ලොකු මහත්වූ දියණියන් දෙදෙනකුගේ මවකි. දරු සුරතල්  බලන්නට ඉන්නා ලොකු දියණිය කිරි කොස් කන්නට ආසා බව දැනගත් මව මහ දවාලේ වත්තට ගියේ කොස් ගෙඩියක් කඩා ගන්නටය.


තමන් අත වූ ජංගම දුරකතනය අසල ගලක් මත තැබූ මව කොස් කඩන්නට වුවාය. සිය කටයුතු අහවර කළ මව දුරකතනය ගන්නට බැලුවත් එය තිබූ තැනක නොවීය. කවුරුන් මෙය සොරා ගත්තාදැයි කල්පනා කරද්දි ඇය කොස් ගසේ පහළ අත්තක සිටින රිළවකු  දුටුවාය.


දුරකතනය රිලවා අතේය. රිළවා එය එහා මෙහා කරමින් හැඩ වැඩ බලමින් සිටී. කුඩා දරුවකු මෙන් ඇඟිලි තුඩු එහා මෙහා කරන අන්දම ඇය දුටුවාය. කෝටු කැබැල්ලක් ගෙන දමා ගසද්දී රිළවා ඉහළ අත්තට ගියේ දුරකථනයත් රැගෙනය.


 කාන්තාව සිය සොහොයුරාට කෑගැසුවාය. “අනේ මගේ පෝන් එකට කෝල් එකක් ගන්නකෝ” ඇය ඉල්ලා සිටියාය. ගත වූයේ ටික වේලාවකි. රිළවා අතේ වූ දුරකථනය නාද වෙද්දි බිය වූ රිළවා එක්වරම පලා ගියේ එන පොට හොඳ නැති බව තේරුම් ගෙනය.


දුරකතනය අතට ගත් කාන්තාව සුසුමක් හෙලද්දී දියණියගෙන් ඇමතුමක් ලැබිණි. ඇයි අම්මේ කතා කළේ මම දැනුයි කෝල් එකක් අරගෙන තියෙන බව දැක්කේයි. දියණිය කීවාය. 


තමන් දියණියට ඇමතුමක් නොගත් බවත් රිළවා දුරකතනය අතේ තබාගෙන අනුකරණය කරද්දී දුවගේ අංකයට ඇමතුමක් ගොස් ඇති බවත් වැටහුණු මව ඒ බව දියණියට කීවේ දුව ගැන දැන් මම විතරක් නොවෙයි ගමේ ඉන්න රිළවුනුත් සොයා බලනවා යි යනුවෙනි. 


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)