(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

දේශීය වෛද්‍යවරියක වූ දෙදරු මවක් සිය දියණිය උපකාරක පන්තියට ගෙන යාමට යතුරුපැදියට ගොඩවූවාය. පාරට යද්දී හදිසි ලෙඩෙකුට ප්‍රතිකාර ලබාදීම සඳහා ඇය කැඳවාගෙන යාමට පැමිණි පිරිසකි.

සැමියාට කතා කළ ඇය දියණිය පන්තියට ගෙන යන ලෙස ඉල්ලීය. ඇගේ යතුරුපැදිය සැමියාට බාර කළ වෛද්‍යවරිය ආගන්තුකයන්ගේ වාහනයට ගොඩවූයේ සිය වෘත්තිය පමා කළ යුතු නොවූ නිසාය.

සැමියාට දියණිය සමග යා හැකි වූයේ ටික දුරක් පමණි. පොලිස් නිලධාරීහු දෙදෙනෙක් යතුරුපැදිය නවතා බලපත්‍රය ඉල්ලූහ. සැමියාට දෙලොව සිහිවිය. තම රියදුරු බලපත්‍රය නිවසේය. එය ඉදිරිපත් කරන අන්දම කල්පනා කරමින් සිටි ඔහුට ගණ දෙවි නුවණ පහළ විය. බිරියගේ බලපත්‍ර සියල්ල යතුරුපැදියේ කැබින් එකේ ඇති වග සැමියාට මතක් විය.

කිසිවක් නොදන්නා ආකාරයෙන් ඔහු බිරියගේ රිය බලපත ඇතුළු බලපත්‍ර ගොන්න පොලිස් නිලධාරියා අත තැබීය. පොලිස් නිලධාරියා බලපත්‍ර ඒ මේ අත පෙරළමින් බලද්දී සැමියාට හීන් දාඩිය දමන්නට වූයේ බිරියගේ රිය බලපත දුටු ගමන් දෝස්මුරයකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බව සිතුණු බැවිනි. ආ හරි මහත්තයා යන්න පුළුවන් පොලිස් නිලධාරියා කීවේය.

ඉක්මන් ගමනින් ටිකදුරක් ගිය ඔහු යළි නැවතී බලපත්‍ර ගොන්න පිරික්සීය. තම බිරියගේ රිය බලපත එහි ඇති වග හොඳින්ම දැන ගත්තේය. පොලිස් නිලධාරියාගේ පිරික්සීමේ අපූරුව නිසා තමන් බේරුණේ ගැහැණු පිරිමි බව නොහඳුනන පොලිස් නිලධාරියා නිසාය.