(අම්බලන්ගොඩ විශේෂ ඩී.ජී. ජයසුන්දර)
නාගරික ප්‍රදේශයක ජීවත්වන ගුරුතුමිය පාසල නිම වී ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන කුඩා පුතු සමග නිවසට පැමිණියේ සවස් යාමයේය.


ගුරුතුමිය හා පුතු ඇඟපත සෝදා දහවල් ආහාර ගෙන මදක් විවේකීව සිටියේ විඩාව නිවා ගැනීමටය.


ටික වේලාවකින් සවස තේ පානය සඳහා වතුර උණු කිරීමට ලිප ගිනි මොළවන විට උදේ සෝදා අව්වට දැමු වියළි මිරිස් ගැන ඇයට මතක් විය.


 අනතුරුව ගුරුතුමිය අව්වේ දැමු වියළි මිරිස් වට්ටිය අත ගා තවදුරටත් එළියේ තැබුයේ වියළා ගැනීම සඳහාය.


මේ දෙස බලා සිටි කුඩා පුතු වියළීමට දමා තිබූ වියළි මිරිස් කරලක් ගෙනැවිත් දැල්වෙන ළිපට දැමීය.


මිරිස් කරල ගින්නට හසුවිය. ගුරුතුමියට හා පුතුට කැස්ස හටගත්තේය.


 “මොනවද පුතා මේ කළේ?” ගුරුතුමිය කහින ගමන් ඇසුවාය. 


මේ අතර ගේ තුළින් තවත් කෙනෙකු කහිනවා ඇසිණ, ගුරුතුමියට මෙය කුතුහලයකි. තම ස්වාමියා ද සේවයට ගොස් පැමිණ නැත. වෙනත් කෙනෙකු ද නිවසේ නැත. එහෙත් ගේ තුළින් නොනවත්වා කහින හඬක් ඇසේ.


පසුව ගුරුතුමිය කළේ කැස්ස එන කාමරයට ගොස් බැලීමය. එවිට ඇය දුටුවේ ඇඳ යට නාදුනන පුද්ගලයකු සැඟව සිට කහිමින් සිටින අයුරුය.


ගුරුතුමිය එක්වරම “මෙන්න හොරු..” යැයි මහ හඬින් කෑ ගැසුවාය.


එවිටම ඇඳ යට සිටි හොරා ගුරුතුමිය තල්ලු කරමින් එළියට පැන දිවීය. අසල්වැසියන් ගුරුතුමියගේ හඬට දිව එන විට හොරා අතුරුදන්ය.


“හොරා ගෙට එන්න ඇත්තේ විවෘතව තිබූ දොරෙනි. පුතා ළිපට දැමූ මිරිස් කරලින් මහ විපතකින් බේරුණා.” යැයි කියමින් අසල්වැසියෝ නිවසින් පිටව ගියහ.