(කිරිඳිවැල - උපාලි රණවීර)
වසර ගණනාවක සිට පදිංචිව සිටි නිවස සහ ඉඩමෙහි පිහිටි වැසිකිළියත් වතුර බොන ළිඳත් දරු පවුලකට හිටිගමන් අහිමි වීමේ අරුම පුදුම සිද්ධියක් දොම්පේ වෑවල පෙදෙසින් වාර්තා වේ.


නිවස පමණක් යන්තමින් ඉතිරි වී අනෙක් සනීපාරක්ෂක පහසුකම් දෙකම හිටිහැටියේ එම දරු පවුලට මෙසේ අහිමි වී ඇත්තේ එම ඉඩම බෙදීමේදී බව ද දැනගන්නට ලැබේ.


මෙම අරුම පුදුම ඉඩම් බෙදිල්ලට මුල් වී ඇති සිද්ධිය මෙසේය.


මෙම ඉඩම සහ නිවස එක්තරා දරු පවුලක මහගෙදර විය. පවුලේ ගැහැනු පිරිමි දරුවන් හය දෙනෙකි. ගැහැනු දරුවන් ලොකු මහත් වී දීගතල ගිය පසු දෙමවුපියන්ගේ ඇවෑමෙන් පසු මහගෙදර පදිංචියට ඉතිරි වූයේ එක් පුතෙකි. ඔහු වසර හැටක් පමණ වනතුරුම මෙම මහගෙදර පදිංචිව සිටියේය. පර්චස් 36ක පමණ ඉඩමත් නිවසත් භුක්ති වින්ඳේ ඔහුත් ඔහුගේ දරු පවුලත්ය.


අනෙක් සොහොයුරු සොහොයුරියන් පස් දෙනා පිට ගම්වල පදිංචියට ගියෙන් වසර ගණනාවක් තිස්සේ මෙම ඉඩමට කිසිවකු අයිතිවාසිකම් කීමට පැමිණියේ නැත. ඔවුන් මෙපමණ කලක් හිටියේ මහ පාරේද නොවේ.


කෙසේ වෙතත් මෙම ඉඩමේ සහ නිවසේ පදිංචිව සිටි දරු පවුලේ ගෘහමූලිකයාගේ අභාවයෙන් පසුව ඉඩමට සෙස්සන්ගේත් ඇල්ම බැල්ම වැටී ඉඩම බෙදන තැනට පත්විය.


වසර ගණනාවක් තිස්සේ පදිංචිව සිටි ඉඩමත් නිවසත් ඉඩම් නඩුවක් කියා භුක්තියට සවිකර ගැනීමට නීතිමය ප්‍රතිපාදන තිබුණද, ඉඩම් නඩු පරම්පරා ගණන් ඇදී සකල සේසතම නැති භංගස්ථාන වන බැවින් ඔවුහු ඒ අදහසද අත්හැරියහ.


කෙසේ හෝ නොබෙදූ මේ ඉඩම පර්චස් හයේ කැබැලි හයකට වෙන් කෙරිණි. පදිංචිව සිටි දරු පවුලට ලැබුණු පර්චස් හයට අමතරව වැඩිමහල් සොහොයුරියගේ දරුවෝ ඉඩම් තණ්හාව අත්හැර ඔවුන්ගේ කොටසද පදිංචි දරුවන්ටම දෙමින් ආදර්ශයක් ද දුන්හ.


කොහොම නමුත් ඉඩම බෙදුණේ දිගටම එහි පදිංචිව සිටි දරු පවුලට ළිඳත් වැසිකිළියත් අහිමි කරමිනි. ඔවුන්ට ලැබුණේ ළිං කටේ සීමාව පමණි.


යකාගේ ඉඩම් බෙදිල්ලකැයි දැන් වෑවල ගම් ප්‍රදේශයේ බොහෝ දෙනා කියනු අසන්නට ලැබේ.