IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අගමැති ප්‍රේමදාසගේ පා පහර

දිවංගත ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ කාලයේ සිටම දවසේ වැඩකටයුතු අරඹන ලද්දේ පාන්දර 4.00ට පමණය. මුල් කාලයේ එලෙස පාන්දරින් පිබිදෙන එතුමා බිමට එළියවැටෙන තුරු පොත්පත් කියවමින් සහ ලිපි ලේඛන කටයුතුවල යෙදී සිටියද පසුව ක්‍රමයෙන් නියෝජ්‍ය ඇමැති, කැබිනට් ඇමැති, අගමැති සහ ජනාධිපති තනතුරුවලට පත්වෙද්දී තමන් යටතේ සිටින නිලධාරීන්ද එම වේලාවට කූද්දා ගැනීමට පුරුදු වී සිටියේය. 


ඒ අනුව ඉර එළිය වැටීමටත් පෙර එදින පුවත්පත් කීපය උඩින් පල්ලෙන් කියවා අවසන් කරන ප්‍රේමදාස මහතා ඊළඟට කරන්නේ ඒවායේ පළවී තිබෙන විවිධ ප්‍රවෘත්තිවලට අදාළ විස්තර ඒ මොහොතේම තමන් යටතේ සිටින නිලධාරීන්ට කතා කර දැන ගැනීමය.


“අයිසේ උදේ පාන්දරින් නැගිටලා වැඩ පටන් ගත්තම එක පැත්තකින් කාලය ඉතිරි වෙනවා. අනිත් පැත්තෙන් හිතට අලුත් අදහස් එනවා” යි කියමින් තමන් යටතේ සිටින නිලධාරීන්ට උපදෙස් දුන් ප්‍රේමදාස මහතා තමන්ගේ එම උපදෙස් පිළිනොගන්නා ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ රාජකාරි කටයුතුවලින් ඈත්කර තැබීමටද පියවර ගෙන තිබුණි. එහෙයින් ප්‍රේමදාස මැතිතුමා යටතේ සිටි උසස් නිලධාරීහුද තම ලොක්කා අනුගමනය කරමින් උදෑසනින් නැගිට දවසේ වැඩකටයුතු ඇරඹීමට පුරුදුව සිටියහ.


ප්‍රේමදාස මහතා මෙරට අග්‍රාමාත්‍ය ධුරය දරමින් සිටි කාලයේ එක්තරා දිනයක අලුයම 4.00ට පමණ එවකට කොළඹ නගරාධිපතිව සිටි සිරිසේන කුරේ මහතාට දුරකථන ඇමතුමක් දී වහාම සුචරිතයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේය.


“සිරිසේන අපි පොඩි වෙනසකටත් එක්ක අලුත් වැඩක් කරන්න බලමුද?”


තමන් හමුවීමට පැමිණි නගරාධිපතිවරයාගෙන් අගමැතිතුමා එලෙස විමසුවේ මුහුණට මඳ සිනාවක් නගා ගනිමිනි.


“මොකක්ද සර් වැඬේ?”


“අපි කොළඹ නගර සභාවයි, පාර්ලිමේන්තුවයි එකතුවෙලා ෆුට්බෝල් මැච් එකක් ගහමු”


ලොක්කා එසේ කියද්දී කුරේ මහතාට සිතුණේ කාලයේ හැටියට එය අපූරු අදහසක් බවය. ඔහු දෙවරක් නොසිතා එම අදහසට කැමැත්ත පළ කළේය.


“එහෙමනං අපි මේ මැච් එක සුගතදාස ස්ටේඩියම් එකේ ගහමු. ලබන මාසෙ වෙනකොට ස්ටේඩියම් එකේ නවීකරණ වැඩත් ඉවර වෙයිනේ” යි කී ප්‍රේමදාස අගමැතිතුමා නගර සභා පාපන්දු කණ්ඩායම තෝරා බේරා ගෙන පුහුණු කිරීමේ වගකීමද කුරේටම පැවරීය.


“මම හදාගන්නවා අපේ පාර්ලිමේන්තු ටීම් එක” යි කී ප්‍රේමදාස මහතා ඒ මොහොතේම තම ලේකම්වරයකු කැඳවා පාසල් වියේදී පාපන්දු ක්‍රීඩා කර ඇති පාර්ලිමේන්තු මැති - ඇමැතිවරුන්ගේ නාම ලේඛනයක් තමන් වෙත ලබා දෙන ලෙස අණ කළේය.


“හැබැයි මේ හොට බිමඇනිච්චි අය නං එපා” යි ඒ සමඟම ඔහු කියද්දී සිරිසේන කුරේ මහතාට බකස් ගා සිනා ගියේ ඉබේටමය. ඉන් අනතුරුව තම ප්‍රවෘත්ති ලේකම්වරයා වූ එවන්ස් කුරේ කැඳ වූ ප්‍රේමදාස මහතා පාර්ලිම්න්තු කණ්ඩායමත්, කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී කණ්ඩායමත් අතර පැවැත්වෙන ප්‍රදර්ශන පාපන්දු තරගයට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන් ඉහළම ප්‍රචාරයක් ලබාදෙන ලෙස උපදෙස් දුන්නේය.


මේ අතර කෙළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු ද කඩිනම් කෙරුණේ එකී ප්‍රදර්ශන පාපන්දු තරගය එම ක්‍රීඩාංගණයේදීම පැවැත්විය යුතු යැයි ලොක්කන් තීරණය කළ බැවිනි. ඒ අනුව 1984 අප්‍රේල් මස 22 වැනිදා සවස 4.00ට යෝජිත පාපන්දු තරගය පැවැත්වෙන බවට රටේ සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දැවැන්ත ප්‍රචාරයක් දී තිබුණේය.


එම ප්‍රදර්ශන පාපන්දු තරගය සඳහා තමන්ද තෝරාගෙන ඇතැයි ඇතැම් පාර්ලිමේන්තු සහ නගර සභා මන්ත්‍රීවරුන් පවා දැනගත්තේ ඊට අදාළ පුහුණුවීම්වලට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් කෙරුණු ලිඛිත දැනුම් දීමෙනි. වසර විසි තිස් ගණනකින් මෙපිට පා පන්දුවක් නොදැක සිටි ඇතැම් තලතුනා මන්ත්‍රීවරු “අපොයි ඉතින් ලොක්කගේ වැඩකට නෑවිත් ඉන්න පුළුවන්ද” යි අසමින් පුහුණුවීම්වලට පැමිණ තිබුණහ. මේ අතර එක දිගට සතියක පමණ කාලයක් තිස්සේ පුහුණුවීම් සඳහා පැමිණි ඇතැම් නාගරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇඟේ පතේ රුදාවට බෙහෙත් ගැනීම සඳහා දොස්තරලා සොයා ගොස් ඇති බවක්ද අසන්නට ලැබුණේය. පාර්ලිමේන්තු පාපන්දු කණ්ඩායම අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින්ද නගර සභා කණ්ඩායම කොළඹ පුරපති සිරිසේන කුරේ මහතා විසින්ද මෙහෙයවනු ලබන බවට කොළඹ නගරය පුරා වර්ණ පෝස්ටර් අලවා තිබුණේ මේ අතරතුරය. එවකට ලේක්හවුස් ආයතනයේ සිටි ක්‍රීඩා ඡායාරූප ශිල්පියකු විසින් ගනු ලැබූ එම නායකයන් දෙපළ ක්‍රීඩාකරන ආකාරය දැක්වෙන වර්ණ ඡායාරූප දෙකක්ද එම පෝස්ටර්වලට ඇතුළත් කර තිබුණේය.


නගර සභා පිලට එවකට විපක්ෂය නියෝජනය කළ නාගරික මන්ත්‍රීවරුන් දෙතුන් දෙනකු ඇතුළත්ව සිටියද පාර්ලිමේන්තු කණ්ඩායමට එකදු විපක්ෂ මන්ත්‍රීවරයකු හෝ ඇතුළත් නොවූයේ එකල පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂ මන්ත්‍රීවරුන් හැම දෙනෙකුම පාහේ මැදිවියත් ඉක්මවා සිටි අයවූ බැවිනි.


මේ අතර ඇත්ත පත්‍රයේ බී. ඒ. සිරිවර්ධනත්, ජනදිනේ සරත් නාවානත්, දිනකරේ ඒ. බී. සී. ද සිල්වාත් යෝජිත පාර්ලිමේන්තු සහ නගර සභා පාපන්දු තරගය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වා තිබුණි. එමගින් ‘රසකෑම’ක් සොයා ගත හැකි බව තමන්ගේ පූර්ව අත්දැකීම්වලින් වටහා ගෙන සිටි බැවිනි.


“ඔය ෆුට්බෝල් මැච් එකේදී මොකක් හරි අමුතු දෙයක් වෙන්න පුළුවන්. ඔයගොල්ලො හොඳට සෙවිල්ලෙන් හා සූදානමින් ඉන්නයි ඔවුහු තම ඡායාරූප ශිල්පීන්ට කල්තියා උපදෙස් දී තිබුණහ.


දෙපාර්ශ්වය අතර පාපන්දු තරගය පැවැත්වීමට නියමිත දාට පෙරදා සවස්වරුවේ පැතිරගිය අලුත්ම සහ උණුසුම් ආරංචිය වූයේ තරගයේ ජය පරාජය පිළිබඳව ඇතැමුන් රුපියල් දස දහස් ගණනින් ඔට්ටු අල්ලා ඇති බවය. ඒ ගැන වැඩිපුරම ඔට්ටු අල්ලා තිබුණේ නගර සභා පිල ජයග්‍රහණය කරන බවටය. ඊට හේතු වූයේ කොළඹ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කළ අතිදක්ෂ පැරණි පාපන්දු ක්‍රීඩකයන් කීප දෙනෙකුද නගර සභා පිලට අයත් වූ බැවිනි.


“මොන පිස්සුද? පාර්ලිමේන්තු පිල අනිවාර්යෙන්ම දිනනවා” යි කී එක්තරා ප්‍රකට ව්‍යාපාරිකයකු රුපියල් මිලියන දහයක ඔට්ටුවක් ඇල්ලීමට සූදානම් වුවද එය අවසන් මොහොතේ අහෝසි වූයේ එම ඔට්ටුව පිළිගැනීමට තරම් හිතේ හයියක් සෙසු පිරිසට නොතිබීමේ හේතුව නිසාය.


මේ අතර ඊට පිළිතුරු වශයෙන් තවත් මුදලාලි කෙනෙකු කියා සිටියේ. පාර්ලිමේන්තු කණ්ඩායම පාපන්දු තරගයෙන් පරාජය වුවහොත් සිරිසේන කුරේ නගරාධිපති ධුරයෙන් පවා කැපී යාමට ඉඩ තිබෙන බවය.
දෙපාර්ශ්වය අතර වූ ප්‍රදර්ශන පාපන්දු තරගය 1984 අප්‍රේල් මස 22 වැනිදා සවස් වරුවේ නියමිත වේලාවටම ආරම්භ කිරීමට තරග සංවිධායක මණ්ඩලය තරයේ වගබලා ගෙන තිබුණේය.


ඔවුන් ඒ ගැන එතරම් සැලකිල්ලක් දැක් වූයේ රාහු කාලය මගහරවා තරගය ආරම්භ කරන ලෙස ලොක්කාගෙන් උපදෙස් ලැබී තිබුණු බැවිනි.


මේ අතර එම තරගය පිළිබඳව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන් ලැබී තිබුණ පූර්ව ප්‍රචාරය නිසාම එදින සුගතදාස ක්‍රීඩාංගණයද අතුරු සිදුරු නැතිව නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණේය. ඔවුන් අතර සිටි ඇතැම් දේශපාලනඥයන් දුරබැහැර ගෙවා පැමිණ තිබුණේ අගමැතිතුමාට මූණ පෙන්වා යාමටය.


එදින හරියටම සවස 4.00ට දෙපාර්ශ්වය අතර තරගය ආරම්භ කෙරුණේය. තරගයේ මුල් විනාඩි කීපය ඇතුළත දෙපාර්ශ්වයම කරටකර සටනක් දෙන අයුරු පෙනුණද ඊළඟ විනාඩියේදී දකින්නට ලැබුණේ සුවිශේෂ සිද්ධියකි. පිටියේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වාම බෝලය පාදයෙන් තල්ලු කර ගෙන ආ ප්‍රේමදාස අගමැතිතුමා ඉතා පහසුවෙන්ම බෝලය, ගෝල් කණු දෙක අතරින් දැල වෙතට යොමු කරවනු ලැබුවේ ගෝල් රකිමින් සිටි ජෝන් ඩයස් නමැති නාගරික මන්ත්‍රීවරයා අන්දමන්ද වී යන ලෙස වෙට්ටුවක් දමමිනි.


ප්‍රේමදාස මහතාගේ එම වික්‍රමය දුටු ප්‍රේප්ෂකයන් නැගූ ප්‍රීති ඝෝෂා හඬින් මුළු සුගතදාස ක්‍රීඩාංගණයම ගිගුම් දුන්නේය. බට්ටෝ රතික්‍ඳ්ක්‍ඳ සිය ගණනක් එක දිගට දැල්වෙන හඬද ඒ සමගම ක්‍රීඩාංගණය පිටුපසින් ඇසුණේ නරඹන්නන්ගේ කන් බිහිරි කරවන අයුරිනි.


පාර්ලිමේන්තු පිලේ නායකයා විසින් ලබාගත් එම ප්‍රථම ගෝලයත් සමග නරඹන්නන් වෙතින් නැගුනු ප්‍රීති ඝෝෂාව නිසා ප්‍රතිවාදී නගර සභා පිලේ ක්‍රීඩකයන් වික්ෂිප්ත වී ගියද ඊළඟ විනාඩියේ සිට ඔවුන් ක්‍රියාශීලී වූයේ නව පණක් ලැබුණාක් මෙනි. මේ අතර නගර සභා පිලේ ගුණසිරි සිල්වා ගෝල් දෙකකුත් ප්‍රේමසිරි පෙරේරා එක ගෝලයකුත් පිට පිටම ලබා ගත්තේ පාර්ලිමේන්තු පිලේ ගෝල රකිමින් සිටි ගාමිණී ජයවික්‍රම පෙරේරාට උතුර - දකුණ පවා අමතක කරවමිනි.


ඒ අනුව නගර සභා පිල ගෝල 3-1ක් වශයෙන් ලබා තරගයෙන් ජයගත්තේය. මේ අතර ඊට දින දෙකකට පසු එදින නිකුත් වූ ‘ඇත්ත’ පත්‍රය අතට ගෙන කියවා බැලූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එක්වරම බඩ අල්ලාගෙන සිනාසෙමින් ‘මැණික් සී දිස් කාටුන්’ යි කියමින් තම පෞද්ගලික ලේකම්වරයා වූ ඩබ්ලිව්. ඇම්. පී. බී. මැණික්දිවෙල මහතා අතට ඇත්ත පත්‍රය දුන්නේය. ලොක්කා එතරම් ප්‍රබෝධයට පත් වූයේ ඇයි දැයි එම පත්‍රය අතට ගෙන පෙරළා බැලූ ලේකම්වරයාට පෙනී ගියේ ක්‍රීඩා ඇඳුමෙන් සැරසුණු ප්‍රේමදාස ක්‍රීඩකයා තමන් ලැබූ එකම ගෝලය ලබා ගනිද්දී ගෝල් රකිමින් සිටි ජෝන් ඩයස් ‘ගහන්න සෑ...ර්!’ යි කියමින් පසෙකට වී සිටින අයුරු ඇත්ත පත්‍රයේ කාටුන් ශිල්පියා වන ජෙබ් යුනුස් විසින් ඉතා කදිමව සිත්තම් කර තිබූ ආකාරයයි.

 

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර 



අදහස් (0)

අගමැති ප්‍රේමදාසගේ පා පහර

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site