IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කොළඹ යුද බිමක් කළ අගෝස්තු හර්තාලය

 

වැඩ කරන ජනතාවට සෙසු පොදු ජනතාවට මෙන්ම පාලකයන්ට නවමු සටන්කාමී අත්දැකීමක් ලබා දුන්නේ 1953 අගෝස්තු 12 දින දීය. රටේ සෑම සේවාවක්ම විවිධ අයුරින් අඩපණ කරමින් දකුණේ සිට උතුරු කෙළවර දක්වා අඩු වැඩි වශයෙන් එදින පැතිරුණේ මහා හර්තාලයකි. 


තම වෘත්තිය අයිතිවාසිකම් සිදු වෙන අසාධාරණයන්ට එරෙහිව විරෝධතාවයන් හා වර්ජන වැනි අරගලවලට පමණක් සීමා වී සිටි කම්කරු පංතිය පියවර කිහිපයක් ඉදිරියට යමින් හර්තාලයට අවධානය යොමු කළහ. මෙතෙක් වෘත්තිය සටන්වලට සහභාගී නොවුණ ගැමි කාන්තාව පොදු ජනතාව හා පැවිදි පක්ෂය ද හර්තාල් සටන දායකත්වය සැපයූහ. එක දිනකට පමණක් සීමා කළ හර්තාලය අවසානයේ දී එහි කැඳවුම් කරුවන්ට පවා පාලනය කර ගැනීමට නොහැකි විය. එහිදී ඔවුන්ට සිදු වූයේ හර්තාලය නවත්වා ආපසු වැඩට යන ලෙස සටන්කරුවන්ට ආයාචනා කිරීමටය. 


හර්තාලයට පෙර කොළඹ නගරය, පාර්ලිමේන්තුව අවට යුද පිටියක් බවට පත් වූ දිනයක් ද විය. ඒ 1953 ජුලි 23 දිනයයි. අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ද එදිනය. හර්තාලය පිළිබඳව ජනතාව හා කම්කරු පංතිය දැනුම්වත් කිරීම හර්තාල් යෝජනා අනුමත කර ගැනීමට සටන්කාමි උත්තේජනය සඳහා වමේ නායකයන් විසින් 1953 ජුලි 23 දින ගෝල් පේස් පිටියේ රැලියක් පවත්වන ලදි. එදින කොළඹ හා සමීප පෙදෙස යුධ පිටියක් බවට පත් විය. 


මෙයින් කියැවෙන්නේ එම ගෝල් ෆේස් රැලිය හා එදින දෙපක්ෂයෙන්ම ඇති වූ ප්‍රචණ්ඩතාව පිළිබඳවයි. ගොනු කළේ එකම පුවත්පත්හි සඳහන් මාධ්‍ය වාර්තා ඇසුරිණි. 


පසුබිම 


1953 වන විට සහල් ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට හා පාසල් සිසුන්ට නොමිලේ ලබා දුන් දිවා ආහාරය නවතා දැමීම වැනි සුබ සාධන කටයුතු නවතා දැමීමට ආණ්ඩුවට අවශ්‍ය විය. ඒ ලෝක ආර්ථිකයේ කඩා වැටීමට මුහුණ දීම සඳහා යැයි පැවසිණි. එවැන්නකින් රට තුළ නොසන්සුන්තාවයක් ඇති වන බවද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නොදැන සිටියා නොවේ. එහෙත් හර්තාලයක් වැනි සටනක් සිදු වෙතැයි නොසිතූහ. 


මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා අයවැය යෝජනා ගෙන ඒමට පෙර ආහාර ඇමැතිව සිටි සර් ඔලිවර් ගුණතිලක මුට්ටිය දමා බැලීමක් සිදු කළේය. ඒ 53 ජුලි 07 දින සිදු කළ මාධ්‍ය සාකච්ඡාවේදීය. 20 වැනිදා සිට හාල් සත 70 යි. කම්කරුවන්ට සේරු 02 යි. මෙරට හාල් මිල හුඟාක් අඩු වේවි. සාමාන්‍ය පොතකට හාල් සේරු 1 1/4 යි. ළමා පොතකට හාල් සේරු 01 යි. ළඳරු පොතකට 3/4 යි. ඔහු පැවසීය. 


ආහාර අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් කේ. අල්වා පිල්ලේ මහතා පවසා ඇත්තේ මාස කිහිපයකට පසු වුවත් හාල් කොටස දෙගුණ කිරීමේ අදහසක් නැහැ. මේ පිළිබඳව තවදුරටත් සලකා බලනවා. 


ජනතාවට පටි තද කර ගන්නා ලෙස පවසන ආණ්ඩුව ධනපතියන්ට බදු සහන දෙමින් ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවට ගැළපෙන සේ ආර්ථිකය හසුරු වන බව වමේ නායකයෝ වේදිකා දෙදරවමින් පැවසුහ. තුරඟ තරග සඳහා විදේශ විනිමය වැය කර අශ්වයින් ගෙන්වීම එක් නිදසුනක් සේ සැලකිණ. 


බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට පවා ණය ආධාර ලබා දීමට හැකියාව තිබු රටක් කළු සුද්දන් හා සෙල්ලක්කාර දේශපාලුවන් විසින් විනාශය කරා ගෙන යන බවට කෑ මොර දුන්නාහ. මේ කාලය අතර තුර ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් සාකච්ඡා හා සම්ම්න්ත්‍රණ දිවයින පුරා පැවැත්වීමට වමේ නායකයෝ පියවර ගත්හ. කම්කරු සමිති ද සිය සාමාජිකත්වය නිරතුරුවම දැනුම්වත් කළේය. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ කතා බහට ද ජනතාව සවන් දුන්හ. සමස්ත දිවයිනම ගෝල්ෆේස් රැලිය පැවැත්වීමට පෙර ද කතා බහ කළේ අය වැය යෝජනා පිළිබඳවය. 


ජුලි 23 වැනිදා ගෝල් ෆේස් රැළිය පෝෂණය කිරීමට පහත සඳහන් සිදුවීම් ද ඉහවල් වේ. 21 උදේ කොළඹ වරාය කම්කරු පිරිස සහල් සහනාධාර කපා දැමීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම් වස් පැය 03 ක් වැඩ නවතා ගෝඩන් උද්‍යානයට එක් රැස් වී රැස්වීමක් පැවැත් වූහ. 

 


 

හාල් පොත් ගෙන ගාලු මන්ත්‍රී වටලති

ජුලි 22 ලංකාදීප 


ගාල්ලේ 75 ක් පමණ මහජනයාගෙන් සෑදුණ පිරිසක් පසුගිය ඉරිදා (19) තමන්ගේ හාල් කූපන් පොත් රැගෙන ගාල්ලේ මන්ත්‍රී ඩබ්ලිව්. දහනායක මහතාගේ ගෙදරට ගොස් හාල් මිල වැඩි කර ඇති නිසා ඒ හාල් පොත් වලින් තමන්ට ප්‍රයෝජනයක් නැති බව කියමින් ඒවා බාර ගන්නා ලෙස ඒ මහතාගෙන් ඉල්ලා සිටියහ.

 
දහනායක මහතා  පාර්ලිමේන්තුවේ ආහාර මිල වැඩි කිරීමට නැවැත්වීමට පුළුවන් තරම් උත්සාහ ගත් බව කියමින් ආපසු යන ලෙස ඔවුන් ගෙන් ඉල්ලා තිබේ. එහෙත් මේ පිරිසෙන් සමහර දෙනෙකු ආපු නොගොස් සිටියෙන් දහනායක මහතාට පොලිසියේ සහය සෙවීමට සිදු වු බවද කියති. 


මෙම කාල සීමාවේදී කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දෙකක් තුනක් හෝ දෙකයි පනහක් පමණි. හාල් මිල වැඩි කිරීමට කොළඹ නගර සභාව විරුද්ධ වූ පුවතක් දිනමිණ පුවත් පතේ පළ විය. 


හාල් සඳහා දෙනු ලැබු උපකාර මුදල කැපීමට රජය කළ තීරණයකට විරෝධය දැක්වීමක් වශයෙන් ඊයේ (ජුලි 09) රැස් වූ කොළඹ නගර සභිකවරු එදිනට නියමිත වැඩ ගැන සාකච්ඡා නොකර විසිර ගියහ. විසිර යාමේ යෝජනාව ඉදිරිපත් කළේ දොස්තර කුමාර රත්නම් මහතාය. ස්ථිර කළේ එම්. එස්. අබුබකාර් මහතාය. යෝජනාවට 15ක් පක්ෂය. 08 දෙනෙකු යෝජනාවට මධ්‍යස්ථය. යෝජනාවට විරුද්ධ සභිකයෝ නොවූහ. 
ජාඇල, මාතර, කළුතර, රත්නපුර, අවිස්සාවේල්ල, කෑගල්ල පළාත් පාලන ආයතන හාල් ආධාර නැවැත්වීම හෙළා දකින යෝජනා ඒක ඡන්දයෙන් සම්මත කර ගත් බව, දිනමිණ වාර්තා කර ඇත. 


ගාලු සභාව රජයට ඉල්ලා අස් වෙන්න කියයි. හාල් මිල අඩු නොකළ හොත් තමන් ඉල්ලා අස්වෙන බවට තර්ජනයක්. 


ලංකාදීප ජුලි 22

 
රජය මගින් සහල් ආධාර නැති කර කූපන් හාල් සේරුවක මිල සත 70 දක්වා ඉහළ නැංවීමේ නින්දනීය ක්‍රියාව හෙළා දකින අතරම සහල් ආධාරය නැවත ඇති කිරීමට බැරි නම් රජයට ඉල්ලා අස් වෙන ලෙස දැන්වීමේ යෝජනාවක් නගරාධිපති තැන්පත් ඩබ්ලිව්. ටී. විජේකුලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද ගාලු නගර සභාවේ මාසික රැස්වීමේ දී සම්මත කර ගන්නා ලදි. මේ යෝජනාවට එරෙහිව ඡන්දය දුන්නේ ඊ. ඩී. නාගහවත්ත මහතා පමණි. 


සභාපති ඇම්. ජී. මැන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාඇල දී රැස් වූ සමස්ත ලංකා සුරා කම්කරුවන්ගේ විධායක මණ්ඩල රැස්වීමේ දී ආණ්ඩුව හාල් මිල වැඩි කිරීමට එරෙහිව පත්‍රිකා 17,000ක් මුද්‍රණය කර බෙදා හැරිය යුතු යැයි ලේකම් වී. නාරායනන් මහතා යෝජනා කළ බවත් විරෝධතා පෙළ පාළියක් යාම අත්‍යාවශ්‍ය බවට අදහස් පළ කළ බවත් ලංකාදීපය වාර්තා කර තිබිණ. 


ජුලි 23 වැනිදා ගෝල් ෆේස් හර්තාල් රැලිය තිබු දිනයේ ලංකාදීපයේ පළමු පිටුවේ පළ වූ පුවත මුළු විරුද්ධ පක්ෂයට අස්වීමේ යෝජනාව යන්නයි. විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ළඟදීම පැවැත්වීමට යන රැස්වීමේ දී ගාල්ල මන්ත්‍රී ඩබ්ලිව් දහනායක මහතා පහත සඳහන් යෝජනාව ඉදිරිපත් කිරීමට යයි. 


අය - වැය ලේඛනය සම්බන්ධ වූ කතා අවසන් වූ වහාම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීන් 27 දෙනාම සමූහයක් ලෙස ඉල්ලා අස් විය යුතුය. මෙසේ කරනුයේ හාල් උපකාරය කැපීම වැනි රටට අහිතකර වැඩවලට ඒ ඒ මන්ත්‍රීන්ගේ ඡන්දදායක කොට්ඨාස මාර්ගයෙන් විරුද්ධව වැඩ කිරීමට හැකි වනු පිණිසය. 


විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීන් කතා පැවැත්වීමෙන් වැඩක් නැහැ. මේ අවස්ථාවේ දී ඒ අය ක්‍රියාත්මක විය යුතුය. මගේ යෝජනාවෙන් ඒ අය අවංක දැයි බලාගත හැකි යැයි දහනායක මහතා ලංකාදීප වාර්තාකරු සමග කීවේය. 
බද්දේගම මන්ත්‍රී හෙන්රි අබේවික්‍රම මහතා දහනායක මහතාගේ අදහසට තබා එකඟ බවත් තමා ශ්‍රී.ලං.නි.ප. සාමාජිකයෙකු හෙයින් පක්ෂයේ තීරණය අපේක්ෂා කරන්නේ යැයි පැවසීය. 


කොටුව මහේස්ත්‍රාත් උසාවිය සමීපයේ වාහනයක බැඳී ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් හාල් මිල වැඩි කිරීමේ යෝජනාවට එරෙහිව ප්‍රචාරක කටයුතු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. ඒ අධිකරණයට බාධා කිරීමේ චෝදනාව යටතේය. මහේස්ත්‍රාත්වරයා ඔහුට අවවාද කර නිදහස් කරන ලදි. 


ආහාර ඇමති ඔලිවර් ගුණතිලක මහතාගේ නිවේදනයක් මාධ්‍ය වාර්තා කළේ මෙලෙසිනි. “දැනට කොළඹ දී හාල් සේරුවකට සත 25 ක් අය කරනු ලැබේ. මේ මිල ජුලි 20 සිට 70 දක්වා වැඩි වන්නේය. කොළඹින් පිට ප්‍රදේශවල පැටවිලි ගාස්තු ද හාල් මිලට එකතු කරනවා ඇත. දැනට දීගෙන යන ආකාරයට පිටි නොමිලේම ලබා ගත හැකිය. එහෙත් කොළඹ ඇතුළත පිටි රාත්තල සත 23 බැගින් විකුණති. පිටි ඒ ගණනට දෙනු ලබන්නේ ආධාර මුදල් යොදා මිල අඩු කිරීමෙන්ය. සීනි මිලෙහි වෙනසක් ඇති නොවේ. ආණ්ඩුව හාල් සේරුව සත 70 ට දුන්නත් ආණ්ඩුවට සත 12ක ආධාර මුදලක් යෙදවීමට සිදු වේ. ඒ නිසා ආණ්ඩුවට හාල් සේරුව සත 82 ක් වනු ඇත.”


ආණ්ඩුවට අත්වෙන පාඩුව සත 12 කි.


රාජාසන කතාව සම්බන්ධ ස්තූති යෝජනා විවාදයේ දී කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විල්මට් ඒ. පෙරේරා මහතා මුදල් ඇමතිවරයා දැන් රටට නොගැළපෙන අයෙකු බව පවසා සඳහන් කළේ ඇමතිවරයාත්, අගමැතිවරයාටත් උපදේශකවරුන්ටත් ඉල්ලා අස් වෙන ලෙසයි. සහල් ආධාර නැවැත්වීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන යෝජනාවෙන් ද සම්මත කෙරිණ. 


පාර්ලිමේන්තු මන්ත්‍රී සී. ඒ. එස්. මරික්කාර් මන්ත්‍රීවරුන්ගේ පඩි හා දීමනා ඔක්කොම ගෙන සහල් ආධාරය ඇති කර අඩු මිලට හාල් දෙන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂර්ලි කොරයා රට බංකොළොත්වීම වළක්වා ගන්නට සහල් ආධාරය කැපිය යුතුයි. ළඟදීම ලංකාවේ සාගතයක් ඇතිවිය හැකිය. සහල් නිෂ්පාදනය ඉතා අඩු රට ලංකාවයි. 


පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ඒ. කුරේ හාල් මිල වැඩි කරන්නේ ජාතික ආපදාවකින් රට මුදවා ගන්නයි. ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු පවා හාල් මිල වැඩි කිරීමට විරුද්ධව කරුණු ඉදිරිපත් කළ නමුත් ජාතික ආපදාවෙන් රට මුදවා ගැනීමට උවමනා නිසා හාල් මිල වැඩි කිරීමට තීරණය කළා. ඒ නිසා විරුද්ධව ඡන්දය දිය නොහැකියි. 


ලංකාවට පැමිණ සිටි ලෝක බැංකු දූත පිරිසේ නායක සර් සිඞ්නි කේන් ප්‍රකාශයක් කරමින් ලංකාවේ මුදල් තත්ත්වය කෙතරම් පහළ බැස තිබුණේ ද යත් ඒ ගැන සලකා බලන්නට අය - වැය ලේඛනය නිර්භීතව පිළියෙළ කරන ලද්දකැයි පැවසීය. 


ඉල්ලා අස් වී නැවත එනු සහල් ප්‍රශ්නය උඩ වර්තමාන ආණ්ඩුව ඉල්ලා අස් වී නැවතත් මහජන ඡන්දයකට මුහුණ දිය යුතු යැයි අඹතලේ පහළ ගම්කාර්ය සභා රැස්වීමේ දී සභාපති කේ. ඊ. පෙරේරා ආණ්ඩුවට අභියෝග කළේය. හාල් මිල වැඩි කිරීමට විරුද්ධව සේදවත්ත කොටුවිල අඹතලෙන් පහළ කළු කොඩි සමඟ තණ කොළ හා පඹයින් ද එල්ලා තිබිණි. 


මේ දිනවල පුවත්පත්වල පළ වූ වාර්තා කිහිපයක සිරස්තල මෙසේය. 


“දුකින් පෙළෙන මහජනයා දඬුවෙන් පහර ලද සර්පයින් සේ කුපිතව කතරගම දෙවියන් යදිති, පොල් ගසති” “අංගොමුව මීරියගල්ල ඌරුගල මිනිස්සු රැස්වීම් පවත්වා පෙළපාළියෙන් පැමිණ හොරණ මන්ත්‍රී හැරී ජයවර්ධන මහතා හමු වී රජයට විරුද්ධ වන ලෙස ඉල්ලති” 


ලං.ස.ස.ප. ලෙස්ලි ගුණවර්ධන කළුතර මන්ත්‍රී පී. ඒ. කුරේ නිවස වටලා රැස්වීමත් පවත්වා අයවැයට එරෙහිව ඡන්දය දෙන ලෙස ඉල්ලීය. මාව පාර්ලිමේන්තුවට එවු ඡන්ද දායකයන් මේ ඉල්ලීම කළා නම් ඉටු කිරීමට කැමැත්තෙමි. මන්ත්‍රීවරයා පවසයි. 


“හිස මුඩු කර දෙවියන් යදිති” 


කැලණි ගංතෙර පූජාවක් පවත්වා දෙවියන්ට ආරාධනා කර දෙවොල් යැදීමට සැරෙසති. කැලණිය අධිපති විභීෂණ දෙවියන්ට කැලණි ගංතෙරට අධිපති රංවල දෙවියන්ට ගඟ හරහා පුහුල් පහන් දල්වා දෙවියන් යැදීමට හිස මුඩු  කරගත් විශාල පිරිසක් සහභාගී වෙති. 


“මංඤොක්කා මිලත් නගී” 


රාත්තල 01 සහ 06 බැගින් තිබු මංඤොක්කා මිල සත 10 සිට සත 25 දක්වා වැඩි වී ඇත. 


ගැට කපන අය මේ ආණ්ඩුවට වඩා හොඳයි. 

 


 

ජුලි 23 ලංකාදීප 6 පිටුව 


තව අවුරුද්දක් බඳ පටිය තද කර ගනිල්ලා, තව ටිකක් හිටපල්ලා යයි කියා කියා බොරු හය අවුරුදු ප්ලැන් දමන යු.එන්.පී. කාරයින් බන කියා කියා දුම්මැස්ස අතගාන බැවින් බන නොකියා ගැට කපන හොරුන්ටත් අන්ත මහජනයාගේ බත් පතට ගහන ගැට කපන්නෝ යැයි හාල් මිල වැඩි කිරීමට විරෝධය පළ කිරීම සඳහා ඊයේ (22) කොළඹ නගර සභා ශෘලාවේ සම සමාජ කොමියුනිස්ට් එක්සත් පෙරමුණේ මෙහෙයවීමෙන් පැවති රැස්වීමේ දී මැද කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී පීටර් කේනමන් මහතා ප්‍රකාශ කළේය. 


ලෝකයේ කඳවුරු දෙකකට විරුද්ධව සටන් කරන බව කොල්වින් ආර්. ද සිල්වා මහතා කියන නමුත් ඔහුට දැන් තිබෙන්නේ නපුංසක පක්ෂයක් ගැන කල්පනා කර බැලීමට යැයි ද ඇන්. එම්. ගේ පෝස්ට් කඞ් කතාව ගැන සඳහන් කරමින් හාල් මිල ගැන විරෝධය දක්වා රජයට තැපැල් පත් යවන්නාක් මෙන්ම වාමාංශික සමගියට එක් වෙන ලෙස ඉල්ලා එන්.එම්.ට ලියුම් යවන ලෙස ද පීටර් කේනමන් මහතා කීවේය. 


දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතා මුල සුන හෙබවීය. 


පාසලේ පරණ බනිසය උදුරා ගත්තා. ක්ෂය රෝග ආධාර මුදල් කැපුවා. සමාජ සේවා මුදල් කැපුවා. පිං පඩි කැපුවා. ඉතින් තවත් අපි මේ මහජන විරෝධී පාලනය ඉවසා සිටිමුද?. මහජන කෝපාගින්න නිවී නොයයි. වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය. 


හාල් මිල වැඩි කිරීමට විරුද්ධ බව ප්‍රකාශ කළ ආර්. ජී. සේනානායක සටන අතහැර සිට කොන්ද පණ නැති රෝගයට ප්‍රතිකාර ගැනීමට එංගලන්තයට ගියේ ප්‍රතිපත්තියක් නැති නිසා යැයි ප්‍රකාශ කළ දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතා සෝවියට් දේශයේ නායකත්වය යටතේ ආණ්ඩු පක්ෂය නෙරපා දැමීමට සංවිධානය වන ලෙස ඉල්ලීය. 


උත්තර මන්ත්‍රී මණ්ඩල (සනෙට් සභාව) රැස්විමේදී කතා කළ උත්තර මන්ත්‍රී ඩී. ඩබ්ලිව්. පෙරේරා මහතා හාල් මිල වැඩි කිරීමට ගැන රට පුරා පැතිර පවතින බලවත් අප්‍රසාදය ආණ්ඩුව දන්නේ දැයි ප්‍රශ්න කළේය. අධිකරණ හා ආහාර ඇමැති ඔලිවර් ගුණතිලක මහතා පිළිතුරු දෙමින් මේ සිද්ධීන් ගැන තමන් දන්නා බවත්, මැරකම් දෙතුන් පොළක මිස රට පුරා පැතිර පවතින බලවත් අප්‍රසාදය ආණ්ඩුව දන්නේ දැයි ප්‍රශ්න කළේය.
උත්තර මන්ත්‍රී සර් සිරිල් ද සොයිසා මහතා: මේ මැරකම් මැඩීමට රජය කුමක් කරනවා ද? 


එම පැනයට පිළිතුරක් නැත. මාධ්‍ය වාර්තා කළේ එලෙසිනි. 


ජනතාව දැනුම්වත් කිරීමේ හා හර්තාල් තීරණය අනුමත කිරීමේ ගෝල් ෆේස් රැලිය පවත්වන ලද්දේ 1953 ජුලි 23 දිනදීය. මේ වන විට අයවැයට හා හර්තාලයට පක්ෂ විපක්ෂ අයගේ අදහස් තර්ක ආදියෙන් ජනතාව දැනුම්වත්ව තිබිණි. අයවැය විරෝධී යම් ක්‍රියාාකාරීත්වයන් හා සිදුවීම් වලින් ඔවුන් උත්තේජනය ලබා තිබුණි. ගෝල් ෆේස් රැලිය තවත් එක් වමේ රැලියක් ලෙස බලධාරීහු අවතක්සේරු කළහ. ඔවුන්ට වැරදුණේ එතැනදීය. 
රැලියට අමතරව 23 දින සිදු වූ ඇතැම් විරෝධතාවන් මාධ්‍ය වාර්තා කර තිබුණි. 


කඹ ඇද වට කොට පාර මැද වාඩි වී 

24 ලංකාදීප 


කොළඹ - ගාල්ල මහා පාරේ විශාල කොටසක් කඹ ඇද වට කොට ගනිමින් පිරිමින් ගැහැනුන් ළමයින්ගෙන් යුත් සියයක් පමණ පිරිසක් එතුළ වාඩි වී පවත්වන ලද පෙළපාළියක් නිසා පැය 3 ක් පමණ වේලා රථ වාහන ගමනා ගමනය බාධා වී පැවැතියේය. 


ඇල්පිටිය හා මීටියාගොඩ පොලිසියෙන් ලත් උපකාර භට පිරිස් ද ඇතිව අම්බලන්ගොඩ පොලිසිය එහි පැමිණි නමුත් පිරිස විසිරුවා හරින්නටවත් රථවාහන ගමනා ගමනයට තිබු බාධා මැඩ පවත්වන්නටවත් අපොහොසත් වූහ. කොළඹ ගාල්ල බස් රථ සේවය සම්පූර්ණයෙන් කඩා කප්පලව තිබුණි. 


“මහේස්ත්‍රාත් පැමිණ”


අවසාන ප්‍රයත්නයත් වශයෙන් එහි පැමිණි බලපිටිය මහේස්ත්‍රාත් එච්. සමරනායක මහතා පිරිස අමතා විසිර යන ලෙස ඉල්ලා සිටියේය. රතු අත් පටිය පැලඳ ගෙන පැමිණි මහේස්ත්‍රාත්වරයා පිරිස අමතමින් හාල් සහනාධාරය නතර කිරීමෙන් බොහෝ දෙනාට විඳින්නට වෙන අපහසුකම් තමා ද දන්නා නමුදු මෙබඳු ක්‍රියා වලින් ඊට පිළියම් නොකළ හැකි බව කීවේය. ඒ ඉක්මනින් පිරිස ඉවත්ව ගිය හෙයින් සියල්ල යථා තත්ත්වයට පැමිණියේය. 
සීනිගම හා තොටගමුවේ ද 200 ක් පමණ මහා ජනයා පාර මැද ඉඳගෙන පෙළපාළි පැවැත් වූ බව වාර්තා වෙයි. 


හාල් මිල අඩු කරන තෙක් යු.ඇන්.පී. මළගම යන හිසින් සඳහන් විශාල කළු කොඩියක් පිළියන්දල මංසන්ධියේ ඔසවා තැබීමට යෝජනාවක් සභාපති එම්. ඩී. සී. විජයානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ පිළියන්දල උපනගර සභා රැස්වීමේ දී සභා සම්මත වීය.


වැලිකඩ, බත්තරමුල්ල, නුගේගොඩ, කෝට්ටේ හා නාවල ප්‍රදේශවල පාර හරහා බත් උයන හිස් මුට්ටි හා කළු කොඩි ඇඳ තිබේ. 


තාත්තලට පාන් ගන්න සල්ලි නැතැයි කෑ ගසමින් ළමයින් පිරිසක් ඊයේ රාත්‍රී කලපලුවාවේ ප්‍රදේශයේ පුරා පාරේ සංචාරය කරන ලදි.

 

 

 

 

මතු සම්බන්ධයි.

 

 

 

ගණේමුල්ල බුද්ධි බොල්ලත 
සඳමුතු ශර්මි ශ්‍රී බුද්ධික



අදහස් (0)

කොළඹ යුද බිමක් කළ අගෝස්තු හර්තාලය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1464 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site