මේ මව වයස අවුරුදු හැටපහ ඉක්ම වූ තැනැත්තියෙකි. දරුවන් ආවාහ විවාහ වී සිටින නිසා පවුල් බරින් නිදහස්ව සිටි ඇය ජීවත්වූයේ ද මහගෙදර තනිවමය.


සැමියාගේ විශ්‍රාම වැටුපත්, ඇයගේ විශ්‍රාම වැටුපත් නිසා ඇයට මිල මුදල් අතින් කිසිම අඩුපාඩුවක් ද නැත.


දරු මුණුපුරන් ද ඉඳහිට පැමිණ මේ මවට අවශ්‍ය දෑ නිවසට දමා, ගමින් පිටවී යන්නේ ඒ අය ලොකු ලොකු රාජකාරි කළ උදවිය නිසාය.
ඉඩකඩම්වලින් ද ආදායම් තිබූ නිසා වසරකට වතාවක් දෙවතාවක් පිටරට වන්දනා ගමන් යන්නට මේ මවට සිතුණේ අහල පහළ අයත් දරුවනුත් කළ ඉල්ලීමට අනුවය.


ඒ අනුව දඹදිව වන්දනා ගමනට ඇය සූදානම් වූයේ හරි සතුටිනි. මිල මුදල් කොපමණ තිබුණත් හැම ශතයක්ම මැය වැය කළේ හරි පරිස්සමිනි. ඒ ඇගේ හැටිය.


ජීවිතයේ පළමු ගුවන් ගමන පිළිබඳවද ඇය මෙලෝ දෙයක් දැන සිටියේද නැත.


‘ආ අම්මේ දින 14 ක් අපි දඹදිව වන්දනාවේ යනවා. දඹදිව විතරක් නෙවෙයි තවත් වැදගත් තැන් බොහෝමයක්...’ සංවිධායකයා මේ මවට කියා සිටියේය.


‘හරි පුතේ.... දැන් ඔය වන්දනාවට යන ගාන කීයද’ මව ඇසූයේ ඒ මුදල් ටික ගෙවා දමන්නටය.


‘හැත්තෑපන්දහයි අම්මේ’ සංවිධායකයා කියා සිටියේය.


‘ඔය ගාන සීට් එකේ වාඩිවෙලා යන ගණන නේද පුතේ..’


‘ඔව් අම්මේ’


‘එහෙනම් මෙන්න  40,000 ක්ම තියෙනවා. මම ඔය පැය භාගෙ හිටගෙන යන්නම්..’


මව කී දෙයින් සංවිධායකවරයා පමණක් නොව එහි සිටි කොයි කවුරුත් කට තදකර ගත්තේ මව සමග සිටි ඇගේ දියණියද එහි සිටි නිසාය.


ශිරාන් රණසිංහ