(ඉෂානි හංසිකා අමරදිවාකර)
සත් කෝරළයේ එක්තරා ප්‍රසිද්ධ පාසලකි. මේ සියලු පාසල්වල වාර අවසාන විභාග පැවැත්වෙන සමයයි. මෙම ප්‍රසිද්ධ පාසලේ ද උසස් පෙළ පන්තියේ සිසුන් උදෑසනම පාසලට පැමිණ සිටියේ විභාගයට සාර්ථකව මුහුණ දීමේ අපේක්‍ෂාවෙනි. උදෑසන ආගමික වතාවත් නිමවා සියලු සිසුහු විභාග ශාලාවට ගොස් වාඩි වූහ. තමන් ළඟ තිබූ පොත්පත් ඉවත් කර පාඩම් කළ කරුණු මතකයෙහි රඳවාගෙන අපේක්‍ෂා සහිතව බලා සිටියහ. 


කාලය එළඹි පසු විභාග ශාලාවේ සිටි ගුරුවරිය ප්‍රශ්න පත්‍ර බෙදීම ආරම්භ කළාය. හෝරා කිහිපයක් ගත වූ පසු සිසුන්ගෙන් අඩක් පමණ ප්‍රශ්න පත්‍රය ලියා අවසන් කර කලින්ම විභාග ශාලාවෙන් පිටව ගොස් තිබුණි.

හරියාකාරව ප්‍රශ්න පත්‍රය ලිවීමට විභාග ශාලාවේ ඉතිරි වූයේ සිසුන් කිහිප දෙනකු පමණි. ඔවුන් අතරට ගිය ශාලාධිපතිනිය මෙසේ කීවාය. ඇය ප්‍රකාශ කළ කතාව නම් අපූරුය.


ගුරුවරිය- පුතාලා පැය තුනයි නේ ද ප්‍රශ්න පත්‍රය?


සිසුන්- ඔව් 


ගුරුවරිය- ඔය පේපරේ මහලොකු දෙයක් ලියන්න නෑනෙ. තව පැය භාගයකින් විතර ලියල ඉවර කරන්න. 


ගුරුවරියගේ ප්‍රකාශයට සිසුහු තුෂ්නිම්භූත වූහ. සිසුන් පුදුමයට පත්වූ බව ගුරුවරියට පසක් විය. ඇය යළිත් මෙසේ කීවාය.


ගුරුවරිය- ඕකට පුදුම වෙන්න දෙයක් නෑ. බැරි දෙයක් තියෙනවා නම් පොත්වලින් බැලුවට කමක් නෑ ළමයිනේ.


ඒ කතාවට සිසුහු තවත් පුදුම වූහ. ප්‍රශ්න පත්‍රය අවසාන කිරීමට පැය තුනක් තිබිය දී පැය එකහමාරකින් එය අවසන් කිරීමට පවසන්නේ ඇයි දැයි සිසුවෙක් ප්‍රශ්න කළේය. එවිට ගුරුවරියගේ පිළිතුර වූයේ ඇයට නාන්නට තිබෙන නිසා ඉක්මනට නිවසට යා යුතු බවය. 


ගුරුවරියට ඇත්තේ දිගු වරලසකි. නෑමෙන් පසු වරලස වේලා ගැනීමට බොහෝ වේලාවක් ගත වේ. ඒ නිසාත් ප්‍රශ්න පත්‍රය අවසන් වීමට සවස්වන නිසාත් ඇය එසේ පැවසුවාය.