිරීමය. 


නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සඳහා පැවැති සර්ව පාක්‍ෂික සමුළුවේ දී එ.ජා.ප.ය යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සඳහා අනුමතිය පළ කර තිබුණද උප ජනාධිපති ධූරයක් පිළිබඳව මතුවූ මත ගැටුමක් නිසා එ.ජා.ප.ය පසුව ඊට විරෝධය පළ කර තිබුණේය. 


“හරි එහෙනම් අපි පැකේජ් එක පිළිබඳ මහජන තීරණය මුලින්ම ලබා ගනිමු!” යි කී චන්ද්‍රිකා මැතිනිය යෝජිත ජනමත විචාරණය පැවැත්විය යුතු දින වකවානු පවා තීරණය කර තිබුණේ එය හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමිනි. ඒ වනවිට එ.ජා.ප.ය ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් කථානායක අනුර බණ්ඩාරනායක මහතාට භාරදී තිබුණේය. මේ අතර එම විශ්වාසභංග යෝජනාව ඉතා ඉක්මනින් විවාදයට ගන්නා ලෙස කියමින් මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් සහිතව ලිපියක් කථානායකවරයාට භාරදී තිබුණේ ප්‍රධාන විපක්‍ෂය වූ එ.ජා.ප. ය විසිනි. 


“මේ විශ්වාස භංග යෝජනාව විවාදයට ගත්තොත් අපි අනිවාර්යයෙන්ම පරදිනවා....” යි සිතූ ජනාධිපතිනිය තමන් සතු විධායක බලතල යොදවා පාර්ලිමේන්තු සැසිය කල් තැබුවාය. 


ජනාධිපතිනිය එලෙස උපකල්පනය කළේ විශ්වාස භංගය ඉක්මනින් විවාදයට ගන්නැයි කියමින් කථානායකවරයා වෙත භාරදුන් ලිපියට ආණ්ඩුවේ හා විපක්‍ෂ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් ලැබී තිබුණ බැවිනි. 
මේ අතර ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන්ට මංගල සමරවීර සහ ලක්‍ෂ්මන් කදිරගාමර් යන මහත්වරු එවකට පාර්ලිමේන්තුවේ සිටි ජ.වි.පෙ. මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ආණ්ඩුව වෙත ලබා ගැනීම සඳහා ඔවුන් සමග සාකච්ඡා අරඹා තිබුණහ. 


“හරි අපි ආණ්ඩුව අවුරුද්දක් යනතුරු රැක ගන්නවා!” යි කී ජ.වි.පෙ. ඒ සඳහා එක්තරා කොන්දේසි මාලාවක්ද ඉදිරිපත් කළේය. ඒ අනුව ඔවුන් ආණ්ඩුවට දැඩි ලෙස කියා සිටියේ ඇමැති මණ්ඩලය 44 සිට 20 දක්වා අඩු කළ යුතු බවය. ඊට අමතරව ඒ වනවිටත් දින වකවානු නියම කර තිබූ යෝජිත ජනමත විචාරණය වහාම අවලංගු කළ යුතු අතර කල් දැමූ පාර්ලිමේන්තු සැසිය යළි කැඳවිය යුතු බවද ඔවුහු කියා සිටියහ.


“මේ යෝජනා එකක්වත් අපට පිළිගන්න බෑ...!” ඒ ගැන දැනගත් චන්ද්‍රිකා මැතිනිය දැඩි ලෙසම කියා සිටියාය. එහෙත් මංගල සහ ලක්‍ෂ්මන් කදිරගාමර්ගේ අදහස වූයේ ජ.වි.පෙ. යෝජනා පිළිගෙන ඔවුන්ගේ සහය ලබා නොගතහොත් එ.ජා.ප.යේ විශ්වාස භංග යෝජනාවෙන් ආණ්ඩුව නියත පරාජයක් ලබන බවය. 


එහිදී ජනාධිපතිනියට ද වෙනත් විකල්පයක් නොතිබිණි. ඒ අනුව ඇයට සිදුවූයේ අකමැත්තෙන් වුවද ජ.වි.පෙ. යෝජනා පිළිගෙන ඔවුන් සමග ගිවිසුමකට එළඹීමටය. පොදු පෙරමුණු ආණ්ඩුව 2000 වසරේදී ජ.වි.පෙ. සමග පරිවාස ගිවිසුමක් අත්සන් කරන ලද්දේ ඒ අනුවය. ඒ අනුව තමන් මොනම හේතුවක් නිසාවත් වසරක කාලයක් ගතවනතුරු ආණ්ඩුව පෙරළා දැමීමට හවුල් නොවන බවට ජ.වි.පෙ. ප්‍රතිඥාවක් දී තිබුණේය.


එසේ වුවද මෙහිදී උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණදී තිබුණේ ජනාධිපතිනියයි. එසේ වූයේ මුලින් කැබිනට් ඇමැති ධුර ලබා දෙන ලද තමන්ගේ හිතවතුන් වැඩි දෙනෙකුට එම තනතුරු අත්හරින ලෙස දැනුම් දීමට ඇයට සිදුවී තිබීමය. 


මේ අතර තමන්ගේ ආරාධනයෙන් ආණ්ඩුවට එක්වූ සරත් අමුණුගම, රොනී ද මැල් සහ විජේපාල මෙන්ඩිස් වැනි අයට එම තනතුරු අත්හරින ලෙස කීමටද ඇයට නොහැකි විය. 


“එතකොට අපිට විතරයි අමැතිකං අත් අරින්න කියන්නේ? අර යූ.ඇන්.පී. යෙන් ආපු උදවිය දිගටම ඇමැතිවරු....”  ආදී වශයෙන් ඇතැම් ඇමැතිවරුන් තමන් නැති තැන දොස් කියන බවක් ද ජනාධිපතිනියට වටින් ගොඩින් ආරංචි වී තිබුණේය.


මේ අතර සිදුවූ වැදගත් සිද්ධියක් වූයේ ජනාධිපතිනියගේ සමීප සගයෙකු වූ මංගල සමරවීර “ඔන්න මැඩම් මම කැමැත්තෙන්ම ඇමැතිකම අත හරිනවා....” යි කියමින් තමන්ගේ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමය. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. බී. ඒකනායකද තමන් දැරූ සංස්කෘතික නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණේය. එසේ වුවද තවත් නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ ඩලස් අලහප්පෙරුම මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එලස තමුන්ගේ නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම නිවට නියාලු කමක් ලෙස තමන් දකින බවයි. 


කෙසේ වුවද තම රාජ්‍ය නායිකාවගේ උපදෙස් පරිදි ඇමැතිවරුන් වැඩි දෙනකු ඉල්ලා අස්වී තිබුණහ. එහෙත් ඉන් අනතුරුව පත් කිරීමට නියමිත විසි දෙනාගේ කැබිනට් මණ්ඩලයට තමන්ද පත් කෙරුණු ඇතැයි යන්න ඔවුන් හැම දෙනෙකුගේම පාහේ සිත යට පැවැති අපේක්‍ෂාව විය. 


මේ වනවිටත් තම ජ්‍යෙෂ්ඨ කැබිනට් සගයන් කීප දෙනකු සමග ජනාධිපතිනිය මත ගැටුමක් ඇතිකර ගෙන සිටියාය. ඇයගේ සමීප සගයෙකු වූ එස්. බී. දිසානායකට අමතරව මහින්ද විජේසේකර, මහාචාර්ය ජී. එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන සහ ආරුමුගම් තොණ්ඩමන් මෙන්ම ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ද ඒ අතර සිටියහ. 


කෙසේ වෙතත් විසි දෙනාගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයට එම පිරිසද ඇතුළත් කර ගැනීමට තරම් ජනාධිපතිනිය කාරුණික වූවද ඔවුන් අතරින් එම ඇමැතිධුර භාරගෙන තිබුණේ ජෙයරාජ් සහ තොණ්ඩමන් පමණි. සෙසු අයට වහා පැමිණ තම ඇමැතිධුර භාර ගන්නා ලෙස ජනාධිපති කාර්යාලයෙන් පණිවුඩ පිට පණිවුඩ යැවුණද ඔවුහු නොපැමිණියහ. 


මේ අතර එ.ජා.ප.යේ සිට පැමිණි විජේපාල මෙන්ඩිස්ට ඇමැති ධුරයක් නොලැබුණේ ඒ වනවිටත් පත්කර තිබූ ඇමැති මණ්ඩලය 20 සීමාව පසුකර තිබූ බැවිනි.


“නෑ... නෑ... මටත් ඇමැතිකමක් ඕනෑ. එහෙම නැත්නම් මම ආපහු එ.ජා.ප. යටම යනවා...” ඔහු තර්ජනය කළ බැවින් සංස්කෘතික ඇමැතිධුරය ඔහුට පිරිනැමීමට ජනාධිපතිනියට සිදුවිය. එහිදී ජ.වි.පෙ. දැඩි ලෙසම කියා සිටියේ තමන්ගේ ගිවිසුමේ ප්‍රකාරව පත්කළ යුත්තේ ඇමැතිවරුන් 20 ක් වුවද ඒවනවිටත් ඇමැතිවරුන් 23 ක් පත්කර තිබෙන බවය. “එහෙම නං අපි ගිවිසුමෙන් අයින් වෙනවා!” යි ඔවුන් තර්ජනය කළ බැවින් විජේපාල මෙන්ඩිස්ට දුන් සංස්කෘතික ඇමැතිධුරය ඔහු වැඩ භාර ගැනීමටත් පෙර අවලංගු කිරීමට චන්ද්‍රිකා මැතිනියට සිදුවිය. එමගින් සිදුවූයේ විජේපාල මෙන්ඩිස් මහතා ජනාධිපතිනිය සමග හිත යටින් අමනාප වීමය.
මේ අතර අලුතින් පත් කරන ලද ඇමැති මණ්ඩලය 2001 සැප්තැම්බර මස 14 වැනිදා දිවුරුම් දුන්නේය. මුල සිටම එස්. බී. ලා සමග සිටි ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ තමන්ට හිමිවූ ඇමැතිධුරය භාර ගෙන තිබුණේ තමන්ගේ ඡන්දදායකයන් පිරිසක් පැමිණ වහලය මතට නැග උද්ඝෝෂණය කිරීම නිසා යැයි ඔහු පසුව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේය. 


මේ වනවිටත් ජනාධිපතිනිය විසින් පාර්ලිමේන්තු රැස්වීම කල් දමා තිබුණාය. ප්‍රධාන වශයෙන්ම ඊට හේතුවී තිබුණේ එ.ජා.ප. යෙන් ඉදිරිපත් කරන ලද රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබීමය. 


කිසිම ප්‍රශ්නයක් වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ. වහාම පාර්ලිමේන්තුව කැඳවන්න...!” යි ජ.වි.පෙ. ජනාධිපතිනියට බලපෑම් කර තිබුණේ මේ අතරතුරය. 


ඒ අනුව බලවත් අකමැත්තෙන් වුවද පාර්ලිමේන්තුව යළි කැඳවීමට චන්ද්‍රිකා මැතිනියට සිදුවිය. ඒ මොහොත වනතුරුම පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවී තිබුණේ පොදු පෙරමුණ සන්ධානයටය. තමන් විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගන්නා ලෙස ඉල්ලමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයා වෙත භාරදී තිබුණද ජ.වි.පෙ. අදහස වී තිබුණේ එය එතරම් බරපතළ ලෙස ගණන් ගතයුතු දෙයක් නොවන බවය.


කෙසේ වෙතත් ජ.වි.පෙ. කැමැත්තට ඉඩදුන් ජනාධිපතිනිය තමන් විසින්ම කල්දමා තිබුණු පාර්ලිමේන්තු සැසිය යළි කැඳවීමට පියවර ගෙන තිබුණාය. ඒ අනුව ජ.වි.පෙ. සිතුවේ එ.ජා.ප. යේ විශ්වාස භංග යෝජනාව විවාදයට ගැණුනද තමන් සතු මන්ත්‍රීවරුන් දස දෙනාම ඊට එරෙහිව ආණ්ඩු පක්‍ෂය සමග එක්ව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ආණ්ඩුව එම මර උගුලෙන් ගලවා ගැනීමට හැකි බවය.

 

 

නිහාල් ජගත්චන්ද්‍ර