(පොල්ගස්ඕවිට - එස්. වික්‍රමආරච්චි)
පෞද්ගලික කෝන්තරයක් පිරිමැසීමට අනුන්ගේ මළ ගෙදරකදී ගමේ ප්‍රභූවරයකුට දෝෂාරෝපණය කරමින් කතා කළ පුද්ගලයකුට එම නිවැසියන් විසින් අමතක නොවන පාඩමක් ඉගැන්වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණ.


ඔහු ගමේ පමණක් නොව අහල ගම් හතේම මළ ගෙවල් සොය සොයා කතා පැවැත්වීම සඳහා යන පුද්ගලයෙකි. 


මළ ගෙදර නිවැසියන්ගේ අනුදැනුමක් නැතුව හෝ ඇතිව අවමංගල සභාව මෙහෙයවන පුද්ගලයාට හෙමින් හෙමින්  ළංවී කෙසේ හෝ කතාවක් ඉල්ලා ගන්නා මෙම පුද්ගලයා කරන කතා ඇසීමට බොහෝ දෙනා අකැමැතිය. ඇතැම් විටක ඔහු කරන කතා එම මියගිය පුද්ගලයාට කෙසේවත් අදාළ නැත. පෞද්ගලික කෝන්තර පිරිමැසීමට අනුන්ට පහර ගසමින් ඔහු කරන කතා බොහෝ දෙනා අප්‍රිය කරති.


ඉකුත් දිනෙක ගමේ වැදගත් පුද්ගලයෙකුගේ අවමඟුල් උත්සවයක් පැවැත්විණ. හිමි නමකගේද පියකු වූ බැවින් එම අවමඟුලට විශාල පිරිසක් පැමිණෙමින් සිටියහ.


එම දිනවලම එම නිවෙස පිහිටි ප්‍රදේශයට යන මාර්ගය සංවර්ධනය කරමින් පැවතිණ. එම කටයුතු සිදුකර ඇත්තේ ඉහතකී ප්‍රභූවරයාගේ ප්‍රධානත්වයෙනි. දැඩි වියළි කාලගුණයක් තිබූ බැවින් එදින එනම් අර මළ ගෙදර අවසන් කටයුතු කළ දින මාර්ගයට පස් දැමීම සිදු කොට ඇත.


එහෙත් කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි එදින පස්වරුවේ සුළු වර්ෂාවක් ඇදහැලීමෙන්  මාර්ගය මඩ ගොහොරුවක් බවට පත්විය.


මෙම සිදුවීම දඩමීමා කරගත් ඉහතකී පුද්ගලයා සිය කතාවේදී මාර්ගය මඩ ගොහොරුවක් බවට පත්කළැයි මාර්ගය සකස් කළ අයට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය.


එයින් අවමංගල නිවෙසේ අය බලවත් අසීරුවට පත්වූ අතර ස්වාමීන් වහන්සේ වහාම නැඟිට ඔහුගේ කතාව නතර කරන ලෙස ඉල්ලා සිටියහ. එයින් බලවත් සේ අසරණ වූ කථිකයා හෙමින් සීරුවේ පල්ලම් බැස්සේය. 


තමාට කට වැරදුණු බව කියමින් පසුවදාම ගොස් සමාව ඉල්ලුවත්, හූ කියා පසුව කට වසා ගත්තාට ඇති වැඩක් නැතැයි කියමින් ප්‍රභූවරයා නම් ඔහුට සමාව දුන්නේම නැතිලු.