දිනය සිකුරාදාවකි. දකුණේ කුරුඳුවලට ප්‍රසිද්ධ ප්‍රදේශයක මඟුල් සාදයක් තිබිණි. ප්‍රදේශයේ සමාගමක සේවය කළ තරුණයකු තරුණියක හා අතිනත ගත් සාදයට එම සමාග මේ මිතුරන්ට ආරාධනා ලැබුණේ රාත්‍රී භෝජන සංග්‍රහයටය.

නැටුම් ගැයුම් පිරි සාදය මැද තරුණ පිරිස් මධුවිත ද තොලගාමින් කලකට පසු විනෝද වූයේ පදම ද නොතකමිනි. මනාලයාගේ මිතුරන් කිහිපදෙනකු හතරගාතේ වැටුණු පසු යතුරුපැදිවල පැමිණි සිවුදෙනකු නිවෙස් බලා පිටත්වන්නට පටන් ගත්තේ පදම හරි යැයි දැනුන නිසාය. යතුරුපැදි දෙකකින් තරුණයෝ සිවුදෙනා ගමන් ඇරඹූහ.

පිටුපස යතුරුපැදියේ ගිය තරුණයාගේ සපත්තු තිබුණේ අතේය. කළුවර තැනකදී අතේ දමාගෙන සිටි සපත්තුවක් බිම වැටිණි. යතුරුපැදියේ එළියෙන් අත රැඳි ජංගම දුරකතන එළියෙන් ද සපත්තුව සෙවීමට දෙදෙනා කටයුතු කළේ මත්වතුරෙන් බොඳ වූ නෙත්වලිනි. මහ රෑ ගෙවල් අසල ගැවසෙන තරුණ දෙදෙනා දුටු ගම්මු පැමිණ ප්‍රශ්න කරන්නට වූ පසු එය බහින් බස්වීමක් බවට පෙරළිණ.

එය ගුටිබැට හුවමාරුවක් වන්නට ගතවුණේ ස්වල්ප මොහොතකි. අනෙක් යතුරුපැදියේ දෙදෙනා ද ආපිට ආපසු ගම්මු පොලිසියට දැනුම් දුන්නේ ගුටිබැට හුවමාරුව දරුණු වූ නිසාය.

මඟුලට ගිය මනාලයාගේ මිතුරන් සිවුදෙනාත්, ගමේ දෙතුන් දෙනකුත් පොලිසියේ කූඩුවට දැම්මේ පිරිසකට වෙරි හිඳෙන්නට ද ඉඩ සලසමිනි. මඟුල් ගෙදර ගොස් හිර කූඩුවේ වැටුණු සිවුදෙනා සොයා මනාලයා උදේම පොලිසියට ගියේ ලද ආරංචියකටය. මනාලයා දුටු මිතුරන්ට ලජ්ජා සිතිනි. සපත්තු කතාව සත්‍ය බව තහවුරු වූ පසු දෙපිරිස සාමදාන වී වෙන් වූයේ වැඩට ගිහින් ඉවරයි මචන් යැයි කියමිනි. ඌරගස්මන්හන්දිය බී.පී. අමරසිංහ