(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

දර්ශනීය මල් විශේෂයක් යැයි සිතා කලක් තිස්සේ වල් පැළයකට සාත්තු සප්පාම් කර සිත් වේදනාවට පත්වූ මල් වගාකරුවෙකු පිළිබඳව පසුගියදා දැන ගන්නට ලැබිණි.


දිවයිනේ බටහිර පෙදෙසකි. ඔහු මල් වගාවට යොමුවී කාලයකි. ඔහුගේ මල් ගොමුවේ නැති දෙයක් නැති තරම්ය. පසුගිය දිනක ඔහු දුර බැහැර මිතුරකුගේ නිවසට ගියේය.


එම නිවසේ දර්ශනීය මල් සහිත ගසක් විය. මටත් පැළයක් දෙන්න යැයි ඔහු මිතුරාගෙන් ඉල්ලීය. අනේ ඕක මොකක්ද ගහ මුල තියෙන පැළයක් ගලවා ගන්න යැයි මිතුරා උපදෙස් දුන්නේය. ගලවා ගත් මල් පැළය සුරක්ෂිතව ගෙනා මල් මිතුරා එය වගා කර හොඳින් රැක බලා ගන්නට විය.


මාස කිහිපයක් ගත විය. මල් ගස විශාලව වැඩී ඇත. එහෙත් මල් නැත. මලක් එන ලකුණු ද නැත. ගමේ මිතුරාට ඇමතුමක් දුන් මල් මිතුරා මේ බව කීවේය. හොඳයි බලමු යැයි ඔහු ද කීවේය.


දින කිහිපයකින් දුර බැහැර මිතුරා මල් මිතුරා බලන්නට ආවේ මල් පැළ ගොන්නක් ද රැගෙනය. ඒවා බාරදුන් ඔහු කලින් සිටවූ මල් පැළය බලන්නට ගියේය. ගස දුටු විට ගමේ මිතුරා සිනාසෙන්නට වූයේය. හරි වැඬේනේ වෙලා තියෙන්නේ. ඔයා ගලවාගෙන ඇවිත් සිටවලා තියෙන්නේ මල් පැළයක් නෙවෙයිනේ. මේ පැළෙත් කොළ මල් ගහේ කොළවලට සමානයි වගේ වුණාට මේ බලන්න වෙනස. ඔයා හදිසියට කළ වැඩෙන් මේ අපරාදේ වුණේ. දුර බැහැර මිතුරා සිදුව ඇති සියල්ල පහදා දුන්නේය.


විමසිල්ලෙන් තොරව ක්‍රියා කිරීමෙන් ශ්‍රමය මෙන්ම පොහොර ආදියට කළ වියදම ද අපතේ ගිය බව තේරුම් ගත් මල් මිතුරා අලුතින් ලැබුණු මල් පැළ සිටුවා යළි සොයා නොබලා ඉක්මන් තීරණ නොගන්නා බවට තමන්ටම පොරොන්දු විය.