(තිහගොඩ - උපසේන ලියනගම) 
කොළඹ සිට තංගල්ල බලා දිවෙන ශීඝ්‍රගාමී බස් රථයකි. සති අන්ත දිනයක උදේ වරුව වූ හෙයින් බසයේ සිටියේ සීමිත පිරිසකි. බේරුවල නගරයේදී යුරෝපීය ඇඳුමැති වියපත් පුද්ගලයකු බසයට නැග්ගේ ඔහුගේ මිනිබිරිය යැයි සිතිය හැකි තරුණියක සමගය.


බසයට නැගගත් මොහොතේ ඉදිරිපස අසුනේ ඔහු වාඩිවූ විට මිනිබිරිය ‘සීයේ ඕක හාමුදුරුවන්ට. හාමුදුරුකෙනෙක් ආවොත් සීට් එක දෙන්න වෙනවා’ කීවෙන් ඔහු අනෙක් පැත්තේ අසුනක වාඩිවිය. එතැන සිටි තරුණයකු කීවේ මෙය ආබාධිතයින් සඳහා වූ අසුන නිසා වෙන තැනකට යන ලෙසය. මද කෝපයට පත් ඔහු පසුපස ආසනයේ වාඩිවුනා පමණකි. බසයට නැග ගත් ගැබිනි මවක් ඒ අසලට ආවාය.


‘ඕක මෙයාලගෙ ආසනේ. ඕක දෙන්න’ එවර කීවේ කොන්දොස්තර තැනය.


සීයාගේ කේන්තිය දෙගුණ තෙගුණ විය. වහා ආසනයෙන් නැගිටගත් ඔහු ‘යකෝ මේකෙ සීට් ඔක්කොම එක එකාට දීලා. මට සීට් එකක් නැද්ද?’ ඇසුවේ දැඩි කෝපයෙනි. ඒ අසල සිටි මිනිබිරිය මහත් ලජ්ජාවට පත්ව සීයේ පස්සට යමු කියා ඔහුගේ අතින් ඇල්ලුවාය. ‘පස්සට! උඹ පස්සට පලයං. මං මෙතන හිටගෙනම ඉන්නවා’ කී සීයා ඇගේ අත ගසා දමා ඉහළ වූ ආධාරක පොල්ල අල්ලා ගත්තාය. 


ඒ අසල වාඩිවී සිටි තරුණයකු තම ආසනය සීයාට දී හිටගත් නිසා මේ ගැටුම කඩිනමින්ම නිමාවට පත් වුණාලු.