මොහු පදිංචි ගම්පහ ප්‍රදේශයේ ගමකයි.


සතුන්ට කිසිම දවසක කරුණාවක් නොදැක්වූ ඔහු වත්ත අහලකටවත් බළලෙකුට ඒමට ඉඩ දුන්නේ නැත.


මොහුට සිටියේ එකම එක දියණියකි. ඇයට පණ මෙන් ආදරය කළ ද, මොහුගේ නරක පුරුද්ද බවට පත්ව තිබුණේ හවසට හවසට හීනියට අඩි ගැසීමය.


අඩියක් ගැසූ පසු මොහුට හොඳ නරක තේරෙන්නේ නැත.


ඇඟ රත්කරගෙන සිටින මොහොතක බළලෙකු ගෙට රිංගා සිටියොත් ඒ සතාට යන්නට වන්නේ මළවුන් අතරටය. ඒ තරමටම මොහු බළලුන්ට අකාරුණික මන්දැයි ගමේ කිසිවකුට වටහාගත නොහැකිව තිබිණි.


බළලෙකුගේ ඥාව් ඥාව් හඬ මොහුට නයාට අඳු කොළ බඳු විය.


“බළලුන් මොන තරම් සුරතල් ද? තාත්තේ අපිත් පූස් පැටියෙක් ගේමුකෝ” කුඩා කල සිට දියණිය ඉල්ලූ ඉල්ලීම කිසිදා ඉටුවූයේ නැත.
දැන් මේ දියණිය හිරිමල් යොවුන් වියේය. පිටරට රැකියාවක සේවය කරන තරුණයකු ඇයගේ සිත දිනාගත්තේ මීට වසරකට පමණ පෙර ය.


ඔහු ඇයට තෑග්ගක් එවා තිබුණේ මීට සති දෙකකට පෙරාතුවය.


පසුගිය දිනක දියණියගේ කාමරයේ ඇඳ යටින් බළලෙකු ඥාව් ඥාව් කියන හඬ ඇසී ඇඟ රත්කරගෙන සිටි පියා දිව ආවේ පොල්ලක් ද අමෝරාගෙනය.


චිප් චිප් කියා පන්නා දැමුව ද බළලාගේ ඥාව් ඥාව් හඬ එන්න එන්නම වැඩි විය.


කෝපයට පත් පියාගේ පොලු පහර එල්ලය බලා ගමන් ගත්තේ ඇසිල්ලෙනි.


මුළු කාමරය පුරා විසිරී ගියේ ලේ නොව, ප්ලාස්ටික් කැබලි හා ජංගම දුරකතනයක කොටස්ය.


දියණිය දිව එන විට සියල්ල නිම වී තිබිණි.


“තාත්තේ රුපියල් ලක්ෂයක් වටිනා මගෙ ෆෝන් එක” දියණිය හඬද් දී පියාගේ වෙරි සිඳී ගියේ සංසාරගත බළල් වෛරය ලක්ෂයකට ලංසු කරමිනි.
(ශිරාන් රණසිංහ)