එක් දහස් නවසිය හැටේ මාර්තු දහ නව වැනිදා පැවති මැතිවරණයේදී වැඩිම ආසන ගණන හිමිකර ගත්තේ ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් පැවති එක්සත් ජාතික පක්‍ෂයයි. වැඩිම ආසන ගණන වශයෙන් එම පක්‍ෂයට හිමිව තිබුණේ මන්ත්‍රීධූර පනහකි. එසේද වුවත් අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා රජයක් පිහිටුවන ලෙස ඩඞ්ලි සේනානායක මහතාට ආරාධනා කළේය. එහිදී අගමැති ධූරයේ දිවුරුම් දුන් ඩඞ්ලි සේනානායක මහතාට තම ඇමති මණ්ඩලය නම් කරන ලෙස අග්‍රාණ්ඩුකාරවරයා දැනුම් දුන්නේය. ඔබ විශ්වාස නොකරනු ඇත. සමස්ත ලංකාව වෙනුවෙන් පත් කළ ඇමති මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව වූයේ අට දෙනෙකු පමණි. එහි අමාත්‍යාංශය බෙඳුණේ කුමන පදනමක් මත දැයි මා නොදන්නා නමුදු ඇමතිවරුන් සහ ඔවුන්ගේ විෂය පථයන් බෙදී තිබුණේ මේ ආකාරයටය. 
 
1. අගමැති, ආරක්‍ෂක සහ විදේශ - ඩඞ්ලි සේනානායක
2. අධ්‍යාපන සහ සංස්කෘතික, කම්කරු කර්මාන්ත හා ධීවර ඇමති බර්නාඞ් අළුවිහාරේ
3. කෘෂිකර්ම ඉඩම් ආහාර වානිජ හා වෙළඳ ඇමති ඇම්. ඩී. බණ්ඩා
4. අධිකරණ ඇමති - උත්තර මන්ත්‍රී එඞ්මන් ජේ. කුරේ
5. මුදල්, පළාත් පාලන හා නිවාස ඇමති ජේ. ආර්. ජයවර්ධන
6. ජනසතු සේවා, නාවුක සහ ගමනාගමන, තැපැල්, රජයේ වැඩ සහ විදුලි බලය ඇමති මොන්ටේගු ජයවික්‍රම
7. ස්වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන ඇමති - ඇම්. සී. ඇම්. කලීල්
8. සෞඛ්‍ය සහ සමාජසේවා ඇමති, උත්තර මන්ත්‍රී දොස්තර ඇම්. වී. පී. පීරිස්
 
මෙම පැරණි තොරතුරු අපේ මතකයට නැගුණේ මෙම ජූනි 12 වැනි දින අලුතෙන් දිවුරුම් දුන් රාජ්‍ය අමැතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය ඇමැතිවරුන් හතර දෙනෙකුද ගැන මාධ්‍ය වාර්තා පළවිය. නියෝජ්‍ය ඇමතිධූරයක් සඳහා නම් කළ එක් මන්ත්‍රීවරයෙකු විදේශගතව සිටින නිසා එම දිව්රුම් දීම මතු දිනක සිදුවනු ඇත. මේ අනුව වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව කැබිනට් ඇමතිවරු 41 රාජ්‍ය ඇමතිවරු 23 සහ නියෝජ්‍ය ඇමතිවරුන් 22ක් ආදී වශයෙන් සම්පූර්ණ වශයෙන් අසූහය දෙනෙකුගෙන් සමන්විත වන බව කියවේ. මාධ්‍යයෙන් මේ බව ප්‍රකාශ වීමෙන් පසු දුම්රියේදී බස් රියේදී සහ මහජනයා වෙතින් රජයට කෙරෙන ගුණ ගායන සහ ප්‍රශංසා අපමණ බව පෙනේ. සමහර ප්‍රභූවරුන්ගේ මියගිය ඥාතීන් පවා සිහිපත් කරනු ඇසේ. එපමණක් නොව යම් යම් අංශවල මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස කටයුතු කරන මුඛරි පුද්ගලයන් දෙන කදිම පිළිතුරු ගැනද ජනතාව “පැහැදීමෙන්” යුතුව කතා කරනු ඇසේ. කෙසේ වූවද එදා ඩඞ්ලි සේනානායක රජයේ ඇමති ධූර අට අසූ ගණනකට නැගීමේ කතාවද රසවත් එකකි. මෙයට කොයි කව්රුත් අඩු වැඩි වශයෙන් පක්‍ෂ භේදයෙන් තොරව දායක වී ඇත. එක් අවස්ථාවකදී ඇමතිධූර අඩුකිරීමට උත්සාහ කළ ආණ්ඩුවකට ගෙදර යාමට සිදුවූ බවද අපට මතකය. අට දෙනාගේ ඇමති මණ්ඩලය මේ තරම් විශාල වීමට පැටව් ගැසීමේ කතාන්තරය අපි විමසා බලමු.
 
හැටේ මාර්තුවේ බලයට පත් ඩඞ්ලි සේනානායක රජය වැඩිකල් පැවතුණේ නැත. රාජාසනයේ කතාවට. ආණ්ඩුකාරතුමාට ස්තුති කිරීමේ යෝජනාව පරාජය වීම නිසා පාර්ලිමේන්තු විසුරුවා හැර නැවත මහ මැතිවරණයකට යොමු වීමට ශ්‍රී ලංකාවාසී ජනතාවට සිදුවිය. එක් වසරක් තුළ මැතිවරණ දෙකකට මුහුණ දීමේ කටුක අත්දැකීමට ඒ අනුව හැකිවිය. 1960 ජූලි 20 වැනිදා පැවති මහා මැතිවරණයේදී ශ්‍රී.නි.පය තනි පක්‍ෂයක් ලෙස බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වූ නිසා එහි නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධූරයට පත් වූවාය. ඒ අනුව ඇයගේ ඇමති මණ්ඩලය 1960 ජූලි 23 වැනිදා අග්‍රාණ්ඩුකර ඔලිවර් ගුණතිලක මහතා ඉදිරියේ දිව්රුම් දුන්නේය. එහි සාමාජික සංඛ්‍යාව එකොළොස් දෙනෙකු වූවේය. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගුරුකොට ගනිමින් මෙරට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය 1947 දී ඇති කරන ලද බව අපි දනිමු.
ඇමතිවරයෙකුට තම විෂය පථය විධිමත්ව කළමනාකරණය කරගැනීම පහසු වීම සඳහා උප ඇමතිවරයෙකු පත් කිරීමේ චාරිත්‍රයක් මෙරටද පැවතුණි. එම තනතුර එකල හැදින්වූයේ පාර්ලිමේන්තු ලේකම් යන නාමයෙනි. එය එසේම අනුගමනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින්ද උප ඇමතිවරු එකොළොස් දෙනෙකු පත් කළ බව ලේඛනගතව ඇත. ඒ අය නම්.
 
1. කර්මාන්ත ස්වදේශ කටයුතු හා සංස්කෘතික උප ඇමති - ඩබ්ලිව්. පී. ජී. ආරියදාස මහතා
2. සෞඛ්‍ය - ජේ. පී ඔබේසේකර මහතා
3. මුදල් ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා එම තනතුරට අමතරව රාජ්‍යාරක්‍ෂක හා විදේශ කටයුතු උප ඇමති
4. අශෝක කරුණාරත්න මහතා - අධිකරණ 
5. වී. ටී. ජී. කරුණාරත්න මහතා - අධ්‍යාපන හා ගුවන් විදුලි 
6. ඩී. ඇස්. ගුණසේකර මහතා - වානිජ වෙළඳ ආහාර හා නැව් කටයුතු.
7. මුදියන්සේ තෙන්නකෝන් මහතා - කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග සහ විදුලිබල.
8. ටී. බී. තෙන්නකෝන් මහතා - ප්‍රවාහන හා රජයේ වැඩ.
9. ඇම්. පී. ද ඉසෙඞ් සිරිවර්ධන මහතා - කම්කරු හා ජනසතු සේවා.
10. දයා ටී. පැස්කුවල් මහතා - පළාත් පාලන හා නිවාස 
11. ජෝර්ජ් රාජපක්‍ෂ මහතා - මුදල්
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෙම රජයට 1964 ජූනි 11 වැනිදා ලංකා සමසමාජ පක්‍ෂයද එක් වී හවුල් ආණ්ඩුවක් පිහිටුවීම නිසා එම පක්‍ෂයේ තිදෙනෙක් ඇමති ධූර භාර ගත්හ. තවත් උප ඇමැතිවරයෙක් සහ උප ඇමැතිවරියක්ද පත් කරන ලදී.
 
1. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා - මුදල් ඇමති.
2. චම්ලි ගුණවර්ධන මහතා - රජයේ වැඩ
3. අනිල් මුණසිංහ මහතා - ප්‍රවාහන
 
විවියන් ගුණවර්ධන මහත්මිය- පළාත් පාලන සහ ස්වදේශ කටයුතු උප ඇමතිනිය සංස්කෘතික උප ඇමති චන්ද්‍ර ගුණසේකර මේ අනුව තනතුරු බෙදුණු ආකාරය දැක ගත හැකි විය. එම රජය 1964 දෙසැම්බර් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී පරාජය වීම නිසා තවත් මැතිවරණයක් එළඹුණි. එය යෙදී තිබුණේ 1965 මාර්තු 22 වැනිදාටය.
 
එහිදී පැවති සියලුම පක්‍ෂ කදවුරු දෙකකට බෙදී සටන ගෙන යන ආකාරය දක්නට ලැබුණි. පැවති රජයේ හිතවත් කණ්ඩායම සමසමාජ කොමියුනිස්ට් සහ ශ්‍රී.ල.නි.ප යන පක්‍ෂ තුන එක් සන්ධානයක් ලෙස තරග කළ අතර එය හැදින්වුණේ තුන් හවුල යනුවෙනි. පාර්ලිමේන්තුවේදී රජය පරාජය කිරීමට එකමුතු වූ බලවේග විවිධාකාර මත දරන ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලින් සැදුණේ වී නමුදු මහ මැතිවරණයේදීද අන්‍යෝන්‍ය සහයෝගයෙක් යුතුව තුන් හවුලට එරෙහිව ඔව්හු සටන් වැදුණහ. එහි කණ්ඩායම් හතක් ගොනු වී තිබුණි. කෙසේ වූවත් ජයග්‍රහණය හිමිවූවේ කණ්ඩායම් හතේ සන්ධානයටය. එහි ප්‍රධාන දේශපාලන බලවේගය වූ එක්සත් ජාතික පක්‍ෂයට තනිව හිමිව තිබුණේ ආසන 66ක් පමණි. එනිසා අනෙක් පක්‍ෂ හයේද සහය ඇතිව ජාතික රජයක් පිහිටුවීම සිදු විය. එහි අගමැතිවරයා ලෙස නැවතත් පත්වූයේ ඞ්ඩලි සේනානායක මහතාය. පක්‍ෂ හතක් නියෝජනය සිදුවන ආකාරයට ඇමති මණ්ඩලය පත් කිරීම සිදු විය යුතු විය.
 
එමෙන්ම තෙවරක් ආණ්ඩුව පිහිටු වූ පක්‍ෂයක් වශයෙන් එහි ජ්‍යෙෂ්ඨයන්ටද ඇමතිධූර ලබා දිය යුතු විය. එනිසා එවර ඇමතිධූර වැඩි වූ බව පෙනී ගියේය. ඒ අනුව රජයට සම්බන්ධ පක්‍ෂ වශයෙන් ෆෙඩරල් පක්‍ෂයට එක් ඇමතිධූරයක්ද රජය පෙරළීම සඳහා ආණ්ඩුවේ සිට විපක්‍ෂයට එක් වූ සී. පී. ද සිල්වා මහතාගේ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්‍ෂයට ඇමතිධූර තුනක්ද මහජන එක්සත් පෙරමුණට එක් ඇමතිධූරයක්ද හිමි වූ අතර කේ. ඇම්. පී. රාජරත්න මහතාගේ ජාතික විමුක්ති පෙරමුණෙන් ආසනයක් දිනා සිටි ඔහුගේ බිරිද වූ කුසුමා රාජරත්න මහත්මියට උප ඇමති පදවියක් ලැබුණි. එහිදී ඇමතිධූර දොළහක් එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට හිමිවිය. ඒ අනුව ඇමතිධූර දාහතක්ද උප ඇමතිධූර 17ක්ද ක්‍රියාත්මක විය. සම්පූර්ණ නිල ආයුකාලය වැලදීමට භාග්‍ය ලැබු ප්‍රථම ආණ්ඩුව මෙය වූ අතර එනිසා පාර්ලිමේන්තුව විසිරුවා හරින ලදුව ඊළඟ මැතිවරණය 1970 මැයි 27 වැනිදා පැවැත්වුණි. 
 
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂයද ඇතුළත් වූ තුන්හවුල තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහිතව ආණ්ඩුව අත් කර ගත්තේය. එම රජයේ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් 90ක්ද සම සමාජයට මන්ත්‍රීවරුන් 19ක්ද කොමියුනිස්ට් පක්‍ෂයට මන්ත්‍රීවරු 6ක්ද සිටි නිසා එම පක්‍ෂ අතර ඇමති ධූර බෙදී ගියේය. එවර ඇමති සංඛ්‍යාව 21ක් වූවේය. එම පිරිස 1970 මැයි 31 වැනිදා එවකට අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඉදිරියේ දිව්රුම දුන්හ.
 
පත් වූ අමාත්‍යවරු පිරිසට සමගාමීව උප ඇමතිවරුද පත්කර ගන්නා ලදහ. එම රජයේ පාලනය කාලය තුළදී 1972 මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් විය. නව ජනරජ ව්‍යස්ථාව අනුව පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ නොයෙක් වෙනස්කම් සිදු විය. පාර්ලිමේන්තුව හැදින්වෙන නාමය ජාතික රාජ්‍ය සභාව ලෙස වෙනස් විය. එතෙක් උප ඇමතිවරුන් හෝ පාර්ලිමේන්තු ලේකම්වරුන් ලෙස හැදින් වූ පදවිනාමය එතැන් සිට නියෝජ්‍ය ඇමතිවරු නමින් සඳහන් විය. 
 
ආණ්ඩුවේ පස් අවුරුද්ද නව ව්‍යවස්ථාවෙන් තවත් දෙකකට දීර්ඝ විය. එසේ හත් අවුරුදු පාලනයක් අවසානයේ 1977 ජූලි 21 වැනිදා මැතිවරණයකට මුහුණ දීමට රජයට සිදු විය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්‍ෂය දීපව්‍යාප්ත ජයග්‍රහණයක් අත්කර ගත් හයෙන් පහක බලයක් විය.
 
ජේ. ආර්. ජයවර්ධන මහතා අගමැති තනතුරට පත් වූ අතර නාම මාත්‍ර ජනාධිපති විලියම් ගොපල්ලව මහතා ඉදිරියේ 1977 ජූලි 23 වැනිදා දිව්රුම් දුන් ඇමති මණ්ඩලය මෙසේය. එය සංඛ්‍යාත්මකව විසි දෙකකි. එවකට පැවති ආකාරයට අනුව එයද වැඩි සංඛ්‍යාවකි. 
 
1. අග්‍රාමාත්‍ය, ආරක්‍ෂක, ආර්ථික කටයුතු හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමති - ජේ. ආර්. ජයවර්ධන
2. පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් ඇමති සහ සභානායක ආර්. ප්‍රේමදාස
3. වෙළඳ ඇමති - ලලිත් ඇතුළත්මුදලි
4. මුදල් හා ක්‍රම සම්පාදන ඇමති - රොනී ද මැල්
5. අධිකරණ ඇමති - කේ. ඩබ්ලිව්. දේවනායගම්
6. වාරිමාර්ග, මහාමාර්ග සහ විදුලිබල ඇමති - ගාමිණී දිසානායක
7. විදේශ ඇමති - ඒ. සී. ඇස්. හමීඞ්
8. ආහාර හා සමූපකාර ඇමති - එස්.බී හේරත්
9. සංස්කෘතික ඇමති - ඊ. ඇල්. බී. හුරුල්ලේ
10. තැපැල් හා විදුලි සංදේශ ඇමති ෂෙල්ටන් ජයසිංහ
11. ධීවර ඇමති - ඇස්. ද ඇස්. ජයසිංහ
12. සෞඛ්‍ය ඇමති - ගාමිණී ජයසූරිය
13. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති - විමලා කන්නන්ගර
15. කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමති - සී. සිරිල් මැතිව්
16. පේෂ කර්මාන්ත ඇමති විජයපාල මැන්ඩිස්
17. ප්‍රවාහන ඇමති - ඇම්. එච්. මොහොමඞ්
18 පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමති - ඇම්. වින්සන්ට් පෙරේරා
19. කෘෂිකර්ම හා ඉඩම් ඇමති - ඊ. ඇල්. සේනානායක
20. කම්කරු ඇමති - සී. පී. ජේ සෙනෙවිරත්න
21. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති නිශ්ශංක විජේරත්න
ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමති ඩී. බී. විජේතුංග
 
අගමැතිවරයා විසින් මෙම අමාත්‍යාංශවලට අදාළව නියෝජ්‍ය ඇමතිවරුද පත් කරන ලදී.
 
එතෙක් ක්‍රියාත්මක වූ 1972 ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරමින් 1978 පෙබරවාරි මස 4 වැනි දින සිට ක්‍රියාත්මක වන අයුරින් නව ව්‍යවස්ථාවකින් පාලනය කිරීමට ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජය විසින් පියවර ගන්නා ලදී. ඒ අනුව විධායක ජනාධිපති ධූරයක්ද නිර්මාණය විය. එම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව දිස්ත්‍රික් ඇමතිවරුන් පත් කිරීමේ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක විය. එය ප්‍රාදේශීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ගන්නා පියවරක් බව ප්‍රකාශ විය. ඒ අනුව පරිපාලන දිස්ත්‍රික්ක 24 සඳහා අමාත්‍යවරුන් විසි හතර දෙනෙක් පත්වූහ. එය ඇමැතිවරුන් වැඩිවීමේ ප්‍රබල සාධකයක් වුවේය. එම ඇමතිවරුන් නම්.
 
බදුල්ල - ආර්. ඇම්. අප්පුහාමි
රත්නපුර - එල්. එම්. එල්. අබුසාලි
මොණරාගල - ආර්. ඇම්. අබේකෝන්
අනුරාධපුර - එච්. බී. අබේරත්න
මාතර - කීර්ති අබේවික්‍රම
මාතලේ - කේ. ඩබ්. ආර්. ඇම්. ඒකනායක
මඩකළපුව - එම්. කනගරත්නම්
ගාල්ල - රූපා කරුණාතිලක
ගම්පහ - ටියුඩර් ගුණසේකර 
අම්පාර - පී. දයාරත්න.
පොළොන්නරුව - මෙරිල් ද සිල්වා
මහනුවර - ඩබ්ලිව්. ඇම්. පී. බී. දිසානායක
ත්‍රිකුණාමලය - එච්. ජී. පී. නෙල්සන්
කුරුණෑගල - ගාමිණී ජයවික්‍රම පෙරේරා
කොළඹ - වීරසිංහ මල්ලිමාරච්චි මහතා
මන්නාරම - එම්. ඊ. එච්. මහරුෆ්
වව්නියාව - ජී. ඩී. මහින්දසෝම
පුත්තලම - එච්. බී. වන්නිනායක
හම්බන්තොට - පී. ඇම්. බී. සිරිල්
කෑගල්ල - ඇන්. ඒ. සෙනෙවිරත්න
කළුතර - ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි
යාපනය - යූ. බී. විජේකෝන්
මුලතිව් - ඒ. ආර්. මන්සූර් යන මහත්වරු සහ 
නුවරඑළිය - රේණුකා හේරත් මෙනවිය
 
ජේ. ආර්. ජයවර්ධන මහතා එතෙකින් නොනැවතී තවත් නව සම්ප්‍රදායක්ද ගොඩනැගුවේය. එනම් කැබිනට් නොවන ඇමතිවරුන් යන නව සංකල්පයක් ආරම්භ කිරීමයි. මෙය මුල් යුගයේ හැදින්වුණේ ව්‍යාපෘති ඇමති යන නිල නාමයෙනි. මෙය කැබිනට් අමාත්‍යවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා අතරමැදි තත්ත්වයක් ලෙස ජනතාව වටහාගෙන තිබුණු බවක් අපට මතකය. අධ්‍යාපන සේවා (කැබිනට් නොවන) අමාත්‍යධූරයට පත් ලයනල් ජයතිලක මහතාත් දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ ධර්මසේන ආටිගල මහතාත් මෙම ව්‍යාපෘති ඇමති ධූර ලැබූ මුල්ම දෙදෙනාය. වර්තමානයේ රාජ්‍ය ඇමති ධූරය ලෙස හැදින්වෙන තනතුර ඇති කෙරුණේ ඒ ආකාරයෙනි. මේ අතරවාරයේ සිදුවූ තවත් ප්‍රවණතාවක් නම් විපක්ෂයෙන් ඉවත්ව රජයට සම්බන්ධ වන සෑම මන්ත්‍රීවරයෙකුටම පාහේ කුමක් හෝ ඇමතිධූරයක් ලැබීමයි. එමෙන්ම බලාපොරොත්තු වීමයි. ද්‍ර.එ.වි. පෙරමුණේ සිට පැමිණි සී. රාජදොරෙයි, ඇම්. කනකරත්නම් යන මහත්වරුන්ට අමාත්‍යධූර ලැබුණේ ඒ ආකාරයටය.
 
ප්‍රථම ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා විශ්‍රාම යාමෙන් පසුව පත් වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන කාලයේදී මෙම තත්ත්වය තවත් උග්‍ර වූ බව පෙනී ගියේය. ව්‍යාපෘති ඇමැතිවරුන් පනහක් පත් කිරීමට ඔහු කටයුතු කළේය.
 
දහහත් වසරක එ.ජා.ප පාලනය නිමා කරමින්- 1994 මහා මැතිවරණයෙන් ජයගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධූරයට පත් වූවාය. එම ආණ්ඩුවේ රාජ්‍ය නායකයා වූවේ එ.ජා.පයේ ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා වීම විශේෂත්වයකි. එම රජයේ ඇමතිවරු 23ක් සහ උප ඇමතිවරු 23ක්ද දිව්රුම් දුන්හ.
 
මෙම තත්ත්වයද රටට ඔරොත්තු නොදෙන තරම් බවට මහජන මතයක් ගොඩනැගෙමින් තිබුණි. පනහකට ආසන්න ඇමතිවරුන් නඩත්තු කිරීමට මහජන මුදල් යෙදවීම අපරාධයක් බව බොහෝ දෙනා පැවසූහ. එනිසා මෙය උග්‍ර සටන් පාඨකයක් බවට පත්වූවේ නිරායාසයෙනි. මෙහිදී ඇති වූ බරපතළ අර්බුදයක් හේතු කොටගෙන රජය බිද වැටීමේ අනතුරක්ද නිර්මාණය වූ බව සැකෙවින් සඳහන් කළ හැක. එහිදී ජනතා විමුක්ති පෙරමුණ සමග පරිවාස රජයක් ඇති කරගත් චන්ද්‍රිකා ජනාධිපතිනිය රජයේ ඇමතිධූර විස්සකට සීමාකරන බවට පොරොන්දුවක්ද දුන්නාය.
 
කාලය ගලා ගියේ මේ අයුරිනි. අද මුළු ඇමති සංඛ්‍යාව 86ක් බව කියවේ. මේසා විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට, වරප්‍රසාද දීමට අපේ ජනතාවට ශක්තිය නැති බව නම් ඇත්තකි. කෙසේ වූවත් අවසාන තීන්දුව රැදී ඇත්තේ ජනතාව අත බව අපි දනිමු. චතුර කථිකයන් කුමන ආකාරයෙන් විග්‍රහ කළත් සිදුවන්නේ කුමක්දැයි බොහෝ දෙනා දනිති. පළාතක් පාසා තවත් ඇමති මණ්ඩල නවයක් ක්‍රියාත්මක වන බව අප මෙහිදී අවධානයට ලක් කළේ නැත.
 
 
 
 
 
 
 
සෝමසිරි වික්‍රමසිංහ