(තිහගොඩ - උපසේන ලියනගම)

දකුණු පළාතේ කඳුකරයට ආසන්න ගැමි පවුලක වූ ඇය පිරිමි දරුවන් හතර දෙනකු සමඟ සිටි එකම ගැහැණු දරුවාය. මේ නිසාම කුඩා කාලයේ සිටම ඇය කළේ ‘පිරිමි’ වැඩය.

සහෝදරයින් සිව් දෙනාම විවිධ රැකියා සොයා ගමෙන් පිටවුවත් ඇය මව්පියන්ට සළකාගෙන ගෙදරම වී සිටියාය.

පසුගිය දා එක් සහෝදරයකු ආවේ නැගණියට සුදුසු මනාලයකු ද සිය වැඩ පොළෙන්ම සොයාගෙන ඔහුත් සමගය. නිවසේ සිටියේ රෝගී පියා සහ මව පමණකි. ඔහු මිදුලට බැස වට පිට බැලීය. එවිට දුටුවේ මිදුලට එහායින් වු කිතුල් ගසක සිට රැහැන් පට දිගේ බිමට බසින නංගීය.

යෝජිත මනාලයා ද ඒ දෙස බැලූවෙන් ඔහුට තරු පෙනුණි.

‘‘තාත්තා ලෙඩ වුණු නිසා ජොබ් එක මට බාර ගන්න වුණා’’. ඇය කීවේ කිසිදු ලජ්ජාවකින් නොවේ. තම යහලූ යෝජිත මනාලයාත් ඇය දෙස බැලූවේ දැඩි ලෙන්ගතු බවකිනි. ඒ ඇය එතරම්ම රූමත් නිසාලූ.