කිසිවකු හෝ නොදැන සිටි තවත් දෙයක් ඒ වනවිට සිදුවෙමින් තිබුණේය. එනම් එස්. බී. දිසානායක, මහාචාර්ය ජී. එල්. පීරිස්, මහින්ද විජේසේකර, බන්දුල ගුණවර්ධන වැනි ආණ්ඩුවට සම්බන්ධ තවත් හත් අට දෙනකු එස්. බී. ලාගේ නිවසට රැස්ව එක්තරා රහස් සාකච්ඡාවක් පැවැත්වීමය.ඒ කාලයේ සිටම මංගල සමරවීරට ඉතා කඩිනම් සහ කාර්යක්‍ෂම පෞද්ගලික බුද්ධි තොරතුරු ජාලයක් තිබිණි. එම පිරිස ඒ දිනවල නිරතුරුව පසුවූයේ එස්. බී. ඇතුළු ඇමැතිධුර භාර ගැනීමට නොපැමිණි ආණ්ඩු පක්‍ෂයේ දේශපාලනඥයන් කීපදෙනා කෙරෙහි තම උකුසු ඇස් යොමාගෙනය.


“සර්, එස්. බී. ඇමැතිතුමාගෙ ගෙදර තරමක් අමුතු විදියේ සාකච්ඡාවක් කෙරෙනවා. දැන් ඇමැතිවරු කට්ටියක්ම ආවා. ඉස්සරහ ගේට්ටුවයි දොරයි දෙකම වහලා...!” යි කියමින් තමන් විසින් සොයා ගෙන තිබූ අලුත්ම ආරංචිය මංගලගේ කනේ තැබූ එම පිරිස කියා සිටියේ නිවස තුළ කෙරෙන සාකච්ඡාව කුමක්දැයි දැන ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බවය.


“හරි මම ඒක හොයා ගන්නං... ඔය ගොල්ලොත් ඇහැ ගහගෙන ඉන්න” යි කී මංගල තමන් අසල සිටි ජාතික පුවත්පතක මාධ්‍යකරුවකුට යමක් පැවසීය.


ඒ සමගම ක්‍රියාත්මක වූ එම මාධ්‍යකරුවා තමන් අත තිබූ ජංගම දුරකථනයෙන් එස්. බී. ට ඇමතුමක් ගත්තේය. 


“යකෝ මම මේ උණ හැදිලා හඟුරන්කෙත ඉන්නේ. බොලා නිසා අපට ඩිංගක් ඇලවෙලා ඉන්නවත් ඉඩක් නැහැනේ.” 


“හරි ඇමැතිතුමා දැන් මොකක්ද සිද්ධ වෙන්නේ. ඔබතුමාලා විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දෙනවද? ඒකට විරුද්ධ වෙනවද?” යි ඔහු ඇසූ විට ලොක්කී සමග කුමන ප්‍රශ්නයක් තිබුණද තමන් කිසිසේත්ම ආණ්ඩුවට එරෙහිව ඡන්දය නොදෙන බව හෙතෙම කැට කඩා සහතික වෙමින් පැවසීය.


එහිදී ඔහුගේ සුපුරුදු දැඩි ස්වරය ඉස්මතුවීමෙන් මාධ්‍යකරුවාට හැඟී ගියේ ඊට වඩා වෙනස් අදහසකි. 


“කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ මල්ලී. හෙට අනිද්ද වෙන කොට උඹලටම පෙනේවි!” යි කී එස්. බී. දුරකථනය විසන්ධි කළේ උදේ රැයින්ම කොළඹ ආ යුතු බව කියමිනි.


“එස්. බී. ඒ කිව්වේ ලොකු බොරුවක්. එයා දැන් ඉන්නේ කොළඹ. හෙට කට්ටියම පනිනවා. අපේ කට්ටිය කිව්ව කතාව හරි....”


එස්. බී. සහ මාධ්‍යකරුවා අතර පැවැති දුරකථන සංවාදයට කන් දෙමින් සිටි මංගල ඒ මොහොතේම ජනාධිපති මන්දිරයට දුරකථන ඇමැතුමක් ගෙන ඒ සියලු දෑ චන්ද්‍රිකා මැතිනියට දැනුම් දුන්නේය. ඒ සමගම පක්‍ෂයේ ප්‍රබලයන් කීපදෙනෙකුට කතා කළ ඔහු හැකිතාක් ඉක්මනින් ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙස දැනුම් දී එසැණින් නිවසින් එළියට බැස්සේය.


ඔය කියන විදියට එස්. බී. ලත් එක්ක එතන නැති කීප දෙනෙකුත් හෙට අනිද්දම එළියට බහින්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් රනිල්ලගෙ විශ්වාස භංගෙන් අපි පරදිනවා...” යි තමන්ගේ විශ්වාසවන්තයන් හමුවේ කී ජනාධිපතිනිය අනතුරුව එම පිරිසගේ අදහස් විමසුවාය. 


“නෑ මැඩම්, යන අය ගියාවේ. අපි විශ්වාස භංගයට මූණ දෙමු. මොකද ජේ.වී.පී. එකත් අපට ඉන්නවානෙ....” යි මංගල දැඩි ලෙස කියා සිටියද සෙස්සන්ගේ මතය ඊට වඩා වෙනස් එකක් විය. 
“හරි මේ සම්බන්ධයෙන් ඔබතුමිය මොකක් කරන්නද හිතාගෙන ඉන්නේ?”

 

 

ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා එලෙස විමසූවිට ජනාධිපතිනිය කියා සිටියේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට ඉඩක් නොතබා තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාර පාර්ලිමේනතුව විසුරුවා හැරීම නුවණට හුරු බවය. එවිට එහි සිටි වැඩි දෙනකුගේ අදහස වී තිබුණේ දෑවුරුද්දක් ඇතුළත මහ මැතිවරණ දෙකක් පැවැත්වීමට සිදුවන බැවින් එය අධික වියදමක් යන සහ ජනතාව අතර අප්‍රසාදයට ලක්විය හැකි සිද්ධියක් වන බැවින් එවැනි අමනෝඥ තීන්දුවක් ගැනීම සුදුසු නැතැයි යන්නය.


ඔවුන් එසේ කියන්නේ ළඟ ළඟ මහ මැතිවරණ දෙකකට මුහුණ දීමට ඇති නොකැමැත්ත නිසා බව ජනාධිපතිනියට ඒවනවිටත් අවබෝධ වී තිබුණේය.


“ජනාධිපතිතුමියනි, ගතවූ වසර එකහමාරක් පමණවූ කාලය තුළ අපිට ජනතාවගේ සුබ සිද්ධියට අදාළව මොනවත් ඇඟට දැනෙන දෙයක් කරන්නත් බැරිවුණා...” යි ඔවුන් දිගින් දිගටම කියා සිටියද තමන් ඒ පිළිබඳව සුදුසු පියවරක් ගන්නා බව කී චන්ද්‍රිකා මැතිනිය කෙටි දැනුම් දීමකින් එම සාකච්ඡාවට පැමිණි සියළුම දෙනාට ස්තූති කිරීමට අමතක නොකළාය. එදින ඊට සහභාගී වූ දේශපාලනඥයන් පිරිස ජනාධිපති මන්දිරයෙන් පිටතට එනවිට අලුයම 2.00 ත් පසු වී තිබුණේය.


ඊට පසුදා පාර්ලිමේන්තුව නැවත කැඳවූ අවස්ථාවේ සභාගැබ තුළ අතිශය කලබලකාරී තත්ත්වයක් පැවතිණි. කතානායකතුමා මුලසුනට පැමිණ පාර්ලිමේන්තු සැසිය ආරම්භ වී මදවේලාවකින් දෙපක්‍ෂයේම මන්ත්‍රීවරුන්ගේ කෑ කෝ ගැසීම් මධ්‍යයේ ආණ්ඩු පක්‍ෂයේ හිටපු ඇමැතිවරු පිරිසක් විපක්‍ෂයට ගොස් අසුන් ගත්හ. එවිට දෙපක්‍ෂයේම මන්ත්‍රීවරුන් අපහාසාත්මක අයුරින් ඔවුනොවුන්ට පරුෂ වචනයෙන් බැණ ගන්නා හඬින් සබා ගැබ ගිගුම් දුන්නේය. 


එලෙස විපක්‍ෂයට ගොස් අසුන්ගත් හිටපු ඇමැතිවරුන් වූයේ මහාචාර්ය ජී. එල්. පීරිස්, එස්. බී. දිසානායක, මහින්ද විජේසේකර, බන්දුල ගුණවර්ධන යන මහත්වරුය. ඊට අමතරව තවත් මන්ත්‍රීවරු කීප දෙනෙක් ද ඔවුන් අනුගමනය කරමින් විපක්‍ෂයේ අසුන් ගත්හ. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් රොත්ත පිටින් ඔවුන් අසලට ගොස් සුබපතන අයුරු පෙනුණ අතර ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අතපය දිගු කරමින් ඔවුන්ට දිගින් දිගටම අපහාස කළේ එම පිරිස මුදල් පොට්ටනිවලට යටවී තම ආත්ම ගරුත්වය පාවා දුන් බවට චෝදනා කරමිනි. 


මේ අතර ඉදිරි පේළියක සිටි ආචාර්ය සරත් අමුණුගම දැඩි ස්වරයකින් යුතුව ආවේගශීලීව කථාවක් කළද සෙසු මන්ත්‍රීවරුන්ගේ කෑකෝ ගැසීම් මධ්‍යයේ ඔහු කී බොහෝ දෑ සබාගැබේ ඉහළ මහලේ සිටි මාධ්‍යකරුවන්ට පවා නොඇසිණි. එම කලබලකාරී තත්ත්වය පාලනය කරගත නොහැකිව කතානායකතුමා සභාව දින නියමයක් නොමැතිව කල්දමා අසුනෙන් ඉවත්ව ගිය අතර එදින සවස්වරුවේ රට පුරා පැතිරුණු දූසමාන ආරංචියකින් කියැවුණේ ජනාධිපතිනිය තමන් සතු විධායක බලතල යටතේ එදින මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවය. “විශ්වාස භංග යෝජනාවකින් පැරදිච්ච පක්‍ෂයක් හැටියට මහ මැතිවරණයකට යනවට වඩා මේ විදියට පාර්ලිමේන්තුව විසුරුවා හරින එක හොඳයි කියලයි මට හිතෙන්නේ...!” කී ඇය එවැනි දැඩි තීන්දුවක් ගෙන තිබුණද ඊළඟට පැවැති මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ පරාජයට පත්වූයේය.

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර