විවාහකයකු නොවූ සීමන් අයියා රජයේ වත්තක කම්කරුවෙකි. කෑම බීම නැතත් ඔහු මුදල් ඉපයීමට රුසියෙකි. පියාගේ ඇවෑමෙන් ලද ඉඩමේ මහගෙදර යැයි කියාගත් කුඩා නිවසක තනිව ජීවත් වූ ඔහුට වත්තේ අතිකාල සේවා මුරයක් මග හැරුනේ අසනීපයකදී පමණි.


කාටද සීමන් අයියේ ඔච්චර හම්බ කරන්නේ. මොකෝ උඹට ළමයි ළපටි ඉන්නවද? තම කම්කරු සගයන් එසේ ඇසුවත් කාටත් කරදරයක් නොවී ජීවත්වීම ඔහුගේ බලාපොරොත්තුව බව සගයන්ට කියයි.


 බැංකුවේ තැන්පත් කරන මුදල් හදිසි ලෙඩට දුකට නොගත්තතත් මෙදා වැළඳී ඇති රෝගය ටිකක් දරණු එකකැයි රෝහලේ දොස්තර මහතා කී නිසා මුදල් රැගෙන තමන් ළඟ තබා ගතහොත් හොඳ යැයි ලෙඩ ඇඳේ සිට කල්පනා කළේය. පසුවදාම බැංකුවට ගොස් මුදල් රැගෙන සිලී සිලි බෑගයේ  ඔතා කිහිල්ල යට සඟවා ගමට යන බස් එක සොයා නැවතුම වෙත ආවේ කිසිදු බය සංකාවක් නැතුවය. ඒ පිටුපසින් ආ ලෙන්ගතු තරුණයාගේ හිතවත්කම නිසාය.


 සැනෙකින් යතුරුපැදියක් ඔවුන් පසුකර ගියත් එයින් බිමට වැටුණු මුදල් පාර්සලය පැරණි පාසල අසල පාලු මාර්ගයේදී කාටත් හොරා දෙකට බෙදා ගන්නට තීරණය කළේ අර තරුණයාගේ පෙරත්තය නිසාමය.


“හරියටම දෙකටම බෙදමු”


“ඕනෑ නෑ මාමානේ ඇහින්දේ මට ඔය කීයක් හරි දෙන්න” “තරුණයා එසේ කීවා පමණි.


සැනෙකින් පැමිණි යතුරුපැදිකරු සීමන් අයියා සමග පොර බදා මුදල් පාර්සලය රැගෙන ඉගිල ගියේ නිකම්ම නොව සීමන් අයියා බැංකුවෙන් ගත් මුදල් සමග තරුණයාද පිටු පසින් නන්වාගෙනය. කපටි හොරෙකුගේ උගුලකට අසුවූ බව ඔහුට වැටහුනත් ලැජ්ජාව නිසා කාටත්ම නොකියා ගෙදර පැමිණි සීමන් අයියා ඇඳට වැටුණේය. 


(බුලත්සිංහල විශේෂ ලක්මි කුඩලිගම)