(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)
 රජයේ පාසලක ගුරුවරිය තම දියණියගේ විවාහ උත්සවයට තමා සේවය කරන විදුහලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයට ද ආරාධනා කළාය.  


විවාහ උත්සවය පැවැතියේ ගුරුතුමියගේ නිවෙසේය. ආරාධිත බොහෝ පරිසක් එදින පැමිණ සිටියහ. 


සියල්ලන්ම සතුටු සාමීචියේ යෙදී සිටි ගුරුවරියන් දහවල් කෑම සඳහා ගිය අතර ගුරුවරුන් බොහෝදෙනකු ගියේ මත්පැන් මේසය වෙතය. 


ගුරුවරු පැය කිහිපයක් මත්පැන් බොමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියහ. මේ අතර එක් ගුරුවරයෙක් කෙළින් සිටගෙන සිටීමටවත් නොහැකි අන්දමින් මත්ව සිටියේය. 


ඔහු අපහසුවෙන් කෑම මේසය වෙත ගොස් කට දෙක තුනක් කෑම කා කාටත් නොකියාම මඟුල් ගෙදර සමීපයේ ඇති තම නිවෙසට පයින්ම යාමට සූදානම් විය. එහිදී ඔහු වමනය ද කළේය. 


පසුව ඔහු වටපිට නොබලාම නිවෙස වෙත ගියේය. නිවෙසට ගොස් ද වමනය කළේය. ඔහුගේ තත්ත්වය තේරුම් ගත් නිවැසියන් සුළු ප්‍රථමාධාරයක් දී නිදා ගැනීමට සැලැස්වීය.  


එදින සවස් යාමයේ නින්දෙන් අවදි වූ ගුරුවරයාට මුහුණේ වෙනසක් දැණින. ඒ උඩතල්ලේ කෘත්‍රිම දත් ඇන්ද කටෙහි නොමැති බවයි. ඔහු තමා වමනය කළ ස්ථානයේ එය පරීක්ෂා කළ බැලුවත් එහි ද නොවීය. නිවෙසේ අය ද දත් ඇන්ද සොයන්නට විය. එහෙත් හමු නොවීය. 


දැන් කාගෙත් නිගමනය වී ඇත්තේ උඩු දත් ඇන්ද ගුරුවරයාට ගිලී ඇති බවය. නිවැසියන් වහා ඔහුව පෞද්ගලික වෛද්‍ය ආයතනයකට රැගෙන ගොස් එක්ස් රේ එකක් ගෙන බැලුවත් ඔහුගේ ශරීරය තුළ ද එය නොවීය. පසුදා පහන් විය. ගුරුවරයා පාන්දරින් ගියේ මඟුල් ගෙදරටය. දැන් ඔහුගේ වෙරි සිඳිලාය. එවිට ගුරුවරිය මිදුල අතුගාමින් සිටියාය. 
“මොකද පාන්දරින්ම?” ගුරුවරිය විමසීය. 


“මගේ දත් ඇන්ද මෙහෙවත් වැටිල ද බලන්න ආවා” ගුරුවරයා කීය. 


“ඔය තියෙන්නේ මල් පඳුර ළඟ” ගුරුවරිය පැවැසුවාය.


පසුව දත් ඇන්ද අහුලා ගත් ගුරුවරයා ජල කරාමය වෙත ගොස් එය සෝදා සාක්කුවට දමා ගත්තේය.