බැඳුම්කර වංචා චෝදනා නොලද මහ බැංකු අධිපතිවරයකුගේ කතාව 02

 

මෙම උපාධි ලබා ගැනීමෙන් පසු මෙරට වෙළඳ ආර්ථික හා මූල්‍යමය ක්ෂේත්‍රවල රැකියා ගණනාවක් දැරීමෙන් පසු ලංකා මහ බැංකුවේ අධිපති ජෝන් එක්ස්ටර්ගේ සිය මව් රටට නික්ම යාමෙන් පසු එම තනතුරට පත් කර ගනු ලැබුවේ ඇන්. යූ. ජයවර්ධන මහතාය. ඈත රුහුණේ තංගල්ල වැනි දුෂ්කර ප්‍රදේශයක දුප්පත් පවුලක ඉපිද එකල සමාජයේ රුහුණේ ගම්බද ඉහළ තලයේ සිටි මුදලි මුහන්දිරම් සහ ගම්බාරවරුන්ගේ කොතෙකුත් බාධාකිරීම් සහ එදා පැවති සමාජ තහංචි බිඳ ගෙන මහ බැංකුවේ අධිපති තනතුරට පත්වීම අසිරිමත් සිදුවීමක් විය. 

අපේ කථාවේ ප්‍රස්තුතයට ප්‍රවේශය ලැබීමට නම් 1952, 1953 හා 1954 යන වර්ෂවල මෙරට පැවති දේශපාලන ව්‍යාකුලතාව කෙටියෙන් අවබෝධ කර ගත යුතුය. නිදහස් ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වූ ඩී. ඇස්. සේනානායක මහතා දිනපතා අලුයම ශරීර අභ්‍යාසය සඳහා අශ්වයෙකු පිට නැගී ගාලුමුවදොර තණතිල්ලේ කෙටි සංචාරයක නිරත වීම සිරිතක් කොටගෙන සිටියේය. 1951 මාර්තු 21 වැනි දින එතුමා මෙසේ ගමන් කරද්දී අගමැති තුමා අසුපිටින් ඇඳ වැටී බරපතළ ලෙස තුවාල ලැබීය. නොයෙක් ප්‍රතිකාර කරන ලද්දේ වී නමුදු සිහි නොලබාම පසුදා (මාර්තු 22) එතුමා කලුරිය කළේය. එය ශ්‍රී ලාංකීය ජන සමාජය ඉතාමත් කම්පනයට පත් කළ ඛේදවාචකයක් විය. නව අගමැතිවරයෙකු පත් කර ගැනීමේ අවස්ථාව එළඹුණි. ජ්‍යෙෂ්ඨත්වයෙන් සුදුස්සා වූවේ සභානායක සර්. ජෝන් කොතලාවල මහතාය. එහෙත් සේනානායක කැබිනට් මණ්ඩලයේ බහුතරය කොතලාවල මහතා යටතේ සේවය කිරීම ප්‍රතික්ෂේප කළහ. එයට හේතුව වූයේ ඔහු වහා කිපෙනසුලු, විචාර බුද්ධියෙන් කටයුතු නොකර බාහු බලය ගැන නිතරම විශ්වාසය තබා ක්‍රියා කරන ප්‍රචණ්ඩකාරියෙකු වූ නිසාය. නැසීගිය අගමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර ඩඞ්ලි සේනානායක මහතා අගමැතිධුරයට පත් කරන්නැයි මෙම ඇමැතිවරු ඉල්ලා සිටියහ. මහා සංඝරත්නයේ ඉල්ලීම් වූයේද එයයි. අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිවරයා අගමැති ධුරයට ඩඞ්ලි. සේනානායක මහතා පත් කරනු ලැබීය. මේ ඇසූ සර් ජෝන් කෝපයෙන් වියරු වැටුණේය. ‘ඕකා සෝල්බරියා නෙමෙයි දියබරියා. මම මේ පිස්තෝලෙන් වෙඩි තියලා දිය බරියෙකු වගේ ඕකව මරා දමනවා’ යැයි සිය නිවස වූ රත්මලාන කඳවල වලව්වේ සිට මරහඬ දුන්නේය. ඔහු දේශපාලනය ගැනද කලකිරුණේය. එංගලන්තයේ ගම්බද ප්‍රදේශයකින් ගොවිපළක් මිලදී ගෙන නිහඬව දිවි ගෙවීම සර් ජෝන්ගේ අරමුණ වූ බව කියවේ. කොතලාවල යනු මහා පරිමාණයේ ධනවතෙකි. ඩී. සී. ජී. ආටිගල මුදලිතුමාගේ මහා සාගරය පරදවන තරම් වූ ධනස්කන්ධය ඔහුගෙන් පසු හිමිවූයේ ඔහුගේ දියණියන් තිදෙනාටය. එයින් වැඩිමහල් දියණිය වූවේ සර් ජෝන්ගේ මව වූ ඇලිස් කොතලාවල මහත්මියයි. අක්කර දහස් ගණනක ඉඩම් මෙන්ම දවටගහ පතල, මදුරාගොඩ පතල ආදී මිනිරන් පතල් කීපයක හිමිකම ඔහුට තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ තමාගේ මුදල් විදේශයකට ගෙන යාමට මහ බැංකුවේ අවසරය පමණි. එහෙත් එදා පැවති මුදල් රෙගුලාසි අනුව එයට කොහෙත්ම ඉඩක් තිබුණේ නැත. මහ බැංකුවට මෙම ඉල්ලීම් ඉදිරිපත් කළ විගස එහි අධිපති ඇන්. යූ. ජයවර්ධන, කොතලාවලට පවතින නීතිමය තත්ත්වය පැහැදිලි කර දීමෙන් පසු මෙසේ උපදෙසක්ද දුන්නේය. “ඔබතුමා රජයේ බලවතෙක් නිසා නීතියේ වෙනස්කමක් කිරීමෙන් මෙම විනිමය මාරුව සිදු කරගත හැකියි. අපි එහෙම කරමු.”


සර් ජෝන් කොතලාවල නමැති දැවැන්ත මිනිස් පෞර්ෂය තුළ කළු චරිතය වහාම පිටතට පැන්නේය. ‘මම කව්රුන් කියලද හිතුවේ. මට කරපු මේ මදි පුංචිකම කිසි දවසක අතහරින්නේ නැහැ. කොකාට වාරයක් නම් තිත්තයාටත් දිනයක් එනවා. මම එදාට නුඹෙන් පළිය ගන්නවා.’ යැයි ගර්ජනා කළේය. තිත්තයාගේ වාරය පැමිණීමට වැඩි කලක් ගත නොවීය.


1953 අයවැය ලේඛනය මගින් විශාල බදු බර වැඩිවීමක් සහ බඩු මිල වැඩිවීමක් යෝජනා කරන ලදී. එයට එරෙහිව දැවැන්ත ජනතා සටන් ව්‍යාපාරයක් ඇති විය. එය නම් කෙරුණේ සමස්ත මහා හර්තාලය යනුවෙනි. මෙම අරගලයේදී ආරක්ෂක හමුදා වෙඩි පහරින් විරෝධතා කරුවන් නව දෙනෙකුගේ ජීවිත අහිමි විය. මෙම චෝදනාව කෙළින්ම එල්ල වූයේ ඩඞ්ලි. සේසානයක මහතාටය. නිර්මල ප්‍රජාතන්ත්‍රවාදියකු වූ ඩඞ්ලි අගමැතිවරයා එම වගකීම භාරගනිමින් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූවේය. නව අගමැතිවරයා ලෙස පත්වූයේ සර් ජෝන් කොතලාවල මහතාය.


අගමැති ධූරයට පත් වූ විගසම වාගේ සර් ජෝන් කළ ප්‍රථම කටයුත්තක් වූවේ මහ බැංකු අධිපතිවරයා වශයෙන් ඇන්. යූ. ජයවර්ධන මහතා සිදු කරන ලදැයි කියන සිදුවීම් කීපයක් සම්බන්ධයෙන් සොයා බැලීමට විමර්ශන කොමිසමක් පත් කිරීමයි. ඒ. එච්. එච්. කනගරත්න සහ එච්. ඒ. ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සහ සර් එරික් ජෑන්ස් යන අය කොමිසමේ සභිකයෝ වූහ. එයට සොයා බැලීමට නිර්දේශව තිබුණේ මෙපරිදිය. නෙවිල් උබේසිංහ ජයවර්ධන සහ ඔහුගේ බිරිද ගර්ට්රූඞ් ජයවර්ධනගේ කටයුතු සහ සාමාන්‍ය ක්‍රියා කලාපයද, මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් කිරීමට පෙර සහ පසුව ඔවුන් දෙදෙනා විසින් බැංකු සංස්ථා සහ අනෙකුත් පුද්ගලයන් සමඟ සිදුකර ඇති මූල්‍ය ගනුදෙනු සහ විශේෂයෙන්ම පහත දක්වා ඇති කරුණු 49 පිළිබඳව විමර්ශනය.


කොමිසම දින විස්සක් පුරා සිය විභාග කටයුතුවල නිරත විය. ජයවර්ධන මහතා වෙනුවෙන් රාජ නීතිඥ ඩී. ඇස්. ජයවික්‍රම සහ රාජ නීතිඥ ජී. ටී. සමරවික්‍රම යන මහත්වරු පෙනී සිටියහ. විභාගයෙන් පසුව කොමිසම ලබා දුන් තීන්දුව වූවේ 1955 ඔක්තෝම්බර් 15 වන දින ඇන්. යූ. ජයවර්ධන මහතා මහ බැංකුවේ සේවයෙන් ඉවත් කළ යුතු බවය. අවුරුදු 28ක් රාජ්‍ය සේවයේ විවිධ තනතුරු දරමින් ඉටු කළ සේවය මෙසේ අවමානයෙන් යුතුව නිමාවට පත් විය. බැංකුවලින් ණය ලබාගෙන තැනූ නිවස විකුණන්නට ඇන්. යූ. ජයවර්ධන මහතාට සිදුවූයේ නඩු කටයුතුවලට වියදම් කරනු පිණිසය.

 

 

1956 මහා මැතිවරණයෙන් සර් ජෝන් කොතලාවල මහතාගේ රජය පරාජයට පත් විය. ඔහුගේ අපේක්ෂාව පරිදි එංගලන්තයේ ගොවිපොළක් මිලදී ගැනීමට මුදල් රැගෙන යාමට නව අග්‍රාමාත්‍ය ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අවසර දුන්නේය. කොතලාවල මහතා බි්‍රතාන්‍යයේ පදිංචියට ගියේය. තමාට සිදු වූ අසාධාරණය ගැන හිටපු මහ බැංකු අධිපති ඇන්. යූ. ජයවර්ධන මහතා අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය. ඔහු නැවතද වරක් තම නිර්දෝෂී බව සහ ජෝන් කොතලාවල හිටපු අගමැතිවරයාගේ පළිගැනීමේ ක්‍රියාපිළිවෙළ ගැන දක්වමින් අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් වෙත අභියාචයක් ඉදිරිපත් කළේය. අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතාගේද එකඟත්වය ඇතිව ඇන්. යූ. ජයවර්ධන මහතා නිදොස් කොට නිදහස් කිරීමට සර් ඔලිවර් කටයුතු කළේය.


රැකියාවක් නොමැතිව දුකට පත්ව සිටි විරාමයේදී ඇන්. යූ. මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු බවට පත්ව සිටියේය. පෞද්ගලික ව්‍යවසායකයකු ලෙසද විශාල වර්ධනයක් අත්කරගෙන තිබුණි. ඔහු නැවතත් මහ බැංකු අධිපති ධූරය බලාපොරොත්තු නොවූ අතර තමාගේ නම පිරිසිදු කර ගැනීමට පමණක් මෙම සටන ගෙන ගිය බව පැවසේ. 


එකල පාර්ලිමේන්තුව සභා දෙකකින් සමන්විත වූ අතර මහජන ජන්දයෙන් තේරී පත්ව එන මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් සභාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විය. දෙවැන්න ඉහළ සභාව වූ අතර එය උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව නම් විය. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් තිස් දෙනෙකුගෙන් සැදුම් ලද්දේය. වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, බැංකු, මූල්‍ය කටයුතු ආදී නොයෙක් ක්ෂේත්‍රවලින් තෝරා ගන්නා ප්‍රවීණයන්ගෙන් එකී සෙනෙට් සභාව සැඳුම් ලද්දේය. එම ගෞරවනීය පදවියක් සඳහා ඇන්. යූ. ජයවර්ධන මහතා පත්කිරීමට බණ්ඩාරනායක මහතා ආරාධනය කළේය. ජයවර්ධන මහතා එම තනතුර භාර ගත්තේ එක් කොන්දේසියක් ද ඉදිරිපත් කරමිනි. එනම් යම් කිසි හේතුවක් නිසා බණ්ඩාරනායක අගමැතිතුමාගේ ප්‍රතිපත්තියට විරුද්ධවීමට තමාට සිදුවුවහොත් එයට නිදහස ලබා දෙන ලෙසයි. එම වරප්‍රසාදය ජයවර්ධන මහතාට ලැබුණු අතර දෙවරක්ම සෙනෙට් සභාව නියෝජනය කිරීමද එතුමා අතින් සිදුවිය. එදත් අදත් දේශපාලන ඇඟිලි ගැසීම නිසා සිදුවන හානි හා විනාශයන් අප අත්විඳින්නේ මේ ආකාරයටය. එවැනි දේ තවතින්නේ කවදාදැයි ජනතාව දෑස් විදහා බලා සිටීම යුක්තිසහගත වන්නේ එබැවිනි.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ