ඔහු එක්දරු පියෙකි. විවාහ වී සිටියේ බිරියගේ නිවසේය. ටික කලක් ගිය පසු ඔහු තදින්ම මත්පැන්වලට ඇබ්බැහි විය. සවසට කට ගොන්නක් බීගෙන නිවසට ගොඩ වදින හෙතෙම බිරියට තඩි බෑවේ තිරිසනකු ලෙසිනි.


“තමුසෙ, මගෙ වහලෙ යට ඉඳගෙන මට ගහන්න” ඉවසීමේ සීමාව පැනගිය පසු බිරිය කට ඇරියේ හුළුඅත්තයි, පැදුරයි පෙන්වමිනි. 


වෙරි වී සිටි සැමියාගේ වෙරි බාගෙට සිඳී ගියේ එවිටය. 


යතුරුපැදිය පණ නංවාගත් ඔහු කෙළින්ම ගියේ පොලිසියටයි. 


“සර්... මට පැමිණිල්ලක් කරන්න තියෙනවා.”


“ගෑනි මාව ගෙදරින් පැන්නුවා” 


පැමිණිල්ල ලියා ගනිමින් සිටි රාලහාමිට අරක්කු දුඟඳක් දැනිණි.


“තමුන් බීලද?”


“පොඞ්ඩක් බිව්ව සර්”


“තමුන් පොලිසියට ආවේ බයිසිකලේ නේද? ඒක අරන් එනවා. ලයිසන් ඉන්ෂුවරන්ස් ටිකත් ගන්නවා.”


එසේ කියූ රාලහාමි යතුරුපැදිය ගරාජයට දමන ලෙස කියා බීමත්ව සිටි පැමිණිලිකරු කූඩුවට දැම්මේය. 


“ඇයි සර්... මම පැමිණිල්ලක් කරන්නනෙ ආවේ.”


“බීලා යතුරුපැදි ධාවනය, ලයිසන් ඉන්ෂුවරන්ස්වල කාලය ඉකුත් වීම, බීමත්ව පොලිසියට ඒම, වෙරි හිඳෙනකන් තමුන් කූඩුවට වෙලා ඉන්නවා. ඉන්න තැනකුත් නෑනේ..” රාලහාමි කියද්දී ඔහුට දැනුණේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණා මෙනි. 
(තිහගොඩ - උපසේන ලියනගම)