(වියලුව වාර්තාකරු)

තම මිතුරාගේ ඥාතියෙකු මිය යාමෙන් පසුව එහි පැවැති හත්දවසේ ධර්ම දේශනා පිංකමට පැමිණි තරුණ පිරිසක් ගිටාරයක් ඇතුළු සංගීත උපකරණ කීපයක්ද රැගෙන පැමිණි බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තාවේ.

සිද්ධිය මෙසේය.

ගම්බද නිවසක පැවැති ධර්මදේශනා පිංකමකි. පිංකම සංවිධානය කෙරුණේ මියගිය ඥාතියෙකු වෙනුවෙනි. අඳුර වැටෙද්දී බණ අසන්නට පැමිණි පිරිසගෙන් නිවස පිරී ඉතිරී යන්නට වූයේ නිවැසියන් හා ගමේ පිරිස අතර තිබූ සුහදත්වය සංකේතවත් කරමිනි.

මොහොතක් ගත වෙද්දී කරාස්.... ගාමින් නිවස ඉදිරිපස නතර වූයේ වෑන් රථයකි. වෑන් රථයෙන් පිටවූයේ කන් අඩි පැළෙන නව සංගීතයකි. මොහොතක් ගත වෙද්දී ඉන් පිටතට පැමිණියේ ගිටාර් තබ්ලා, බොංගෝ, ඕගන් අතින් කටින් දරාගත් තරුණ පිරිසකි. එක් අයෙකුගේ කන්වල කරාබු යුගළකි. ඇතැමෙකුගේ කර පිරෙන්නට ඇට මාල පොටවල්ය. බොහෝදෙනෙකුගේ කොණ්ඩය කාලයකින් කපා නැත. ඒ මදිවාට දෑත්වල වළලු හා තඩි නූල් පොටවල්ය. ගෑනුද පිරිමිද කියා හඳුනාගන්නට බැරි පිරිසද ඒ අතර වූහ. ඇඳුම් වල තත්ත්වයද එසේය. පසුදිනද නිවාඩු දිනයක් වූයෙන් පිරිස පැමිණ සිටියේ බණ අසා පසුදින දානමය පිංකමටද සහභාගී වන්නටය. වෑන් රථයෙන් පිටතට පැමිණි පිරිස කෙළින්ම ගොඩවූයේ නිවසේ ඔවුන් වෙනුවෙන් පිළියෙළ කර තිබූ කාමරයටය.

අමුතු ලොවකින් පැමිණියාක් බඳු මේ පිරිස දෙස බලා සිටි ගමේ වැඩිහිටියෙක් “පුතාල මොකෝ මේ සංගීත භාණ්ඩත් අතින් කටින් අරගෙන” යනුවෙන් විමසුවේය. නිවසේ තරුණයෙකුගෙන්ම වැඩිහිටියාට උත්තරය ලැබුණේය. “මාමා අපේ සෙට් එක ඔහොම තමයි දානෙකට බණකට පිරිතකට යනකොට පොඩි ආතල් එකක් ගන්න මියුසික් අරන් තමා යන්නේ නැත්නම් කොහොමද කම්මැලියේ ඉන්නේ” වැඩිහිටියා පසුබැස්සේ “අනේ කාලේ වනේ වාසේ” යැයි තමාටම කියා ගනිමිනි.