ඇඟලුම් කම්හලේ රැකියාවට ගොස් පැමිණෙන ඇය රාත්‍රි අටහමාරේ ටෙලිනාට්‍ය නැරඹීමට අමතක කරන්නේ නැත. එදිනද ඇය සිරිත් පරිදි ටෙලි නාට්‍ය නැරඹුවාය. එය අවසන් වනවිට රාත්‍රි නවය පසුවී තිබිණි. මේ අතර ඇයගේ ජංගම දුරකථනය නාද විය.


 “හලෝ මිස් සුභානි, කොහොමද අපේ ලෙඩාට. යාළුවට උනදේ ගැන මට හරිම දුකයි” එහා කොනෙන් දිගු ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් විය. 


“මේ මොන කෝලමක්ද මගෙන් ලෙඩෙක් ගැන අහන්නේ මේ වැරදි නොම්මරේකට කතා කරල තියෙන්නේ.” කියමින් ඇය දුරකථනය විසන්ධි කළාය.


පසුව ඇය ඇඟපත සෝදාගෙන රාත්‍රි ආහාරය ගෙන තම කාමරයට ගොස් ඇඳමතට වී අහස් මාලිගා මවන්නට වූවාය. මේ අතර යළිත් ඇයගේ දුරකථනය නාදවිය. “අනේ සොරි මට ඉස්සරවෙලා වැරදීමක් වෙලා තියෙන්නේ. අපේ යාළුවෙක් අද උදේ හදිසියේම අසනීපවෙලා හොස්පිට්ල් එකට ඇතුළු කළා. වාට්ටුවෙ මිසීට කතා කරන්න ඕන එකට මම ඔයාටයි කතා කරල තියෙන්නේ.

සිද්ධවුණ වැරදීමට තරහ වෙන්න එපා. “දුරකතනයෙන් ගලා ආවේ සමාව අයදින වචන මාලාවකි. ඇය කිසිත් නොකියා දුරකතනය විසන්ධි කළාය.


 පසුදින ද එම වේලාවටම ඇයගේ දුරකථනය නාදවිය. ඇය නොම්බරය බැලුවාය. පෙර දිනයේම නොම්බරය විය. “හලෝ ඇයි ලෙඩා මළාද” ඇය එක්වරම ඇසුවාය.


“නැහැ නැහැ ලෙඩාට ටිකක් හොඳයි. මට හිතුන ඔයත් එක්ක ටිකක් කතා කරන්න. ඒකයි කතා කළේ. අමනාප වෙන්න එපා. “ඇයගේ හිත තරමක් සසල විය. ඒ රාත්‍රියේ බොහෝ වේලාවක් දෙදෙනා සිටියේ දුරකථනයේය.


 මේ කතාව කොතරම් දුරදිග ගියේද යත් පසුව දෙදෙනා ස්කයිප් තාක්ෂණය ඔස්සේ මුණ ගැසිණි. ඔහුගේ මුහුණදුටු ඇයගේ සිතට අලුත් හැඟුමන් උපදින්නට විය. ඇඟලුම් කම්හලේ තමා පසුපස එන කොල්ලාට වැඩිය මොහු කොතරම් අපූරුද? හරියට හින්දි නළුවෙක් වගෙයි” ඇය සිතුවාය. 


“ඔයාගේ කටහඬ ඇහෙනකොට මම හිතුව ඔයා හරි ලස්සන ඇති කියලා හරියට හරි කටහඬ වගේම ඔයත් ලස්සනයි. කොහොමද අපි මුණ ගැහෙන්නේ. කවුද ගෙදර ඉන්නේ”


ඇය දුන් මග සළකුණු ඔස්සේ ඊළඟ සෙනසුරාදා  රාත්‍රී ඇයගේ නිවස සොයා යාමට ඔහු තීරණය කළේය. ඒ අනුව රාත්‍රී දහයට පමණ ඔහු ඇයගේ නිවස අසලට ගොස් දුරකථනය නාද කළේය.


“මම ජනේලය ඇරල තියෙන්නේ ඔහොමම එන්න ජනේලය ළඟට. හැබැයි පරිස්සමින් එන්න.”


එහෙත් ඔහුට ජනේලය අසලට යාමට ලැබුණේ නැත. හදිසි  අවශ්‍යතාවකට එළියට බැස සිටි අම්මා ඔහු දැක “හොරෙක් හොරෙක්” යනුවෙන් කෑ ගැසුවාය. ඔහුට පැමිණි පාරද අමතක විය.

අසල්වාසීන්ද පැමිණියේ හිස් අතින් නොවේ. විවෘතව තිබුණ ජනේලය ද වැසී ගියේය.


  මේ අතර ඇයද එළියට පැමිණ “මේකා හොරෙක්ද කොහේද නැත්නම් මේ වෙලාවට ගෙවල්වල පිළිකණුවලට එනවද?” යනුවෙන් කෑ ගැසුවාය.


 එහෙත් මේ අතර සිටි එක්තරා තරුණයකුට සිදුව ඇති  දෙයට වඩා යමක් තිබෙන බවට තේරුම් ගියේය. එම තරුණයා ඉදිරිපත්වී ඔහුගෙන් සත්‍ය විමසා සිටියේය. ඔහු සියල්ල කියා සිටියේය. පසුව එම තරුණයාගේ මැදිහත්වීමෙන් ඔහු එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගියේය. එහෙත් සත්‍ය වසන් කිරීමට නොහැකිවිය. මේ නිසා ඇය විවාහ කර ගැනීමට සිටි තරුණයාද ඇය හැර ගිය අතර ඇය ද ඇඟලුම් කම්හලට සමු දුන්නාය. 

(උණවටුන ඩී.ජී.සුගතපාල)