(මුලටියන එස්. බාලසූරිය)
‘මාතර දිස්ත්‍රික්කයේ පිටිසර ගමක තරුණියකට තනිකම් දෝෂයක් හැදිලා තිබුණා. ඒක සුව කර දෙන්න කියලා ආරාධනාක් ලැබුණ නිසා මාත් තවත් යකැදුරන් දෙදෙනකුත් ඒ නිවසට ගියා. බොහෝම ලස්සන තරුණියක් බලාගත් අත බලාගෙන හූල්ලමින් සිටිනවා දැකලා අපට දුක හිතුණා තරුණිය දුටු ගමන්ම සිදුවී තිබෙන භූත දෝෂය මට පෙනුණා. “මොකද ළමයෝ වෙලා තියෙන්නේ” කියලා ඇහුවත් කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ. 


ඊට පස්සේ දෙහි ගෙඩි කීපයක් අරගෙන මන්ත්‍ර ජප කරලා දෙහි කෙඩියක් කපන්න ගත්තා විතරයි මෙතෙක් නිසොල්මනේ සිටිය ඒ තරුණිය මහ හයියෙන් අඬන්න පටන් ගත්තා. භූත දිෂ්ටිය නිසා මැයට මෙසේ සිදු වී ඇති විපත වැටහුණා. දින 7ක් ඇතුළත එම භූත දෝෂය අයින් කරවනවා කියලා ඇප නූලක් බැන්දා. යැයි පාරම්පරික මන්ත්‍රාචාර්ය ආර්.පී. සිරිපාල මහතා පැවසීය.


දින හතකට පසුව අවශ්‍ය කළමනා එකතු කරගෙන ඒ ගෙදරට ගියා. ඒ තරුණියගේ වෙනසක් පේන්න තිබුණේ නැහැ. බලාගත් අත බලාගෙන ඉන්නවා. කෑමක් බීමක් ගන්නේ නැහැ කියලා මවුපියන් කීවා. එදත් මාත් සමඟ තවත් දක්ෂ යකැදුරන් දෙදෙනකුත් ගියා. වැඬේ බරපතළ නිසා කෝකටත් කියලා අපේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සලසා ගත්තා.


පිදේනි තටු, අයිල, මල් බුලත් යහන්, කළු කුමාර දේවතා පිළිරුවක් වගේ දේවල් සකස් කර පේකර, සවස 6.00 සිට මන්ත්‍ර ජප කරමින් ආතුරයා ඉදිරිපස ඉඳගෙන ශාන්ති කර්මය ආරම්භ කළා.


එදා රාත්‍රී 12.00ට විතර ඒ තරුණිය මහ හයියෙන් කෑ ගහගෙන දුවන්න පටන් ගත්තා. අප තුන් දෙනාගේ ආවතේවකාරයොත් ඇය පසුපස දිව්වත් අල්ලා ගන්න බැරි වුණා. කොහොම හරි පැය භාගයක් විතර දුවපු ඇය නාන තොටු පොළක් ළඟ නතර වුණා. ඒ වෙනකොට ඇගේ දරදඬු ගතිය ටිකක් අඩුවෙලා. අනේ මා බේරගන්න, මේ යක්ෂයා තමයි නාන වෙලාවේ මගේ ඇඟට වැහුණේ. කියලා කෑ ගහන්න පටන් ගත්තා.


කළු කුමාරි දිෂ්ටිය වැහිලා නිසා මේ තරුණිය රෝගී වී ඇති බව මා වටහා ගෙන තිබුණු නිසා ඒ දිෂ්ටිය පළවා හැරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මන්ත්‍ර ටික පිළිබඳව මා විශේෂයෙන් උන්නදු වුණා. 


ඒත් මේ තරුණිය නාන තොටුපොළ ළඟින් එක්ක යන්න හැදුවත් ඒක කරන්න බැරි වුණා. ගැහැණු පිරිමි දහදෙනකු විතර උ්ස්සාහ කළත් අඟලක්වත් ඉදිරියට ගන්න බැරිවුණා. එහෙම වුණේ කළු කුමාර දිෂ්ටිය ඇය අල්ලාගෙන සිටි නිසයි. මට මෙවැනිම අත්දැකීමක් කලින් තිබුණු නිසා කළු කුමාර දිෂ්ටිය බන්ධනය කිරීමේ මන්ත්‍ර ජප කරලා ඇගේ ශරිරයට දුමම්ල ගැහුවා. ඒ එළියට මුළු පළාතම ආලෝකවත් වුණා. ඊට පස්සේ ඇය ටිකක් ලාමක වුණා. කීප දෙනකු ඇය වතතන් කර ගෙන ඇයගේ නිවසට එක්කර ගෙන ගියා. ඒ වනවිට අලුයම හතරට විතර ඇති.


ටික වේලාවකින් ඒ තරුණිය කෙඳිරි ගගා අඬනවා. අප අහන දේවල් වලටත් කඩින් කඩ උත්තර දෙනවා. මා ඇහුවා මොකද ළමයෝ වුණේ කියලා. එතකොට ඇය කීවා, එක දවසක් සවස හයට විතර නාන තොටුපළට නාන්න ගියා. ඒ වෙලාවේ ලස්සන පිරිමි කෙනකු එතන දිය නාමින් හිටියා. මාත් බොහොම සතුටෙන් දිය නෑවා. දන්නේ නැතුවම රෑ 8.00 විතර වෙලා. ගෙදර අය මා හැමතැනම හොයලා. නාන තොටුපළ ළඟ ඒ වෙලාවේ මා සිහි නැතිව ඉඳලා. එදා ඉඳන් මට හැම තිස්සේම පෙනුණේ එදා දැක්ක තරුණයා පමණයි. 


කොහොම හරි ඔහු සමඟ විවාහ වෙන්නයි මා බලාපොරොත්තු වුණේ. ගෙදර අය මට වදයක් වෙලා තිබුණේ. මෙහෙම කියන කොට මට බොහොම සතුටක් දැනුණා. වැඬේ සාර්ථකයි. අවසානයේ දෙහි ගෙඩි 21ක් පේකර ජප කරලා එකින් එක කැපුවා. අවසාන දෙහි ගෙඩිය කපන විට ඒ තරුණිය සුවපත් වුණා. මෙතෙත් කල් ඇයට පීඩා කළ, කළු කුමාර දිෂ්ටිය ඇයගේ ශරීරයෙන් ඉවත් වුණා. හැබැයි පහුගිය ටිකේ ඇය සිටි අයුරු ඇයට මතක නැහැ. මෙපමණ කල් මම කොහෙද හිටියේ. මා ගැන කවුරුත් බැලුවේ නැත්තේ ඇයි කියලා. මවුපියන්ට දොස් කීවා. 


සොහොන් වළවල් ළඟට, නාන තොටුවළවල් ළඟට ඉර මුදුන්වෙලාවේ, ගොම්මන් වෙලාවේ තනියම යන්න හොඳ නැහැ. විශේෂයෙන්ම තරුණ ගැහැණු ළමයින් තනියම නාන්න යන්න හොඳ නැහැ. මේ ස්ථානවල මේ වෙලාවල් වල නොයෙකුත් භූත දිෂ්ටි ඉන්නවා.

ග්‍රහචාරය හොඳ නැති ලස්සන ගැහැණු ළමයින්ට කළු කුමාර දිෂ්ටිය වැටෙනවා. මේ දිෂ්ටිය අයින් කරන්න දක්ෂ යකැදුරකුට මිසක් වෙන අයට බැහැ. මේ තරුණියට තොවිල් පවිල් හතරක් පහක් කර තිබුණා. වෛද්‍ය ප්‍රතිකාර කර තිබුණා. එහෙත් මවුපියන්ගේ මුදල් වියදම් වුණා විතරයි. සුවයක් ලැබුණේ නැහැ. 


මගේ පිය පරම්පරාවෙන් ලැබුණු මේ වටිනා මන්ත්‍ර ශාස්ත්‍රය, නිසා මේ වන විට මෙවැනි ආතුරයන් සිය ගණනක් සුවකර තිබෙනවා. අද සමාජයේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව එතරම් ගණන් ගැනීමක් නොමැති වෙන්නේ මේවා නියමිත වත් පිලිවෙත් අනුව කරන, දක්ෂ අය නැති නිසයි. මේ වටිනා ශාස්ත්‍රය, බොරු කරන්න බැහැ, හැබැයි හරියට කරන්න ඕනෑ. මිල මුදල්වලට වඩා රෝගියකු සුව කළාම ලැබෙන සතුට මිල මුදල් වලින් නම් ලැබෙන්නේ නැහැ යැයි ඒ මහතා කීය.