(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ප්‍රධාන පෙළේ සංවර්ධන ක්‍රියාවකින් තමන් පීඩාවට පත්වූ බව කියන පුද්ගලයෙක් තම ගැටලුව නිලධාරීන්ට කියන්නට ගියේ මිතුරන් හත් අට දෙනකු සමගය.  මිතුරන් පිරිස කාර්යාලීය බිමේ ගස් හෙවනක රැඳී සිටියදී ඔහු නිලධාරියා හමුවීමට ගියේ උදේ නවයට පමණය.


හෝරා දෙකතුනක් තිස්සේ නිලධාරියා සමග තර්ක විතර්ක කළ මේ පුද්ගලයාගේ ගැටලුව තමන්ට විසඳන්නට නොහැකි බව දැනගත් නිලධාරියා අදාළ අංශයේ වගකිවයුතු නිලධාරියකු කැඳවීමට පියවර ගත්තේය.


ටික වේලාවකින් අදාළ නිලධාරි පිරිසක් ආයේය. යළි සාකච්ඡා ඇරඹිණි. ඒ සඳහා ද දෙපැයක් ගතවිය. අවසානයේ රුපියල් ලක්ෂ ගණනක වන්දි මුදලක් දෙන්නට නිලධාරීන් එකඟවිය. පීඩාවට පත්වූ බව කියන අය එයින් පිනා ගියේය. අත්තිකාරමක්ද ලබා ගත් ඔහු මිතුරන් අමතක විය. කෙලින්ම ගියේ තැබෑරුම බලාය. 


සාකච්ඡාව අවසන් කර මිතුරා එනතුරු බලා සිටි මිතුරන් හත් අට දෙනා කාර්යාලය දෙසට ගියේ බලා ඉඳ බැරිම තැනය. වේලාව සවස තුනත් පසූවී ඇත. මිතුරා පෙනෙන්නට නැත. “සර්, අර ප්‍රශ්නයක් කතා කරගන්න ආ එක්කෙනා කෝ.” ඔවුන් ප්‍රධාන නිලධාරි තැන හමුවී විමසීය.


සිදුවූ සියල්ල දැනගත් මිතුරු පිරිස මිතුරා සොයා ගියේය. ඉර බැස යද්දී ඔහු හමුවූයේ කෙළින් සිටගන්නට බැරි තරමට වෙරිවී සිටියදීය. උඹ අපිව දාලා ආවා නේද, නැති බැරි වෙලාවට අපි ඕන වුණාට ලාභයක් වුණාම අපි අමතක කරපු උඹ ගමට නම් එන්න එපා යැයි කියු මිතුරු පිරිස ආපසු හැරී යද්දී ඔහුගේ වෙරි සිඳී ගියේය. දින කීපයක් ගතවී ඇතත් තවම මේ පුද්ගලයා ගමට පැමිණ නැත.