(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකි. තේ වගාව ගමේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. සෑම පවුලකටම අඩුම තරමින් තේ අක්කර බාගයකවත් ඇත. තේ වගාවට අමතරව ඒ සෑම ඉඩමකම පොල් කිතුල් පුවක් ආදී අතුරු බෝග ද වගාකර ඇත.


සෑම ගැමියකුටම තේ දලු_ කැඩීමේ හැකියාව ඇත. එහෙත් කිතුල් මල් කැපීම එසේ සෑමදෙනාටම කළ හැකි දෙයක් නොවේ. කිතුල් ගසේ හැර බැඳීම, සාම්ප්‍රදායික බෙහෙත් වර්ග ගල්වා කිතුල් මල සකස් කිරීම, ගසට නැග ඒ මත සිට මල කැපීම, තෙලිජ්ජ මුට්ටිය රැගෙන බිමට බැසීම ආදිය ශාස්ත්‍රානුකූලව සිදුකළ යුතු දුෂ්කර මෙන්ම අනතුරුදායක කර්තව්‍යයකි. එම නිසාම මල් කැපීමට බොහෝ ගැමියෝ ඉදිරිපත් නොවෙති.


කෙසේ වෙතත් මල් කැපීමට උපන් හපන්කම් ඇති කෙනකු දෙන්නකු සෑම ගමකම නැතුවා නොවේ. මේ ගමේ ද කිතුල් මල් කැපීමේ රුසියෙක් සිටියේය. ගුණා නමින් ගැමියන් විසින් හඳුන්වනු ලැබූ මොහු කිතුල් ගස් නගින්නා සේම  ඕනෑම පුද්ගලයකුගේ කනෙන් රිංගා යෑමට ද දක්වන්නේ අසීමිත දක්ෂතාවකි. ඕනෑම කෙනකු හමුවේ හිස කසා බයාදු බැල්මක් පෙන්වා හීන් හිනාවකින් සංග්‍රහ කළ ද මොහු දිය යටින් ගින්දර ගෙන යන්නකු බැව් ද බොහෝ දෙනා දැනගෙන සිටියහ.


ගමේ සිටින ප්‍රභූවරයකු වූ විශ්‍රාමික විදුහල්පතිවරයාට ගමේ සෙසු අයට මෙන් නොව අක්කර තුන හතරක පමණ විශාල ඉඩමක් තිබුණි. ඒ ඉඩමෙන් බාගයක පමණ තේ වගාකර තිබුණු අතර නිවෙස පිහිටියේ ද එම කොටසේය.


ඉඩමේ අනෙක් බාගයේ කොස් දෙල් කිතුල් පුවක් ආදිය මෙන්ම වෙනත් ගස්වලින් ද පිරී තිබුණු අතර එම කොටසට විදුහල්පතිවරයා යන්නේ ද එහෙමත් දවසකය. එය ද කොස් වාරෙට කොස් ගෙඩියක් කඩාගැනීමට වැනි දෙයකටය. එම ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ අරඹ වශයෙනි.


එහි ඉබේ හටගත් කිතුල් ගස් කීපයක් ද තිබූ නමුත් ඒවායේ මල් කැපීමට ගුණාට බාරදීමට විදුහල්පතිවරයා උනන්දු නොවූයේ ඔහුගේ සටකපටකම නිසාමය.


නිවසේ උත්සවයකට, දානමාන කටයුත්තකට පැණි ටිකක් හකුරු ටිකක් අවශ්‍ය විණි නම් ඔහු ඒවා මිලදී ගන්නේ ගුණාගෙනි.


ඉකුත් දිනෙක විදුහල්පතිතුමාගේ නිවසේ දානමය පිංකමක් සූදානම් කර තිබූ නිසා ඊට අවශ්‍ය පැණි හකුරු ගෙන ඒමට ඔහු ගුණාගේ නිවෙසට ගියේය. විදුහල්පතිතුමාව ඉතා ගරුසරු ඇතිව දෙකට නැමී පිළිගත් ඔහු විදුහල්පතිවරයාගේ ඉල්ලීම අනුව කිලෝ තුනක පමණ පැණි මුලක් ගෙනවිත් “මේං සෑර් මේක නං නියම පැණි හකුරු මුල, මගේම ගහක මලකින් වෑහිච්චි තෙලිජ්ජවලින් තමයි උණුකොළේ” කියමින් දෑතින්ම පිරිනැමුවේය.


සතුටට පත් විදුහල්පතිතුමා නියමිත මුදලටත් වඩා ගණනක් ඔහු අත තබා පැණි මුලත් රැගෙන හනිකට ගෙදර ගියේය.


 දානෙට පෙර දින සවස තවත් අසල්වැසි තරුණයකු සමඟ විදුහල්පතිතුමා නිවෙසට ඈතින් වූ අරඹට ගියේ පුවක් වල්ලක් කඩාගෙන ඒමටය. එහිදී ඔවුන්ට දැක ගන්න ලැබුණේ ඉඩමේ කොණකට වෙන්නට වෙල අයිනේ තිබූ කිතුල් ගසක මලක් සාදා මුට්ටියක් ද එල්ලා ඇති බවයි.


එම දසුන දැකීමෙන් විදුහල්පතිවරයාට යකා නැග්ගේය. තව ටිකක් ඒ අවට සෝදසි කර බැලීමේදී දිගු කලක් ගමන් කිරීමෙන් සෑදී තිබූ අඩි පාරක් ද දැක ගන්නට ලැබිණ. “එකත් එකටම මේක නම් අහවලාගෙ නොහොබිනා වැඩක් තමයි. මූ එහෙනම් ඊයෙ මට විකුණුවෙ මගේම කිතුලෙ පැණි” යි තමාටම කියාගත් විදුහල්පතිවරයා අඳුර වැටෙන තුරු තරුණයා ද සමඟ රැක සිට වගකිවයුත්තා අතටම අල්ලාගෙන අමතක නොවන පාඩමක් ඉගැන්නුවාලු