(කුණ්ඩසාලේ - - පී.එම්. රාජපක්ෂ)
බස් රථයක සිටි පෙම් යුවළකට බස් රිය වෙනුවට ගිලන් රියකින් ගමන් කිරීමට කළ අපූරු යෝජනාවක් පිළිබඳ පුවතකි මේ.


අදාළ බස් රථය දිගන ප්‍රදේශයේ සිට මහනුවර දක්වා ගමන් කළ බස් රථයකි. සතියේ දිනයක උදේ වරුව වූ බැවින් බසයේ තරමක මගීහු පිරිසක් ද ගමන් ගත්හ.


මෙම බස් රථයේ පසුපස අසුනේ ජනේලයට යාබදව තරුණ පෙම්වතුන් යුවළක් ද ගමන් කළ අතර එම යුවළ පෙම් සුව විඳිමින් සිටි මුත්, බසයේ හෝ අවට සිදුවන දේ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් ඔවුන් වෙත නොවිණි.
බසය මගීන් නංවා ගැනීමට බසය නතර කෙරුණු අතර වියපත් කාන්තාවක් එම ස්ථානයෙන් බසය වෙත ගොඩ විය. කොන්දොස්තරවරයා විසින් කීප වතාවක් ඉල්ලීම් කිරීමෙන් පසු වියපත් කාන්තාවට පෙම් යුවළ පෙනෙන මානයේ අසුනක් හිමි විය.


තවත් ටික දුරක් බස් රථය ගමන් කරන්නට වූ අතර පෙම් යුවළගේ කල් ක්‍රියාවන් සම්බන්ධයෙන් වියපත් කාන්තාවගේ ඇස යොමු වන්නට වැඩි වේලාවක් ගත නොවීය. ඔවුනගේ යම් යම් ක්‍රියාවන් සම්බන්ධයෙන් ඇයගේ අවධානය යොමු වූ බැවින් තම අසුනේ යාබද කාන්තාවක් වෙත ඒ බව පෙන්නා යමක් පවසන්නටත් වූවාය.


ඒ අතරතුරේ බසයේ කොන්දොස්තර තැන ටිකට් කැඩීම සඳහා කාන්තාව අසළට පැමිණි අතර ඇය ඔහුට මෙසේ පැවසුවාය.


“ඈ ළමයෝ මෙහෙම ගියොත් මට කිලිනික් එකට යන්න වෙන්නේ දවල් වෙලා. මිසී නෝනලාගෙන් බැනුම් අහන්න තමයි වෙන්නේ. ඒකටනම් කමක් නෑ. මට නම් වැඩිය අමාරුවක් නෑ. බලන්නකෝ අර පස්සේ සීට් එකේ කෙළවරේ ඉන්න ගෑනු ළමයට මෙලෝ සිහියක් නෑ. මම බස් එකේ නැග්ග වෙලාවේ ඉඳලා බලාගෙන. ලොකු අමාරුවක ඉන්නේ. එහෙට දඟලනවා මෙහෙට දඟලනවා. පිරිමි දරුවටත් ලෙඬේ ගැන තේරුමක් නැහැ වගේ.


මේ අහපන් කොළුවෝ. අර අලුතින් ආව ඇම්බියුලන්ස් එකට කෝල් එකක් දීලා ගෙන්වා ගත්තොත් ඒ දරුවා ගෙනියනකොට මටත් ඒ එක්කම ඉස්පිරිතාලෙට යන්න පුළුවන්” යයි මහ හඬින් පවසන්නට විය.


මෙය කන වැකුණු කොන්දොස්තර හීන් හිනාවක් නංවන අතර බස් රථයේ සියලු _දෙනාම මහ හඬින් සිනාසෙන්නට වූ අතර, ලජ්ජාවට පත් වූ පෙම් යුවළ හීන් සීරුවේ ගමනාන්තයටත් කලින්ම බැස අතුරුදහන් විය.