(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)

දකුණු පළාතේ සුන්දර ගංගා නිම්නයක පිහිටි මඩ කුඹුරු ගොවිතැනට ප්‍රසිද්ධ ගම්මානයක සමාජ සේවිකාවකගේ නිවසේ ඇඳක් යටින් උදළු තල තොගයක් මතුවීමේ අපූරු පුවතක් පසුගිය දිනෙක අසන්නට ලැබිණ.


ගමේ කාටත් උදව් කරමින් සැමගේ සිත් දිනාගත් වමට බර දේශපාලන පක්ෂයක ශාඛා සමිතියක ප්‍රබල නිලධාරිනියක වූ මෙම සිද්ධියේ කථා නායිකාව තනිකඩ අයෙකි. ඇය ජීවත් වූයේ ද තනිවම ය.


  ප්‍රදේශයේ පොදු කටයුතුවලදී පෙරමුණ ගෙන ක්‍රියාකරන ඇය, ගමේ ලොකු කුඩා සැමගේ ප්‍රසාදය දිනාගත්තාය. ඇය නියෝජනය කළ පක්ෂයේ සාමාජිකයන්ගේ අවශ්‍යතාවල දී ඕනෑම දිනෙක පැය විසි හතර පුරා මන්ත්‍රීවරයාගෙන් කරගැනීමට ඇති රාජකාරිවලදී කැපවී කරදීම ඇයගේ සිරිතක්ව තිබිණ.


කොට්ඨාසයේ මන්ත්‍රීවරයාට ගමේ රැස්වීම් පැවැත්වීමේදී ජනතාව ඒකරාශි කිරීම මෙන්ම ගමේ අයගේ ඕනෑ එපාකම්වලදී ශක්තියක්ව සිටි ඇය පසුගිය දිනෙක හදිසියේ ඇතිවූ හෘදයාබාධකින් මියගියාය.


දේහය මල් ශාලාවට ගෙන ගිය අතර ගමේ බොහෝ දෙනකු මළ ගෙදරට පැමිණියහ. පිරිමි අය මාර්ගය දෙපස හා තණකොළ වැවී තිබූ මිදුල පිරිසිදු කිරීම කළ අතර කාන්තාවෝ නිවස ශුද්ධ පවිත්‍ර කළහ.


 එම නිවසෙහි උදළු කෙටියක්වත් සොයා ගැනීමට නොවූ හෙයින් අහළ පහළ නිවෙස්වලින් උදළු ගෙනැවිත් වැඩ කිරීමට ඔවුනට සිදුවිය. “පව් බං අක්කා තමන්ගෙ වැඩ ගැන නොසිතා රටේ ලෝකේ මිනිස්සුන්ගෙ වැඩ කර දුන්නේ”.   


මේ අතරේ නිවෙස අස් පස් කරමින් සිටි එක් කාන්තාවක මිදුල ශුද්ධ කරමින් සිටි පිරිමි පිරිසට ඇතුළට එන ලෙස කථා කළාය. බඩු මුට්ටු එහා මෙහා කර ගැනීමට වන්නට ඇතැයි කියමින් පිරිමින් පිරිසක් ගෙතුළට ගියහ. 


 පිරිමින්ට ගෙතුළට එන්නැයි පැවැසූ කාන්තාව ඇඳ යට බලන ලෙස පැවැසුවාය. ඇඳ යට උදළු තල 278 ක් තිබුණි. එම උදළු තල මීට වසර තුනකට පමණ පෙර ගමේ අයට බෙදාදීම සඳහා මන්ත්‍රීවරයකු ලබාදුන් ඒවා බව පිරිසට අවබෝධ විය.


“ඕක තමයි කියන්නෙ, මනුස්සයකුගෙ හොඳක් දකින්න නම් මැරෙන්නම ඕන කියලා” යැයි එහි සිටි ඉහ නිකට පැසුණු අයකු පැවැසුවා ලු.