නොනවතින කැස්සට ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියෙක් පෞද්ගලික බෙහෙත් ශාලාවකට ගියේය. වෛද්‍යවරයා රෝගියා පරීක්‍ෂාකර බෙහෙත් කිහිපයක් ලබාදී නැවත පැමිණෙන විට පපුවේ එක්ස්රේ ඡායාරූපයක් ද රුධිර පරීක්‍ෂාවක් කර වාර්තාව ද රැගෙන පැමිණෙන ලෙස පැවසුවේ තුණ්ඩුවක්ද ලබා දෙමිනි.


රෝගියා එක්ස්රේ සහ රුධිර පරික්‍ෂා කරන පෞද්ගලික රෝහලකට ගොස් තුණ්ඩුව පෙන්වා “මේකට කීයක් යනවාදැයි” විමසීය. පරිගණකයේ බොත්තම් කිහිපයක් එබූ කවුන්ටරයේ සිටි තරුණයා “රුපියල් එක්දහස් දහයයි” යැයි කීය.


පසුදින රෝගියා මුදල් සොයා ගෙන පෙරදින පිවිසි රෝහලට ගියේය. කවුන්ටරයේ සිටියේ වෙනත් තරුණයෙකි. “මේ ටෙස්ට්වලට කීයද?” රෝගියා එම තරුණයාගෙන්ද විමසීය. පරිගණකයෙන් ගණන් සෑදු තරුණයා “රුපියල් එක්දහස් එකසීයයි.” යනුවෙන් පැවසීය. “මම ඊයේ මෙතන හිටිය කෙනාගෙන් ඇහුවාම එක්දහස් දහයයි කියලා කීවා” රෝගියා පැවසීය.


“නැහැ... නැහැ. එක්දහස් එකසීයයි.” තරුණයා නැවතත් පැවසීය. “මම සල්ලි දෙන්නම්” රෝගියා කීය. කොම්පියුටර් රිස්ට් පතක් නිකුත් කළ තරුණයා එය රෝගියා අත තැබීය. එහි සඳහන් වූයේ රුපියල් 1010 යනුවෙනි. තරුණායට පැටලී ඇති බව තේරුම් ගත් රෝගියා සාක්කුවෙන් කඩදාසි කැබැල්ලක් ගෙන එහි 1100 ලියා මේ කීය දැයි විමසූ විට තරුණයා එක්දස් එකසීයයි යනුවෙන් පැවසීය. 


රෝගියා රිසිට් පත ගෙන එයද පෙන්වා “මේ එක්දහස් දහයයි” යැයි පැවසීය. “සොරි සර්” යැයි කීයූ තරුණයා රුපියල් එක්දහස් දහයක් ලබා ගැනීමට කටයුතු කළේය.
(ක්‍රිස්ටෝපර් සීපියන්)